හෙලදිව බටහිර වෙරලින් මා ඔය මුහුදට යාවන්නට ගව් එකහමාරකට පෙර හමුවන දකුණු දෙස ඉවුරු නිම්නය 'දිවුලපිටිය' ප්‍රදේශයයි.
වර්‍තමාන පාලනය අනුව උප දිසාපති හෙවත් ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශය, ඡන්ද ප්‍රදේශය, ප්‍රදේශීය සභා බල ප්‍රදේශය, ලෙස ඒකකයක් වශයෙන් වේ.
පෙර යුගයේ කෝරළ මායිම්වලට අනුව හාපිටිගම් කෝරළයේ යටිගහ පත්තුවත්, උතුරු අලුත්කුරු කෝරළයේ දූනාගහ පත්තුව, හා දාසිය පත්තුවේ කොටසකුත්, අයුරින් දැක්වූ බස්නාහිර පලාතේ උතුරු මායිමට වන පරිදි පිහිටියේය.
පුරාණයේ මායා රට දක්ෂිණ දේශයේ ඝන කැළෑ පෙදෙසක් ලෙසින් පැවති වග පැරණි සාධක හා තොරතුරු අනුව තහවුරු වෙයි. තෙත් කලාපයේ සදාහරිත මූකලාන අතරතුර පැවැති වාසභූමි සහ මාර්‍ග සබඳතා හේතුවෙන් ඉතිහාසගත, සංස්කෘතික, සමාජ කරුණු ප්‍රදේශය සමඟ පසුබිම්ව අැත.
සිංහලේ පාලනයකළ අන්තිම සිංහල රජතුමන්වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමන්ගේ යුගයේදී, අලුත්කුරු කෝරළයේ කුරුඳු නිපදවන්නන් විසින් ලන්දේශීන් අඩු මිලට කුරුඳු ගැනීමට එරෙහිව වර්ජනයක් දියත්කළහ. ඒ එක් දහස් හත්සිය තිස් හය වසරේදී පමණ ඉහත කලෙකදීය.
එම කාලයේදී ලන්දේශීන් විසින් කුළු බඩු වෙනුවෙන් සිංහලේ රජතුමන්ට ගෙවිය යුතුව තිබූ බදු පිළිබඳ නොසළකා හැරීමක්ද සිදුකර තිබූ වගක් ඉතිහාසයෙන් පෙනී යයි.
අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අදහස්කළ රජතුමා කන්ද උඩරට සිට අලුත්කුරු කෝරළය තෙක් යාමට පිටත් විය. මීගමුව සිට මහනුවර දෙසට යාමට සහ ඒමට භාවිතකළ විශේෂයෙන් කරවළ තවලම් ආදීන් භාවිතකළ මඟක් ඔස්සේ පිරිවර සෙනඟක්ද සමඟ ගලගෙදර, යාංගල් මෝදර, හරහා තෙදිනක් පමණ ගමන්කර හාපිටිගම් කෝරළයේ අවසන් සීමාව 'බලගල්ල ඉම් කොට' ප්‍රදේශයට සැපත්ව තිබේ.
පැරණි කාලයේ මෙම මාර්‍ගයේ ගමන්ගත් අයගේ ගිමන්පලක් ලෙස බලගල්ල ගැට නා ගස ස්ථානය ප්‍රකටය. මේ වෙහෙසකාරී ගමනින් පසු ගැට නා ගහ ලෙස අදටත් පවත්නා පැරණි නා වෘක්ෂය අසල රජතුමා හා බලසෙනඟ තාවකාලිකව කඳවුරු බැඳ ගත්හ.
පැරණි කාලයේ මෙම මාර්‍ගයේ ගමන්ගත් අයගේ ගිමන්පලක් ලෙස බලගල්ල ගැට නා ගස ස්ථානය ප්‍රකටය. මේ වෙහෙසකාරී ගමනින් පසු ගැට නා ගහ ලෙස අදටත් පවත්නා පැරණි නා වෘක්ෂය අසල රජතුමා හා බලසෙනඟ තාවකාලිකව කඳවුරු බැඳ ගත්හ.
පසුදා වන තෙක් එළිමහනේ පසෙක තිබූ රජතුමන් ගමන්කරන දෝලාවෙහි තිර රෙදි පසාවනසේ ඊතලයක් වැදීතිබීම ප්‍රශ්නකාරී සිදුවීමක් විය. මෙය රජතුමාටකළ අනතුරු ඇඟවීමක්දැයි ලන්දේශීන්ට සම්බන්ධ අවට ජනයා කෙරෙහි කටුපුල්ලේ නිලධාරින්ගේ සැකය එල්ලවූ බැව් කියැවේ.
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමන්ගේ දෝලාවට හී පහරක් වැදීම සම්බන්ධයෙන් සැකය එල්ලවූ අසල්වැසි අලුත්කුරු කෝරළ ජනතාව තමන් රාජ උදහසට ලක්වනු අැතැයි බියට පත්වූහ.
සිංහල රජ කාලයේ නඩු කාරණාදියේදී සත්‍යවාදී බව දැක්වීම පිණිස දිවුරා කරුණු කියා සිටීම පිළිගැනීමට ලක්විය. ඒ අනුව තමන් රජතුමාට ද්‍රෝහි නොවූ බවත්, පක්ෂපාති බවත්, දෝලාවට හී පහර විදීම නොකළ වගත්, එවැන්නක්කළ අයෙකුට සහය නොදුන් වගත්, කියා ඔප්පු කරමින් ප්‍රදේශ වැසියන් තම ග්‍රාමයේ පැරණි බෝධිය අබියස සිට කටුපුල්ලන් බලා සිටියදී දිවුල බව ජනශ්‍රැතියේ පවතී. මෙම ජනයා දිව්රීම සිදුකරමින් රැස්ව සිටි පෙදෙස දිවුලපිටිය ලෙස ව්‍යවහාරයට පත්ව අැත. දිවුලපිටිය ලංගම වැඩපලට අාසන්නව නැගෙනහිර දෙසින් අැත්තේ පැරණි බෝධිය වගද පරම්පරානුගතව පැවසෙයි.
දිවුලපිටිය බලගල්ල පුරාණ පත්තිනි දේවාලය අනාදිමත් කාලයක සිට පුද පූජා වන්දනාමාන කටයුතු සඳහා ප්‍රසිද්ධය.ගම්පහ දිස්ත්‍රික්කය තුල පවත්නා උසම ස්වභාවික ශාක ප්‍රජාව වන මෙහි අැති දැවැන්ත හොර අාදී වනස්පති සමූහය අනුව අාදියේ ප්‍රදේශයෙහි පැවැති වනාන්තර ස්වභාවය තේරුම් ගත හැක.
ප්‍රදේශය හා සම්බන්ධ පැරණි ඓතිහාසික සාධක අතර දියගම්පල වෙහෙරගල කන්දේ ශිලා ලේඛනය වැදගත්ය. ශීර්ෂ රේඛාවකින් යුක්තව පැරණි අක්ෂරවලින් පේලි පහකින් මෙහි සටහන් කර ඇත. මෙය දේවනාගර (සංස්කෘත) බසින් ලියා ඇති හෙයින් ශ්‍රී ලංකාවේද දුලබ වර්‍ගයේ ලිපියකි. කන්ද මුදුනෙහිවූ මීට මදක් දකුණින් සංකේත ලකුණක්ද වෙයි.
මේ අසලම ගරා වැටී තිබූ ස්තූපයක් වැනි යැයි සැලකිය හැකි නිශ්චිත පුරා විද්‍යාත්මක පර්යේෂණයකට බඳුන් නොවූ ගඩොල් ගොඩනැගීම අද වනවිට සම්පූර්‍ණයෙන්ම විනාශකර අැත. පස් සෝදා යාම වැලකෙන පරිදි විහාර මළුවක අාකාරයට පර්වත මස්තකය සකසා තිබේ. මෙම ස්ථාන සහිත පව්ව මතට නැගීම සදහා අතීත කාලයේ සැකසූ ගලේම කෙටූ පඩි දහ හතරකින් යුත් පියගැට පෙලකි. ඊට පහතින් ගල් ලෙනක් ඇති අතර මෙ තුලින් වූ උමඟින් වෙහෙරගල කන්දට අාසන්නව පිහිටි එරබද්ද කන්ද දක්වා යාමට මාර්‍ගයක් පැවැති වග ජනප්‍රවාදයන්හි සදහන්ය. එම උමඟ මෙයට වසර පනහකට පමණ පෙර ප්‍රදේශවාසීන් විසින් වසා දමන ලද බව කියති. මේ සදහා මුදුනෙහිවූ ගඩොල් යොදා ගෙන තිබේ. පව්ව මුදුනෙන් බටහිරට මදක් බෑවුමට වන්නට ඇති ගල් තලාව අසල දිය නොසිඳෙන කුඩා පොකුණකි. වයඹ දෙසින් වන බෑවුම්ව යන ගල් තලයේද ගල් අල්ලන ලද පාදමකි.
එරබද්ද කන්ද පිහිටා ඇත්තේ වෙහරගල කන්දට දකුණු දෙසිනි. මෙහි එරබද්ද රාජමහා විහාරය ඉදිව තිබේ. රමණීය වටපිටාවකින් හෙබි මෙම කන්දේ පැරණි බලකොටුවක් හෝ අාරක්ෂක ස්ථානයක් වැන්නක් පැවති වගක් ඒත්තු යන ගල් උගුල් සැකසීමද සැලකිය යුතු කරුණකි. වෙහෙරගල කන්දේ සිට එන උමං මග එරබද්ද ලෙන් විහාරයෙහි හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුපස මකර තොරණ තෙක් වන බවට මතයක් ඇත. කලකට ඉහතදී පහල විහාර බිමෙහි පැරණි පොකුණක් ශුද්ධ කිරීමේදී ඇත් දළින්කළ කුඩා බුදු පිළිමයක් ලැබී තිබේ.
අළුතැපොල ගණේකන්ද රජමහා විහාරස්ථානය ඉතා ඈත අතීතයේ පටන් භාවිතයට පත් ලෙන් වලින් සමන්විතවූ සිද්ධස්ථානයක් වග කටාරම් සහිත ගල් ලෙන් තුලින් විද්‍යමාන වෙයි. ගණින්නාන්සේලා ලෙස හැඳින්වූ පූජක අය වාසයකළ ස්ථාන 'ගණේ' යන පදය සහිතව නම්වූ වූ වගක් ප්‍රචලිතය. පොල් උයන් අතරින් ඉහලට එසවුනු ගල් තලාවක් මත රමණීය පරිසරයක පිහිටියේය. ඕලන්දයින් මුහුදුබඩ ප්‍රදේශ පාලනයකරණ යුගය වන විට ශාස්ත්‍ර ශාලාවක් ලෙසද පැවතී ඇති වග කියැවෙන මෙම විහාරස්ථානයට ලබාදුන් ඉඩම් පිළිබඳව, විහාරස්ථානයෙහි සුරක්‍ෂිතව ඇති කර කොල සන්නස නමින් හඳුන්වන, එකල ඕලන්ද බලධාරියෙක්වූ මාස්ත්‍රෙ අන්ද්‍රේස් කෝයාර් නමැති අයෙක් සහතික කොට අලුතෑපොල විහාරයෙහි වැඩ විසූ වේරගොඩ බ්‍රහ්මඝෝෂක තෙරුන්නාන්සේට ප්‍රදානයකළ සන්නස් පත්‍රයෙන් තහවුරු වේ.
දිවුලපිටිය ප්‍රදේශයේ ගොඩිගමුව ග්‍රාමය ගෝඨයිම්බර යෝධයාගේ උපන් ගම ලෙස ජනප්‍රවාදයන්හි කියැවේ. මෙහි බෝගහවත්ත කහටවිට ඉඩමේ මැටි හාරමින් තිබියදී පිහිටි පොළොවේ මීටර දහයක් පමණ ගැඹුරේදී මතුවූ වැලි ස්ථරයක මෙම මැටි භාජන හමුවී අැත. මේ බඳුන් දිවයින තුල මෙම කලාපයේ හමුවූ හොඳම මැටි බඳුන් සඳහා නිදර්ශන වේ. වේවැල් වැන්නකින් වියන ලද වට්ටි හැඩැති අච්චුවක් යොදාගෙන නිමවා හොඳින් පුළුස්සාගත් සහ සකපෝරුව භාවිතයෙන් නිපදවා පිළිස්සූ රතු වළං ලෙස මේවා නිරීක්ෂණයකළ හැකිය. ගොඩිගමුව අභයරාජ සිරි සුගතාරාම විහාරස්ථානයේ තැන්පත්කර ඇත.
ගොඩිගමුව ග්‍රාමයේ ගෝඨයිම්බර යෝධයා උපන් භූමියයැයි සලකන ස්ථානයෙහි ඔහු වෙනුවෙන් ඉදිකර වන්දනාමාන කරන, බාර හාර සිදුකරන, දිවයිනතුල වන දේවාල දෙකින් එක් දේවාලයක් පවතී.
අනෙක් ගෝඨයිම්බර දේවාලයද අැත්තේ දිවුලපිටිය ප්‍රදේශයේම දාගොන්න ගමෙහිය. මෙනිසා ගෝඨයිම්බර ඇදහීම දිවුලපිටිය ප්‍රදේශයට සුවිශේෂ වූවක්සේ සැලකිය හැක.
මෙහි මංගල්‍ය අවස්ථාවන්හිදී බාරයක් ඔප්පුකිරීම අයුරින් සිදුකරන මීට අනන්‍ය පූජා නර්තනයක් වන 'අහුන් පැන්නවීම' ගෝඨයිම්බර යෝධයා යුද්ධයේදී අසු මෙහෙයවූ අයුරු රඟදක්වන්නකැයි පැවසේ.
දාගොන්න දේවාලයට මදක් ඈතින් දාච්චාගාරෙ වැව පිහිටා ඇත.
දිවුලපිටිය හඟවත්ත කුඩුමිරියාව වැව සකලකලාවල්ලභ නමින්වූ කෝට්ටේ යුගයේදී උඩුගම්පොල උප රාජධානියේ ප්‍රදේශාධිපති රජු කලක් සැඟව සිට ඇතැයි ජනප්‍රවාදයන්හි පැවසෙන ගම්මානයේ පවතින්නකි. වැව් බැම්ම මත පැරැණි සෙල් ටැඹක් ඇත. වැව අාසන්නයේ ඇති විහාරස්ථානය සහ ප්‍රදේශය පිළිබදව කියැවෙන ජනශ්‍රැති රාශියකි.
ඉර හඳ සලකුණු කෙටූ කුඩා ගල්කණුවක් මඩම්පැල්ල ග්‍රාමයෙහි පිහිටුවා තිබේ. මෙය දඹදෙනි රාජධානි සමයේදී ගම්වරක මායිමක් වශයෙන් පිහිටුවන්නට ඇතැයි අදහසක් වෙයි.
දිවුලපිටිය ගණේවත්ත පැරණි ටැම්පිට විහාරස්ථානය අතීතයේ මීගමුව සිට කන්ද උඩරට දක්වා තවලම් ගමන්කළ මාර්ගය ආසන්නයේ ඉදිකරණ ලද්දකි. මහනුවර රාජධානිය යුගයේදී ගණින්නාන්සේලා යනුවෙන් හැඳින්වූ බෞද්ධ පූජක කාණ්ඩයක් මෙහි කටයුතුකළ නිසා නම පටබැඳී තිබේ.
දිවුලපිටිය හපුවලාන ක්ෂේත්‍රාරාම ටැම්පිට විහාරයද මහනුවර යුගයේ සිට පැවත එන විහාරස්ථානයක් බව වාස්තු විද්‍යාත්මක ලක්ෂණ තුලින් හා සිතුවම් මගින් ඔප්පුවෙයි. පිවිසුම් ද්වාරය දෙපස ඈතුලතින් ඉතිරිව ඇති වෙස්සන්තර ජාතකයේ දරුවන් දන්දීම සහ ජූජක බමුණා දක්වන පැරණිම චිත්‍ර මෙහි අතීතයට සාක්ෂි දරයි.
දිවුලපිටිය ප්‍රදේශයේ මැද හල්පේ ගුරුල්ලගම ගමේ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය නුවර යුගයේ අවසන්
කාලයට අයත් සිතුවම්වලින් සමන්විතය. මෙහි ඇති 'මාර පරාජය' චිත්‍රය අගනා සිතුවමක් සේ පිළිගැනෙයි. ඉංගිරිසි පාලන සමය තුල ඉදිවූ ධර්ම ශාලාවේ එම රාජ්‍ය ලාංඡනයඅැත.
දිවුලපිටිය මීගමුව මාර්ගය අද්දර පිහිටි දූනාගහ පත්තිනි දේවාලයට මේ අසලින් භාවිතවූ පැරණි පාරෙහි ගමන්කළ අය පුද සත්කාරකළ බවට තොරතුරු ඇත. 'දූනාගහ' යන ග්‍රාම නාමය ලැබුනේද මෙම ප්‍රදේශයේ පැවති නා ගස් දෙකක් හේතුවෙන් වග මුල්ම කඩ ඉම් පොත වන ගම්පොළ යුගයේ ලියැවුන ශ්‍රී ලංකාද්වීපයේ කඩ ඉම් පොත "වෙලක් මැද දූවක නා ගස් දෙකක් පිහිටි හෙයින් දූනාගහ නම් විය" යනුවෙන් සදහන්කරයි. එම ග්‍රාම නාමය අනුව උතුරු අලුත්කුරු කෝරළයෙහි එක් කොටසක් 'දූනාගහ පත්තුව' යැයි නම්වී තිබේ.
දිවුලපිටිය ප්‍රදේශයේ පැතිගොඩ ගම්මානයේ වන මේ දේවාලයද අතීත කාලය හා සම්බන්ධ වූවකි. මෙම භූමිය තුල සිදුකරන 'පැතිගොඩ අම්මා' අැදහීම පාරම්පරික විශ්වාසය මත කෙරෙන ප්‍රාදේශීය ඈදහිල්ලකි. බාර හාර පුද පූජා සඳහා සාමාන්‍යයෙන් දේවාලයකට පුද දෙන පලතුරු වට්ටිය වෙනුවට මෙහිදී පුද කෙරෙනුයේ කුරක්කන් රොටී හතක් සමඟ අල කොල අැඹුල ලෙස හඳුන්වන ගහල කොල ව්‍යංජනයක් වීම විශේෂයකි. මෙම ස්ථානයේ මීට පෙර ටැම්පිට ගොඩනැගිල්ලක් පැවැතී ඇති වීරමුණ්ඩ දේවාලයෙහි පාදම් ගල් කණු මේ දේවාල ගොඩනැගිල්ල අතර දැකිය හැක.
නාවාන සිරි සිද්ධත්තාරාම විහාර භූමියෙහි සියයක පමණ සිරිසකට සිටීමට ඉඩ ඇති ගල්ලෙනක් පවතී. ආදියෙහි කටාරම් කප්පවා සකසනු ලැබ තිබෙන මෙහි පවත්නා ගිරිලෙන ගලකට තවත් ගලක් හේත්තු වීමෙන් ඒ අතර හිඩැසින් නිර්මාණය වී තිබෙන්නකි. මෙබිමෙහි ගලෙක තවමත් නොකියැවුනු දේවනාගර අකුරින් ලියැවුනු දුලබ ගනයේ සෙල් ලිපියක්ද වේ. මේ අසලම කුඩා ගල් දොරුවක් අයුරින් පවත්නා කලුගලින් සැදුනු දියබැසීම සඳහා වන වාන අනර්ඝය.
ඉතා අතීතයේ භාවනානුයෝගී භික්ෂූන් පරිහරණය කරන්නට ඇතැයි සිතිය හැකි, ඇතැම්විට ඊටත් පැරණි විය හැකි, කාලය තහවුරු නොකරන ලද කටාරම් කෙටූ ගල් ලෙනක් මා ඔය බද අලුගොල්ල ගමේ වෙයි. ඉන් අනතුරුව පැරැණි කාලයක සිට ගම්භාර (සූනියම් දෙවියන් උදෙසා) දේවාලයක් ලෙස පුද පූජා කරමින් පවත්වාගෙන යමින් පවතී.
බලගල්ල සරස්වතී මහ පිරිවෙන මෙරට වත්මන් ජාතික පුනරුදයේ පදනමට මුල්වූ කේන්ද්‍රස්ථානයකි.මීට වසර සියයකට මඳක් වැඩි කලකට පෙර බලගල්ල ජයවර්‍ධන සුවිශුද්ධාරාම විහාර භූමියෙහි සරස්වතී යෝගයෙන් ස්ථාපනයකළ මේ පිරිවෙන තුලින් බිහිවූ පතල පඬිවරුන් ගණන අති මහත්ය.
දිවුලපිටිය සපුගහ තම්මිට බෝධියංගනාරාම මහා චෙෙත්‍ය විහාරස්ථානය හෙවත් බෝමළුව වෙහෙර නමින් ප්‍රකට මෙහි ස්තූපය ගම්පහ දිසාවේ දාගැබ් අතර කැලණි දාගැබට පමණක් විශාලත්වයෙන් දෙවැනිවේ. මෙහි විහාර ගෘහයෙහි ප්‍රතිමා නිර්‍මාණය සහ සිතුවම් ඇඳීමකර අැත්තේ බොහෝ බෞඬ ගෘහයන්හි රාමු කර තිබූ බුද්ධ චරිත සිතුවම් ඇඳි ඇම්. සාර්ලිස් කලා කරුවා විසින් වීම විශේෂත්වයක් වේ.
දිවුලපිටිය ප්‍රදේශයේ අැති බඩල්ගම සාන්ත මරියා දෙව් මැදුර රෝමානු, ගොතික්, ඈ ක්‍රිස්තියානි දේවස්ථාන ගෘහ නිර්‍මාණ ශිල්පයෙහි පොදු සම්ප්‍රදායයෙන් බැහැරව ඉදිකල, ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යාවේ සිංහල ලකුණ දක්වන සුවිශේෂම නිමැවුම වන්නේය.
දිවුලපිටිය ප්‍රදේශීය ලේකම්
කොට්ටාසයේ හල්ලොලුව ග්‍රාමයේ පිහිටි අඹගහලන්ද වලව්ව ගම්පහ දිස්ත්‍රික්කය තුල
ඉතිරිවූ දැනට පිහිටි විශාලම වලව්ව වේ. කොටදෙනියාව‘තියබ්රොමා’ වතුයාය මධ්‍යයෙහි අක්කර එක හමාරක් පමණ භූමියක් මත වන මෙය 1890දී පමණ ඉඩම් හිමි වැවිලිකරු පෙඩ්‍රික් හ්‍යු ඩයස් බණ්ඩාරනායක හාමු මහතා විසින් ඉදිකරවන ලද්දකි. (හේ විවාහව සිටියේ මහාමාන්‍ය ඩි. ඇස්. සේනානායකයන්ගේ සොහොයුරියකවූ මේරි සේනානායක ලමාතැනී සමඟය.) උස්කර බැඳ වැලි පිරවූ කලුගල් හුණු අත්තිවාරම මත ඉදිරි කොටස හුණු වැලි බදාමයෙන් බැඳි ගඩොලින් හා පසු කොටස තාප්ප හා කබොක් ගලින්ද, උසට බිත්ති බැඳ සුණු පිරියම් කර තිබේ. වලව්වෙහි වහලයේ ඉදිරිපස කොටස සඳහා ඉන්දියන් රට උළුද, පසු කොටසට සිංහල උළුද, සෙවිලි කර ඇත . ඉංගිරිසි ගෘහ නිර්මාණ ශිල්පය මූලිකව, ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයද, අනුව සාදා ඇති මෙම වලව්ව ඉදිරියට ආවරණය වූ උස ඉස්‌තෝප්පුව හා විශාල විසිත්ත කාමරයෙන්ද, අඩි 60x30 ප්‍රමාණ සුවිශාල නිදන කාමර වලින්ද යුක්තය. නාන කාමරය ඇතුළු සනීපාරක්ෂක පහසුකම්, ගබඩා කාමර, සේවක කාමර, සහ ඉඩ කඩ සහිත ශාලා කොටසකින් යුත් මුළුතැන්ගෙයකින් සමන්විතයි. වලව්ව වටේම දිවෙන අගුව මෙන්ම එහි ඇති ආරුක්කු කණු අලංකාරත්වයක් ගෙන දෙයි. අභ්‍යන්තර ඉස්‌තෝප්පු වලින් සමන්විත උස් බිත්ති මගින් ආවරණය වූ මැද මිදුල, පිටතට විවෘත පැහැදිලි මුහුණතක් පෙනෙන පරිදි, කැටයම් කළ දොර ජනේල, ආදිය අලංකෘත, යුරෝපීය ගෘහ නිර්මාණ ස්‌වරූපයක් ගනියි. දැව ලෙස වැඩි වශයෙන් අළු දෙල් යොදා ගෙන ඇත. අභ්‍යන්තරයෙහි ඇති සොල්දරය සඳහා සහ පොළව යට කාමරය මත කොටසෙහි පමණක් සාමාන්‍ය ගෙබිම කොටස සඳහාද දැව භාවිතකර තිබේ. ගෙබිම ආස්තරණය කිරීමේදී සුවිශේෂ නිමාව පිණිස කිකිළි බිත්තර සුදු මදය සාරු යොදා ගෙන ඇති අතර ඒ සඳහා බිත්තර කරත්ත ගණනක් යොදා ගත් වග අසන්නට ලැබේ. මහා මාර්ගයෙහි සිට වලව්වට පැමිණෙන මීටර පන් සියයක් පමණ දුරැති මඟ දෙපස නාගස් පේලි දෙකකි. විවිධ මල් වර්ග වගාකර තිබූ වලව්වේ පුෂ්පෝද්‍යානය අක්කර පහකින් සමන්විත වූ අතර, පළතුරු වත්තක්ද මීටම යාව විය. අඹගහලන්ද වලව්වේ පසු අයිතිකරුවූයේ පෙඩ්‍රික් විලියම් රාම චන්ද්‍ර ඩයස් බණ්ඩාරනායක හාමු මහතාය.




%2Bof%2BIMG_0374.jpg)

.jpg)
