දිගාමඬුල්ල සහ ආසන්න ප්‍රදේශය
(මෙහි එන තොරතුරු ජනශ්‍රැති මූලාශ්‍ර
ඔස්සේ මෙන්ම තවත් කරුණු හා ඡායාරූප පොත්, පත්, සඟරා, සහ අන්තර්ජාලයෙන්,ද එක් කරගෙන මෙන්ම උපුටාගෙන ඇති
වගද, ස්තුතිපූර්වකව දක්වනු ලබන බවද, ඒවායෙහි අයිතිය මුල් හිමිකරුවනට බවද, කාරුණිකව සලකන්න. තාක්ෂණික හේතුමත
අක්ෂර වින්‍යාසයෙහි සම්මතයෙදීම් වෙනස්වූ අවස්ථා තිබීමට ඉඩ ඇත.).
දිගාමඬුල්ල භද්දකච්චානාගේ සොහොයුරෙක්වූ දීඝායු කුමාරයා පිහිටවූ ජනපද ප්‍රදේශය ලෙස වංශකථා සහ ශිලාලේඛන අනුව තහවුරුවෙයි. (පඬුවස්දෙව් රජුගේ බිසව වූ භද්දකච්චානාගේ සොයුරන් අට දෙනෙක් ඉන්දියාවෙන් මෙම දිවයිනට පැමිණි බවත්, ඔවුහු රටේ විවිධ ප්රදේශවල සිය නම්වලින් මුල් ජනාවාස පිහිටුවා ගත් වගත්, මහාවංශයෙහි ලියැවී ඇත. මෙම සොයුරන් අතරින් දීඝායු කුමරා ඇති කළ ජනාවාසය ‘දීඝායුගාම’ නමින් හැඳින්වූ බැව් කියැවේ). දිගාමඬුල්ල ජනපදය පුරාණ බෙදීම් අනුව අයත් වූයේ රෝහණ දේශයටයි. වංසකතා මූලා මූලාශ්‍රවල දීඝවාපිමණ්ඩල හෙවත් දීඝවාපිරට්ඨ ලෙස හැඳින්වූ භූමිය ගාල්හ ගංගාවේ නිම්නය ඇතුලත් දිවයිනේ ගිනිකොන ප්‍රදේශය වටාම පැතිර තිබූ බව පෙනී යයි. ‘දිගාමඬුල්ල’ යන පැරණි නාමය ප්‍රදේශය සඳහා භාවිතවූ වග කොණ්ඩවට්ටවාන වැව අසලින් සොයාගත් ටැම් ලිපියෙහි මෙතෙර දිගාමඬුල්ල යන්නෙන් පැහැදිලිව දැක්විණ. මෙහිදී ගාල්හ ගංගාව (ගල්ඔය) අනුව දෙපස බෙදමින් මෙතෙර දිගාමඬුල්ල සහ එතෙර දිගාමඬුල්ල ලෙස භාවිතයක් පැවති වගක්ද හෙලිවේ. අතීතයේ දෙවන මහින්ද රජ සමයේ මෙම ගාල්හ ගංගාව රෝහණයේ සීමාව ලෙසද නියම කර තිබිණ.
දිගාමඬුල්ල ගොවිතැනින්, බතින් පොහොසත්වූ රුහුණේ ධාන්‍යාගාරය විය. කාවන්තිස්ස රජතුමා සද්ධාතිස්ස කුමරුන් ආහාර සශ්‍රීකත්වය පිණිස යොමු කරවා වෙල් ලක්‍ෂයක් අස්වැද්දීම අනුව වෙල්ලස්ස ලෙස වූ වගට ප්‍රචලිතය. මින් පසුකාලීනව මේ බිමෙහි මහ පැරකුම්බා නිරිඳු සමයේදී සුගලා දේවියගේ පිරිස් හා සටන්වැදි ස්ථාන පිළිබඳව වාර්තාවේ.
දිගාමඬුල්ල ගල්ඔය මිටියාවත සමඟ
හා ආසන්න බිම් ප්‍රදේශය නැගෙනහිර හා දකුණ අතර දිගු මුහුදු තීරය සහිත හම්බන්තොට,
මොනරාගල, අම්පාර, මඩකලපුව, දිස්ත්‍රික්ක හෝ කොටස්වල පරිපාලනයේ පවත්නා, මැණික් ගඟ /
කුඹුක්කන් ඔය සිට මාදුරු ඔය පමණ තෙක් ආසන්නව ලෙස ගැනෙන ලංකාවේ
ගිනිකොන කොටස ඇතුලත් භූමි කලාපය වශයෙන්
වෙයි. වෙල්ලස්ස පහල ඌව, වැව්ගම් පත්තුව වැදිරට බිංතැන්න යනුවෙන්ද එක් එක් අයුරින්
හා ප්‍රදේශ වශයෙන් හැඳින්වෙන මෙය පැරණි රෝහණ රටේ කොටසක් වශයෙන්ද සලකනු ලැබ තිබේ.
දිවයිනේ ප්‍රාග් ඓතිහාසික කාලයේ සිටම ආදිම ජනාවාස ඇතිවූ භූමියක් ලෙස ඉතිහාසයෙන්
මෙන්ම පුරා විද්‍යාත්මක සාධක වලින්ද පෙර
දැක්වූ අයුරින්ද පැහැදිලිවන අතර, බොහෝසේ පවතින පැරණි නටබුන් සෙල් ලිපි, වලට අමතරව
ප්‍රාග් ඓතිහාසික නෂ්ඨාවශේෂද හමුවීමෙන් එය ස්ඵුට වේ. ඒ අනුව පුරාණයේ සිටම ගංගා ආශ‍්‍රිත ව හා ජල මාර්ග හරස්කරවා වැව් අමුණු බන්දවා කුඹුරු අස්වැද්දීම නිසා මේ බිම ඌවේ විශාල කෙත් යායක් බවට පත්ව තිබින. දිගාමඩුල්ලට ඇතුලත් ප‍්‍රදේශයක් ලෙස සද්ධාතිස්ස කුමරු සිය සොයුරු දුටුගැමුණු රජුගේ යුධ ව්‍යාපාරයට අවශ්‍ය වූ ආහාර සශ්‍රීකත්වය පතා එක් එක් වැව් ආශ‍්‍රිත ව වෙල් ලක්ෂයක් අස්වද්දන ලද්දේය යන අරමුණින්, මෙහිදී වෙල්ලස්ස වශයෙන් වැහැරුනු වග ප‍්‍රකට කරුණකි. පාරම්පරික පදිංචි කරුවන්ගෙන්
මෙන්ම ඌව කැරැල්ල සමයේ රැකවරණ බිමක් වශයෙන් සංක්‍රමණය වූවන්ගෙන්ද, පසුව කෙරුණු
ජනපදකරණ ව්‍යාපාරයන්ගෙන්ද, වැදි ජනයාගේ පාරම්පරික හා පදිංචි කරවනලද බිම් ප්‍රදේශයන්ගෙන්ද,
වත්මනෙහි ජනාවාසව ඇත.
වනය විසින් සැඟැවුණු තවත් එක ආශ්චර්යයෙක් මේ භූමියෙහි වෙයි. එනම් සෑම අසෙක ම මයිලයක් මයිලයක් පාසා දක්නා ලැබෙන පැරැණි සිංහල සභ්‍යත්වයට දෙස් කියන නටබුන්ය. සෑම හෙල් මුදුනක් පාසා පැරැණි දාගැබ්, වටමළු ආදියෙහි නටබුන් වෙයි. හෙල් බෑවුම්වල ඒ ඒ තැන කටාරම් කෙටූ ගල් ගෙවල්ය. ඉන් පහත තැනිතලාවේ සෑම මයිලෙක ම ගල් පිළිම, කුළුණු, කොරවක් ගල්, සඳකඩපහන් ආදියෙහි නටබුන් දැක්ක හැකිය. පුරාණ දීඝ මණ්ඩලයේ ශ්‍රී සමෘද්ධිය ඒ නටබුන් දේ අතරින් අදත් දැක්ක හැකිය. එකල මෙහි හෙල් මුදුන්වල සිට ගං ඉවුරු තෙක් හැම බිම් අඟලක්ම මනුෂ්‍ය පරිහරණයෙහි යෙදුනු බැව් නිසැකය. (දිගාමඩුල්ලේ ආශ්චර්‍ය්‍ය - මායා රංජන්) යට කියැවෙන්නේ එකල එසේ කැටිකොට දැක්වූ, මෙකල ඉතිරිව ඇති, මේ පසුබිමෙහි අනන්‍යතාවයන්ගෙන් කිසියම් කොටසක් පිළිබඳවය.
ඉංගිරිසින්ට ලංකාව යටත්වීමෙන් පසු ගිවිසුම් පොරොන්දු කඩමින් කටයුතු කරණ වග පෙනීමත් සමඟ හා තම ස්වාධීනත්වය මෙන්ම අභිමානය රැක ගනුවස් 1818දී නිදහස් සටන ලෙස ‘උඩරට කැරැල්ල’ ලෙස හඳුන්වන විමුක්ති සටන් ව්‍යාපාරය ක්‍රියාත්මක විය. නමින් උඩරට කැරැල්ල වුවද, කැරැල්ල පැන නැඟි ප්‍රදේශය වූයේ වෙල්ලස්ස බින්තැන්නය. මොවුන් මූලික අරගලය මෙහෙයවූවේ වත්මන් පදියතලාව ආසන්න, බින්තැන්නේ කොකාගල සිටය. මෙයින් වියරු වැටුන ඉංගිරිසීහු, කැරැල්ලෙහි සියලූම නායකයන් මරා දැමීම හෝ රටින් පිටුවහල් කිරීම සිදුකළහ. එවක මුළු දිවයිනේම වූයේ ලක්‍ෂ හතලිහක ජනගහනයකි. මෙහිදී තිස් දහසකට වැඩි පිරිමින් පිරිසක් මරා දමනු ලැබීය. ඌව වෙල්ලස්සේ ගම් බිම් නිවාස හරකා බාන වතුපිටි සම්පූර්ණයෙන් ගිනි තබා විනාශ කෙරින. මෙම ප්‍රදේශ අවුරුදු ගණනාවක් යන තුරු ජනශූන්‍ය විය. පණ බේරාගත් අය පවුල් පිටින් කුඹුක්කන්ඔය දිගේ ගොස් වලවේ ගඟ හරහා දකුණට පැන ගත්තෝය. ආරක්‍ෂාව පතා දිගාමඬුලු වනපෙතට වැදුණු සටන්කාමී සමහරු දිවි ගලවා ගැනීමට දඹගල්ල, මාරිඅරාව, පානම, ලාහුගල, කොටියාගල, ඇතිමලේ, උඩික්කැපුආර, කොලොන්වින්න ආදී ඈත ගම්මානවලට පලා ගියෝය. වැදිරට, පානම්පත්තුව ආදී ප්‍රදේශවල හේන් ගොවි තැනෙහි හා දඩයමෙහි යෙදෙමින්, තන්හි තන්හි හුදකලා අයුරින් කුඩා ගම්මාන ඇති කර ගනිමින් අප්‍රසිද්ධව කල් ගෙවූහ. (මෙම කැරලිකාර කණ්ඩායම් පදිංචි ප්‍රදේශයන් තුල, මානව සංවර්ධනය අවම මට්ටමේ පවත්නා අයුරින් තැබෙන නොසැලකිලිමත් ක්‍රියා මාර්‍ගයක් දිගින් දිගටම පැවතීමක්ද ඉංග්‍රීසි පාලකයන්ගේ සිට අනුගමනය කල වගක් පෙනී යයි.) පසුකාලීනව වනජ ඖෂධ ද්‍රව්‍ය (මී පැණි, ඔසු ශාඛ හා ඵල) ආදිය එකතුකර විකිණීමද, තහනම් වන තෙක් සිදුකළ කංසා වැවිල්ලද ආදායම් ලබාගැණීමේ මාර්ගයන් විය.
මෙහි ඉහත දැක්වූ ප්‍රදේශ හුදකලාවීම තුල ඇතිවූ ලක්‍ෂණයක් වශයෙන් කාලීනව වෙනස්වූ භාෂා භාවිතයේ ස්වභාවයක්ද පෙනී යයි. ඇතැම්විට පැවත එන ඒවායින් පැරණි සිංහල බසේ ගති සලකුණු විද්‍යමානවන බවක් පෙනී යන අවස්ථා ඇති වගක්ද හැඟීයන්නේ පැරණි ග්‍රන්ථාරූඪ වදන්ද මෙහි භාවිතයේ පවතින හෙයිනි. ජීව භාෂාවක් ලෙස පරිහරණය වීමේදී ප්‍රදේශානුගතව එක්ව ඇති භාෂිත වදන් මේ අතර බොහෝ සේ පවතී. ඒ අනුව මෙම කලාපයේ සිංහලයන්ගේ බස හැසිරවීමේ ප්‍රාදේශීය වෙනස්කම්ද කැපී පෙනෙන්නකි.
පෙර කල වැදිරට ලෙස ගල් ඔය සිට මහවැලි ගඟ අතර කලාපය හඳුන්වනු ලැබීය. මීට හේතුවූයේ වැදි ජනයා විසූ වනාන්තර සහිත වූ නිල්ගල, රතුගල, මොරාන, පොල්ලෙබැද්ද, හෙනානෙගල, ගුරුකුඹුර, උනාපාන, බිංගොඩ, හේනෙබැද්ද, කොහොඹාන, ආදී සම්ප්‍රදායික ප්‍රදේශයන් ඇතුලත්, ඒ වටාවූ ඔවුන්ගේ ගොදුරු දඩයම් හා මී වද ආදිය සොයා ගනිමින් ගතකළ කලාපය මෙය වීමය. වැදි ගම්මාන ලෙස මේ ප්‍රදේශ හැඳින්වූවද, මීට වසර හැත්තෑ පහකට පමණ එහා කාලයේ ඔව්හු ස්ථිර ගෘහ වාසස්ථානයන්හි විසූවෝ නොවූ, එහෙත් බොහෝවිට දන්නා එක් ප්‍රදේශයක තැන්තැන්හි විසූවෝ වූහ. මොවුන්ගේ බස කෙටි වදන් මාලාවකින් යුක්ත වුවද, දරු නැළැවිලි සහ නැටුම් ආදිය සඳහා ගැයෙන ගී බොහොමයකින්ද සමන්විත, එහෙත් ලිඛිත අක්‍ෂර භාවිතයක් නොමැති වූවකි. කන්දෙ යකා, බිළිඳි යකා, මළ ගිය ඤාතීන්, යකුන් ලෙස අදහන සංකල්පය මොවුනතර වේ. දඩයමට ලක්වන සතුනගේ රුධිරය, හෘදය, අක්මාව, යකුන්ගේ බිලි පුදට තැබේ. කැළෑ බිම් තුල දඩයම් කටයුතු සඳහා වැදිජනයා හට ඉඩ නොලැබීම නිසා, මේ ආදිවාසීන් අනාදිමත් කාලයක් පැවති රැකියාව අහිමිව තිබේ. මෙම කරුණු සහ නව සමාජ ලක්ෂණ ආක්‍රමණයද හේතුවෙන්, අද වනවිට ව්‍යාධ සමාජ සංස්කෘතිය ඔවුන් කෙරෙන් ගිලිහෙන බවක් පෙනී යයි.
මධ්‍යම කඳුකරයට නැගෙනහිරින් පිහිටි මෙම ප්‍රදේශයේ භූ ලක්‍ෂණයක් වන්නේ තැනින් තැන ඇති හුදකලා කඳු හෙවත් ශේෂ කඳුය. මෙම හුදෙකලා කඳු ‘ගල්ඔය’ කඳු ලෙස හඳුන්වයි. ගෝවින්ද හෙල, නුවරගල කන්ද, ඉඟිනියාගල ආදී කඳු ඒ අතර වේ.හෙල වශයෙන් හඳුන්වන පර්වත (කිරිපොකුණහෙල, කොටාදැමූහෙල, කණකෙකිණියන්හෙල, කරඳහෙල, උලහෙල, කොන්තියාහෙල, බෙරවහෙල, බුලුපිටියහෙල, ඈවලහෙල හෙවත් අකුණුහෙල, කහටඅත්තහෙල, යකුන්නේහෙල, වලිඹෙහෙල, එහෙනගල්හෙල, පල්ලම්හෙල, මොරානහෙල, හම්බේහෙළ,රාස්සහෙළ, බුලුතොටහෙල් වැටිය...) බොහෝමයක්ද මෙහි පවතී. ගල් ඔය, හැඩඔය හා කුඹුක්කන් ඔය වැනි ආදී ගංගා පෝෂණය වන්නේ මේ කඳුවලිනි. මීට උතුරු පසට විසිර ගිය අනෙක් කඳු පර්වත වෙයි.
මෙම කලාපය පිළිබඳ විවිධ තොරතුරු කාලීන පිළිවෙලින් බ්‍රෝහියර්, ස්පිටල්, මායාරංජන්, මහතුන් හා පූජ්‍ය එල්ලාවල මේධානන්ද ස්වාමීන් වහන්සේ, ඇතුළු ලේඛක විද්වතුන් රැසක් ලියා තිබීම ප්‍රයෝජනවත් බව දැක්විය යුතුය.
මෙහි ඉහතදී කියැවුන පරිදි වන මේ දිවයිනේ ගිනිකොන කලාපය අද යාල වනෝද්‍යානය පෙදෙස සිට මාදුරුඔය ප්‍රදේශය, මහවැලි නදිය තෙක් ලෙස පැතිරුණකි. මේ නිසා වියළි කලාපීයව දැකගත හැකි අලියා, කොටියා, තිත්මුවා, අඳුන් දිවියා, වල්ඌරා, වැලිමුවා, ගෝනා, වලහා, කබල්ලෑවා, ඇතුළු සතුන් බොහොමයක් මෙහි වනාන්තරයන්හි වාසය කරති.
කිරිඳි ඔය සිට මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය ආශ්‍රිතව වත්මන් යාල වනෝද්‍යානය තුලට අයත්වන වෙරළාසන්න භූමිය තුල පලටුපාන, බුත්තව, යාල, පොතාන, කුමණ, ඔකඳ, හැළව, යන ගම්මාන පැවති වග 1806 කාලයේ ලියැවුන වාර්තාවන්හි සටහන්ව තිබේ. විවිධ හේතු නිසා සහ යාල වනෝද්‍යානය බිහිවීමද සමඟ අදවන විට මෙකී සියලු ගම් අභාවයට ගොසිනි. මෙම ප්‍රදේශයන්හි ඉතා දිගු ඉතිහාසයක් ඇති බව විනාශවීමෙන් හා විනාශ කිරීමෙන් පසුවද අද ඉතිරිව තිබෙන ශේෂයන්ගෙන් ස්ඵුට කෙරේ. ඒ අනුව ලංකාවේ මුල්ආරම්භක ජනාවාසවල පටන් මෙහි පැවතී තිබේ. කුරුන්දෙආර, නාමඩගස්ආර, ඈ දිය කඳුරුද ජල දහරා අතර වේ. දකුණු පලාත සහ නැගෙනහිර පලාත වෙන්වනුයේ කුඹුක්කන් ඔයෙනි.
ඉහත සඳහන් සියළුම තැන්හි ස්තූප සහ ප්‍රතිමා නිධන් හොරුන් විනාශ කර තිබේ. මෙම වෙරළ තීරය ආසන්නව කලපු රාශියක් වෙයි. ඉටිකල කලපුව, අන්දර කලපුව, පෙර සඳහන්කල බගුර කලපුව, හා කුණුකල කලපුව, ඔකඳ කලපුව, සෝලම කලපුව, පානම කලපුව, රාගම්මල කලපුව, හැලව කලපුව, මෙහි පවතී. මේ අතර ඇති පානකල නම් කලපුව පෙරකාලයේ ලුණු ලේවායක් ලෙසද යොදාගෙන ඇත. මීට අමතරව මිරිදිය ජල පරිසරය කළමනාකරණය පිණිස පානම වැව ආදී වාපි ශිෂ්ටාචාරයේ නිමැවුම් දැකිය හැක. ඔකඳ දේවාලය මෙම ප්‍රදේශයේ ඇති සැලකිය යුතු තැනකි. පර්‍වත භූමියක ඇති මෙම කතරගම දේවාලය පානම් පත්තුව පාලනයකල සියාතු නම් රටේ මහත්මයා විසින් කරවූවකැයි පැවසේ. පෙර කියැවුන පානම වැව හා සබැඳි ගම්මානය පානමයි. ස්තූප නටබුන් ඇති හෙයින් වෙහෙරගොඩැල්ල නමින් හඳුන්වන කටාරම් කෙටූ ලෙන් සහිත පානම රජමහා විහාරයද පෞරාණික සිද්ධස්ථානයකි. මෙහිදී හමුවන එක් ශිලා ලේඛනයක මෙම ප්‍රදේශය වජන රට ලෙස හඳුන්වා තිබේ. වාණිජ කටයුතු කෙරෙන වෙණිජන ප්‍රදේශය යන්නක් ඉන් පැවසේ.
ප්‍රකට කුඩුම්බිගල තපෝ වන ආරාම කඳු ප්‍රදේශය පර්වත කොටස් පහකින් යුක්තය තැනිතලා බිම් තීරුවෙහි මුහුදු මට්ටමේ සිට අඩි 100ත්, 500ත් අතර උස් ගල්තලා පරිශ්‍රය කුඩුම්බිගලට අයත්ය. විශාල ගල් තලාවලින් නිර්මිත මේ ප්‍රදේශය, ඝන කැලෑව මැද පිහිටා තිබේ.. මෙහි ගිරිගුහාවන් එකසිය පහක් පමණ වේ. බවුන් වඩන භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් මේවා බොහොමයක කටාරම් කොටා සකසා දී තිබේ. අනුරාධපුර මුල් යුගයට අයත් සෙල්ලිපි පහළොවකට වැඩි ප්‍රමාණයක්, පාද ලාඤ්ඡන ගල්, විවිධ හැඩයන්ගෙන්ද නිර්මිත පැරණි චෛත්‍යය අටක්, ලෙන් බිතු සිතුවම් සමඟ පෘතුගීසි යුගය දක්වා පවා පැවත එන කොයෙකුත් නටබුන් ආදියෙන් සමන්විතය. ස්ථාන කීපයක ම ස්වභාවික දිය උල්පත් සහිත ගල්කෙම් (පොකුණු) පිහිටා ඇත.
මොනරාගල සිට පානම දක්වා විල ඔය ගලා බසියි. ලාහුගල මහ වනාන්තරය මැද ගලන විල ඔය අසල පවතින බුදුපටුන ගලෙහි නටබුන්ව ඇති මහායාන බෞඬ සම්ප්‍රදායට අයත් යැයි සැලකිය හැකි බුදු රුව ඇතුලත් සෙල් රූ ත්‍රිත්වයක් පැවති අතර ඒවායෙහි ශීර්ෂයන් මෑතකදී විනාශ කර තිබේ.
ලාහුගල මහ වනමැද, විලඔය අද්දර වූ මෙම පිළිමයන්හි හිස් වනසා දැමීමට පෙර තිබූ අයුරු.නීලගිරි සෑයෙන් හමුවූ, වට බැඳීමකදී නිධන් කරන ලද ධාතු කරඬු තැන්පත් කළ මැටි භාජනය (බිඳී තිබූ) පෙර පරිදි සැකසූ පසු. |
නීලගිරි ස්තූපයේ ඉතිහාසය සොයා බලනවිට ඇතිවන මූලික ගැටලුව වන්නේ මීට අදාලව කරුණු සලකා බැලිය හැකි යම් චෛත්‍යයයක් පිළිබඳව තොරතුරු කිසිදු සාහිත්‍යාදී මූලාශ්‍රයක තිබෙන ආකාරයක් සොයාගත නොහැකි වීමය. මේ ආශ්‍රිත ගවේෂණ කටයුතු වලදී හඳුනා ගන්නාලද මහසෙන් රජුගේ කාලයට අයත් සෙල් ලිපියක දැක්වෙන කරුණු අනුව, ‘වියහවිය’ නම් අයෙකු විසින් කුලබරිය මහා විහාරයේ අරියවංශ සූත්‍ර දේශනාව පැවැත්වීම පිණිස වාර් ෂිකව කහවණු විස්සක් පිරිනැමූ වග කියැවෙයි. මෙහි සඳහන් ‘කුලබරිය මහවිහර’ යන නාමයද, අතීතයේදී මෙම පූජ්‍යස්ථානය, ප්‍රදේශය, සඳහා ව්‍යවහාර වන්නට ඇතැයි සැලකිය හැකිය. ලැබී ඇති පුරා විද්‍යාත්මක සාධක අනුව, ක්‍රි.පූ. අවධියේ මෙම චෛත්‍යය ඉදිකරන්නට ඇති වග අනුමාන කළ හැකි වේ. පසුව 1-2 සියවස් කාලයේදී නැවත ප්‍රතිවර්ධනය කරමින්, විශාල කර තිබෙන වග පෙනී යයි. මෙම අවස්ථාවේ කර ඇත්තේ වට බැඳීමක් හෙයින් මෙහිදී ධාතූන් වහන්සේ සහ පුජා වස්තු චෛත්‍යය මධ්‍යයේ නිධන් කිරීමට මෙම මහා සෑයේ ගර්‍භයට පිවිසීමට නොහැකි බැවින්, එම වටබැඳීම ඇතුලතින් චෛත්‍යය වටා කුඩා කුටි තුල ඒවා තැන්පත්කර ඉහළින් වැසෙන සේ ගල් පුවරුවක් තබා උඩට බැඳගෙන ගොස් ඇත. මෙලෙස වට බැඳීමේ (යළි විශාල කර ගොඩ නැඟීමේ)දී, මෙහි වැදගත්ම සේ ගිණියහැකි ධාතු කරඬු කිහිපයක් තැන්පත්කර තිබූයේ මැටියෙන් සාදා පිළිස්සූ බඳුනක් තුලය. එය හමුවනවිට කැබලි වලට බිඳි තිබිණ. මේවා තැන්පත් කර තිබූ විශේෂත්වය අනුව මෙහි වූයේ සර්‍වඥ ධාතු ලෙස පිළිගැනීමට ලක්විය. මෙම චෛත්‍යය කැණීම තුලින් සොයා ගන්නා ලද ධාතු කරඬු සංඛ්‍යාව තුන්සියයකි. මෙරට ස්තූප කැණීමකින් ලද වැඩිම ධාතු කරඬු සංඛ්‍යාව මෙය වේ. ස්තූපයේ ප්‍රධාන පිළිසකර අවධි හතරක් අනාවරණය වී තිබේ. රෝහණ රාජධානිය බිඳ වැටීමෙන් පසු රාජ්‍ය අනුග්‍රහය නොමැතිවීම සහ ජන ශූන්‍ය වීම ආදී හේතූන් අනුව, මේ මහා ස්තූපය වල් වැදී ජරපත් භාවයට පත් වන්නට ඇත.
මීට ඇතුලත කැළයේ පිහිටි සීඝ්‍ර බෑවුම් සහිත අඩි 700පමණ උස් කඳුගැටයක් වන නීලගිරි හෙළ පව්වද ස්තූප සහ කටාරම්කළ ලෙන් සහිත පරිශ්‍රයකින් යුතුය. මෙහි ගුහාවකද සුදු සහ අඳුරු රතු පැහැයෙන් යුත් ප්‍රාථමික ගුහා චිත්‍ර දැකිය හැක.
මහා මාර්ගයෙන් ලාහුගල නීලගිරි මහාසෑයට යන මඟ හැඳින්වෙනුයේ කිරි වෙහෙර පාර ලෙසිනි. එම මඟෙහි කෙලින්ම යාමෙන් පිවිසෙන්නේ ලාහුගල කිරි වෙහෙර පුරාණ රජමහා විහාරයටය. මෙය නිධන් හොරුන් වැනසූ, ගරාවැටුණු චෛත්‍යයක් සහ ගල් කණු කිහිපයකින් වටවූ බෝධියක්ද, තවත් ගොඩනැඟිලි නටබුන්ද, සහිත ඉපැරණි පූජ්‍යස්ථානයකි. ජනප්‍රවාද අනුව ප්‍රදේශවාසීන් පවසනුයේ මෙය කරවා ඇත්තේ කාවන්තිස්ස රජතුමා බවයි.
ලාහුගල ප්‍රදේශයේ පිහිටි මඟුල් මහ විහාරය නමින් ප්‍රසිඬව ඇති හෙක්ටයාර පහකට වැඩි යැයි සැලකිය හැකි පෞරාණික නටබුන් භූමිය, බෝධිඝරය, ස්තූප, බුදු මැදුරු, පධානඝර, ඇතුලත් පබ්බත විහාර ගණයට අයත් ඉඳිකිරීමකි. මෙහි ඇති බෝධිඝරයේ ස්වභාවය මඟුල් පෝරුවක් ලෙස වටහාගැනීමක් නිසා මෑතදී මෙම නම යෙදී ඇතැයි අදහස් කෙරෙන අතර, මෙහි හමුවී ඇති සෙල් ලිපියක් අනුව ධාතුසේන රජතුමන් කරවූ රුහුණු මහා විහාරය මෙය බැව් කියැවෙයි. රුහුණේ පාලක දප්පුල රජු රුහුණු මහා වෙහෙර පිහිටුවන ලද බව මහාවංශයේ සහ පුජාවලියේ සඳහන් කර ඇත.
තරුලෙන්ගල කඳු ස්වභාවයකින් යුත් වර්‍තමානයේ ආරණ්‍ය සේනාසනයක් පවත්නා භූමියකි. මෙය පවත්නා කරඳහෙළ කන්ද, මොණරාගල පොතුවිල් මාර්ගයේ අසල පිහිටි හුලංනුගේ හන්දියෙන් වමට වැටී ඇති බක්මිටියාව මිරහල දක්වා වූ ගුරු පාරේ කිලෝමීටර් දෙකක් පමණ ගොස් වමට හැරී මීටර් තුන්සියයක් පමණ ගිය විට හමුවේ. කරඳහෙළ කන්දපාමුල පිහිටියේ හබුතගල විහාරයයි. කරඳහෙළ නමින් හඳුන්වන මෙම දිගටි කඳුයායෙහි තරුලෙන්ගල හෙවත් තරුගල්ලෙන ආරණ්‍යය පිහිටියේය. කරදහෙළ වැව විහාරයට ආසන්න ව පිහිටා ඇති අතර තවත් කුඩා වැව් රාශියක් එයට නුදුරින් දැකගත හැකියි. මුහුදු මට්ටමේ සිට අඩි 633ක් වූ කරඳහෙල කන්ද රුදුරු වනසතුන්ගේ නිවහනකි. වට වනය සහිතව, දකුණු දෙසින් ඉඹිලන් ආරද, ඊසාන දෙසින් කරඳ ඔයද, වේ. පාළු වනගත ස්වභාවයක් උසුලන කඳු ගැටයට නැගීමේදී ගල්තලා කීපයක් ඔස්සේ ගල විද සකස් කර ඇති අත්වැටවල් අල්ලාගෙන දැඩි බෑවුම් කීපයකින් ඉතා අවදානම් අයුරින් යාමට සිදුවේ. කටාරම් කෙටූ ලෙන් 16ක් කරඳහෙළ කන්දෙහි පවතී. කඳුමුදුනේ වූ ගල්ලෙන් පේළියෙන් පසුව, ඊට ඉහලට වන්නට කරඳහෙළ කඳුබෑවුම් අනෙක් පසට වන්නට ආසියාවේ පිහිටි දිගම කටාරම් කොටන ලද ගල්ලෙන පිහිටා ඇත. ලෙන දිගින් අඩි 512කි. පළල අඩි 30කි. උසම ස්ථානය අඩි 82 කි. මෙහි සංකේතයක් පමණක් කොටා තිබෙන බව පෙනේ. මෙම දිගම ලෙන ඇති ස්ථානයට පහළින් තවත් ලෙන් කිහිපයක් පවතියි. ඒ සියල්ලේ කටාරම් කොටා ඇති අතර සමහරක සංකේත මෙන්ම බ්‍රාහ්මී ලෙන් ලිපිද වෙයි. මේ ලෙන් සියල්ල ස්වභාවික නිර්මාණයන්ය. මුලින්ම හමුවන ලෙන තුළ මැටි ගසා ගත් කොටසක දැනටද භික්ෂූන් වහන්සේ වැඩ සිටිති. එම ලෙන ආසන්නයේ තවත් ලෙන් දෙකක් පිහිටා තිබේ. ඒවායේද කටාරම් කොටා තිබේ. එම ලෙන් දෙකට ඉහළින් පිහිටි ලෙන නාගලෙන ලෙස හඳුන්වනුයේ නාගයකුගේ ස්වරූපය පෙන්නුම් කෙරෙන හෙයිනි. මෙහි ඇති ගල් ලෙන් රාශිය අතරින් එක් ගල් ලෙනක් පිළිම ගෙයක් වශයෙන් වේ. නිධන් මංකොල්ල කරුවන් වැනසූ, ගඩොලින් නිමකල සැතපෙන පිළිම වහන්සේ මේ වන විට ප්‍රතිසංස්කරණයට ලක්කර තිබෙනු දැකිය හැකිය. මෙම ලෙන තුළ ප්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් සිතුවම්ද සියයකට අධික ප්‍රමාණයක් ඇත. මින් බොහෝමයක් පැහැදිලි ව හඳුනාගත හැකි අතර ඇතැම්වා අපහැදිලිය. මේවා අතර මිනිස් රූප, ඉදිබුවා, කබරයා ඇතුළු සත්ත්ව රූප, අලි පිට යන මිනිසුන්, ඉර හා හඳ මෙන්ම වෙනත් ජ්‍යාමිතික සංකේත හා හඳුනාගත නොහැකි රූප සටහන් ද වෙයි. මෙම සිතුවම් සහිත ප්‍රදේශය මිටර් 16ක් පමණ දිගින් හා මිටර් 2ක් පමණ පළල ප්‍රමාණයක් තුළ පැතිර ඇත. තරුලෙන්ගල ලෙන තුළින් හඳුනාගත හැකි සත්ත්ව රූප අතර බහුල ව ම හමුවන්නේ ඇතුන්ගේ හා අලින්ගේ රූපයන්ය. මීට අමතරව මේ ඇතුලත් අක්කර සියයකට වැඩි බිම් ප්‍රමාණයක විසිරි ඉපැරණි දාගැබ් සහ ගොඩනැඟිලි රැසක නටබුන් මින් හමුව තිබේ.
සියඹලාඬුව සිට අම්පාර දක්වා දිවෙන මාර්‍ගයෙහි ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රදේශයකි වඩිනාගල. ඉතිහාසයෙහි කියන අයුරින් මෙම ප්‍රදේශය විජයාගමනයට පෙර මේ දිවයිනේ වාසය කළ නාග ගෝත්‍රික චූලෝදර රජුගේ රාජ්‍යය වූ බවට ප්‍රකටය. මෙම වඩිනාගල ප්‍රදේශයට සම්බන්ධව කරඳ ඔයෙහි ශාඛාවලට මැදිව ඝන වනාන්තරයට උස්ව ගෝවින්ද පර්‍වතය නැඟී සිටියි. කාලිංගමාඝ යුගයේ රුහුණ පාලනය කරමින් රැකගත් බුවනෙකබා ආදිපාද විසින් සිය ආරක්ෂක බලකොටුව ලෙස යොදාගත් ගෝවින්දහෙල පර්‍වතය (පසුකාලීනව ඉංග්‍රීසීන් මෙය හැඳින්වූයේ Westminster Abbey නමිනි), පැරණි නටබුන් වලින්යුත් ස්ථානයකි. මෙය අඩි 1831ක උසින් යුතුය. පෙර කී සියඹලාඬුව - අම්පාර මහා මාර්‍ගය ආසන්නයෙන් ඇතුලතට පිවිසෙමින් යායුතු, තරණයට අපහසු මෙම පව්ව මුදුන, විහාර නටබුන්, සෙල්ලිපි හා පිහිටි ගල හාරා නිමවූ පොකුණු, මාලිගා ගොඩනැඟිලි යැයි සැලකෙන නටබුන්, පියගැටපෙළ, ආදියෙන් සමන්විතය. ගෝවින්දහෙල පර්‍වතය
ගෝවින්ද පබ්බතයට උතුරුපැත්තෙන් ගලන ගොවිඳු ඔය(ආර)ත්, එහිම බටහිර පැත්තෙන් එන පුස්කෑවුල ඔයත්, පාලු පල්ලේගමට මඳක් පහතින් එක්වීමෙන් එක්වීමෙන් පසු ‘කරඳ ඔය’ ලෙස නම් වන්නේ පානම පත්තුවට අයත් හුලංනුගේහි පිහිටි කරඳහෙළට නැගෙනහිරට බරව ඊසාන දෙසින් ගලා බස්නා හෙයින් වන අතර, මීට බක්මිටියාව, මිරහල, ආසන්නයෙන් ගලන දූවිලිගල් ඔයත්, කුඹුක්ගොල්ල ඔයත්, එක්වී නැව්ගල ඔස්සේ ගලන හෙයින් එනිසා නම්වන නැව්ගල් ආර, එකතුවන්නේ තුකැල්ලකුලම විල්ලුවට පහලිනි. මෙසේ පහළට ගලමින්, රොට ආර, ඈ අතු කිහිපයකට බෙදී ආරගම කළපු ප්‍රදේශයෙන් කරඳ ඔය මුහුදට එක්වේ.
පන්නල්ගමඔය
නමින් හඳුන්වන ඔය තොට්ටම ප්‍රදේශය ඔස්සේ ගලමින් පෙරියකළපුවට වැටේ.
අම්බලම්
ඔය එනමින් වන ජලාශයද සාදමින් මාන්තොට්ටම හරහා ගලාගොස් වැටෙන්නේද පෙරිය කළපුවටය.
දමන පෙර කලෙක
සිටම පරිපාලන කාර්‍ය්‍ය සඳහා යෙදවුන නගරයකි. වැව්ගම්පත්තුවේ යටිපලාතේ ප්‍රධාන නගරය
ලෙස එදවස සිට වත්මන් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙහි මුල් නගරය ලෙස පවතින්නකි.
මීට මඳක් ආසන්නව වන හිඟුරාන ප්‍රදේශය පෙර තිබූ උක් කම්හල නිසා වඩාත් ප්‍රසිඬියට
පත්ව තිබිණ.
ඕලුවිල්හි ප්‍රදීපාගාරය 1999දී ඉදිකරන ලද්දේ වරායක් ලෙස සැකසීමටය. මෙහි
මුහුදේ ඇති ගල් සහිත ස්වභාවය ඊට නුසුදුසු වූයෙන් වරාය ඉදිකිරීම පසුව නවතා දැමින.
ඔලුවිල්හි පල්ලෙකාඩු කැළෑ ප්‍රදේශයෙහි නටඹුන්වූ දාගැබ සහ ගල් ප්‍රාකාරය ඇතුළු ගොඩනැගිලි පහකට අයත් නටඹුන්ද පවතී.
අම්පාර, හිඟුරාන සීනි කම්හල තිබූ ප්‍රදේශාසන්නව පිහිටි නියුගුණ කන්ද සහ කිලෝ මීටර දෙකක් පමණ ඈතින් වන මලයඩි කන්ද හෙවත් ඉලුක්පිටිය කන්ද රජමහා විහාරය පරිශ්‍රයන්හි ගල්ලෙන් සහ නටබුන් රැසක් වේ. ගුහාවන්හි ඇඳි ප්‍රාග් ඓතිහාසික යැයි සැලැකිය හැකි චිත්‍ර, චෛත්‍යයන්හි නෂ්ඨාවශේෂ, බ්‍රාහ්මී සෙල්ලිපි රාශියක් ආදිය මේ තැන්හි පවතී. කෘෂිකර්මාන්තයට අවශ්ය ජලය ලබා ගැනීමේ අරමුණින් ඉදිකල මලයඩි වැව මේ වන විට සංචාරකයන් අතර ජනප්‍රිය දර්‍ශනීය ස්ථානයකි. මෙය ඇත්තේ ඉලුක්පිටිය කන්දට ගිනිකොන දෙසින්, කිලෝ මීටර 2.5 පමණ දුරකිනි. හිඟුරාන සිට මලයඩි වැව දක්වා දුර කිලෝමීටර් 2ක් පමණ වේ.
දීඝවාපි රජමහා විහාරය ප්‍රදේශයේ පිහිටි ප්‍රකටම පූජ්‍යස්ථානයවේ. දීඝවාපි චෛත්‍යය මෙහි වඩා වටිනාකමක් උසුලයි. විශාලත්වයෙන් ලංකාවේ හතරවන දාගැබ ලෙස පිළිගැනෙන දීඝවාපි චෛත්‍යය නැගෙනහිර පලාතේ ප්‍රධාන දාගැබ වශයෙන් සළකයි. දීඝවාපී චෛත්‍යය නිශ්චිතව කුමන කාලයක ඉදිකරන ලද්දක් ද යන්නට නිශ්චිත සාධක නැත. දීඝවාපි චෛත්‍ය කැණීමේ දී ප්‍රමාණ දෙකක ගඩොල් හමු වී ඇති අතර, ගඩොල් සමහරක බ්‍රාහ්මීය අක්ෂර වේ. ඒ අනුව මේ චෛත්‍යයේ ඉතිහාසය අනුරාධපුර මුල් යුගය දක්වා දිව යයි. දීඝවාපිය පිළිබඳව ප්‍රථමයෙන් ඓතිහාසික විස්තර අනාවරණයවන්නේ බුදුන් වහන්නේගේ තෙවැනි ලංකාගමනය පිළිබඳ තොරතුරුවලිනි. බුදුන් වහන්සේ කැලණිය, සමන්තකූඨය, හා දිවාගුහාව, යන ස්ථානයන්හි නැවතී දිගාවැවට වැඩමකර සමාපත්ති සුවයෙන් වැඩ සිටි බව දීපවංශයෙහි සහ මහාවංශයෙහි ලියැවී තිබේ. ඒ අනුව මෙය බුදු හිමියන් වැඩමකළ සොළොස්මස්ථානවලින් එකක් වේ. දික්නිය ධාතුන් වහන්සේ නමක් නිධන් කොට සත් රියන් උස ඉඳුනිල් මිණිමුවා දාගැබක් කිරීමෙන් පසු ලක්දිව රජ පැමිණි සැදැහැතිස්ස මහ රජතුමා විසින් සර්වඥධාතූන් වහන්සේලා නිධන් කොට 185 රියන් උසට දාගැබ් ගොඩනංවා රන් කෙඳි වලින් පළඳනාවක් කරවා සන්ධිස්ථාන වලට රියසක් පමණ රන්මල් අමුණා විශාල චෛත්‍ය පූජෝත්සවයක්ද පැවැත් වූ බවට ඉතිහාසයේ ප්‍රචලිත ප්‍රවාත්තිය මහාවංශයෙහි දැක්වෙන පරිදි සද්ධාතිස්ස රජු කල (බු.ව.400 දී) දිගා වෑ වෙහෙරද සෑයක් සහිත කොට කරවීය. ඒ සෑය වසා එලන සත් රුවන් ඇමුණූ සැට්ටයක් කරවන ලදැයි දැක්වේ. ඒ අනුව බුදුන් වහන්සේගේ දික් නිය ධාතුව නිදන්කර දීඝවාපී චෛත්‍යය ගොඩනඟා ඇති බවට බෞද්ධයෝ විශ්වාස කරති. මෙනිසා නම්පොත නමැති විහාරඅස්නේ මෙතැන දක්වා ඇත්තේ නඛාවෙහෙර යනුවෙනි. දීඝවාපී දාගැබ අවම තරමින් තුන්වරක දී වැඩි දියුණු කිරීම්වලට හෝ පිළිසකර කිරීම්වලට ලක් වූ බව දාගැබ පිළිබඳ පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළි වී තිබේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු 18 වන සියවසේ “නඛ” චේතිය නම් ස්ථානයට පැමිණි බව (මහාවංශය 99:39) දැක්වෙන අතර, ඉහත පරිදි එය දීඝවාපිය ලෙස තහවුරු වී ඇත. ඒ අවස්ථාවේ චෛත්‍යය රියන් 185 ක් උස්කර බඳවන ලද බව වාර්තා වේ. ස්තූපයේ බටහිර ආයකය(වාහල්කඩ) තහවුරුව සඳහා කැණීමේදී ධාතුන් වහන්සේ තැන්පත් කළ රන් කරඬුතුනක් ලැබුණු අතර, පාදම සහ ගර්භය කොටස් දෙකකට නිමවා සැකසූ ඉන් ලොකු කරඬුව(උස:සෙ.මී. 10.7, විෂ්කම්:සෙ.මී. 7.5, බර:ග්‍රෑම් 45.85,) තුල තිබී හමුවූ රන් සන්නසෙහි ‘මහල්ලකනාග මහරජුගේ පුත් කණිට්ඨතිස්ස මහරජුගේ රන්දාගැබයි’ යන්න සඳහන් විය. දෙවන සියවසෙහි නිමවා ඇති මින් සමකාලීන ස්තූපයක හැඩය හා අංග පිළිබඳව නිදර්ශනයක් සැපයේ.
‘අඹාර’ ලෙස හැඳින්වූ මෙහි වූ වැවෙහි නාමය පසුව දෙමල ඌරුවට යමින් අම්පාර ලෙස ව්‍යවහාරයට පත්බව තොරතුරු වලින් පෙනේ. 1920 කාලයේ මඩකලපුව දකුණු ප්‍රදේශයට බලපෑ බැස නොයන ගංවතුර තත්වයක් හේතුවෙන්, එය පාලනය පිණිස විසඳුමක් ලෙස ගල්ඔය හරස්කර වේල්ලක් තැනිය යුතු වගට අදාල ඉඦිනේරුවරයා විසින් නිගමනය කරණ ලද අතර, හේ ඒ සඳහා ස්ථානීය පරීක්ෂාව පිණිස යාමේදී එවක පැවති පහසුකම් සහ මාර්‍ග තත්වය අනුව, ඔහුට ගමන්කල හැකිවූ කරත්තයෙන් යාහැකිවූ අවසාන ගමනාන්තය ලෙස අම්පාර නම් ගම්මානය දක්වා තිබූ වග වාර්තාවේ. අනතුරුව ගල්ඔය හරස්කර බැඳුනු සේනානායක සමූද්‍රය සංවර්ධන ව්‍යාපාරය ඇරැඹීමත් සමඟ ඇති කෙරුණු ගොවි ජනපද ව්‍යාපාරයේ ප්‍රමුඛ නගරය ලෙස සංවර්‍ධනය වූයේ අම්පාරයි. මෙනිසා මේ හා අවට ප්‍රදේශය වේගවත් දියුණුවකට පත් විය. ඉක්බිති 1960 දශකයේදී මඩකලපු දිස්ත්‍රික්කයෙන් වෙන් කරගත් කොටසක් ගෙන අම්පාර දිස්ත්‍රික්කය පිහිටවනු ලැබීය. දිස්ත්‍රික් ප්‍රධාන නගරය ලෙස පරිපාලන හා අනෙකුත් නගරාංගයන් මීට එකතු වීම සිදුවිය. මේ අනුව ගිනිකොන වෙරළතීරයේ කුමන, ඔකඳ, දෙස සිට දෙහිඅත්තකණ්ඩිය දක්වා කිලෝමීටර් සීයකට වඩා දුරැතිවූ ප්‍රදේශය ඇතුලත්වූයේ අම්පාර දිස්ත්‍රික්කයටය.
බුද්ධංගල ආරණ්‍ය සේනාසන පුදබිම අම්පාර නගරයේ සිට ඊසාන දෙසින්, කි.මී. 6.5ක පමණ දුරකින්, වනාන්තරය මැදින් එසවුනු ගල් තලාවන් පහකින් සමන්විත පරිසරයක පිහිටියේය. මෙම ගල්තලාවන් මත ඉපැරණි සිරි පතුල් ගල්, සඳකඩපහණ, කොරවක් ගල්, ගොඩනැඟිලි නටබුන්, සහ ඡත්‍රගල හා යූප කණුව සහිත ස්තූපයක නටබුන්ද, පැවතියේය. මෙම ඉපැරණි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරණ අවස්ථාවේදී හමුවූ ස්වර්‍ණ කරඬුව තුල, රන් නෙළුම් මලෙහි සර්වඥ ධාතුන් වහන්සේලා, සහ නෙළුම්මල දෙපසවූ සුර දෙකෙහි අගසවු දෙනමගේ රහත් ධාතූන්ද, තැන්පත් කර තිබිණ. මෙහි විශේෂ වටිනාකම වූයේ සැරියුත්, මහමුගලන්, ලෙස බ්‍රාහ්මී අකුරින් සටහන් කර තිබීමයි. ලක් දිවයින තුල මෙසේ පැහැදිලි සඳහනක් ලැබුණු එකම ධාතු නිධානය මෙය පමණකි. හතර වරම් දේව රූප හතර සහ තවත් නිධන් වස්තු රැසක් ද මේ සමඟ තැන්පත් කර තිබී හමුවිය. මේ වන විටද ආරණ්‍ය සේනාසනයක්වූ වූ මෙහි ඇති ගල් ගුහාවන් අතීතයේ සිට භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේ පරිහරණය කර තිබේ. නවකම් සිදුකර ඇති ප්‍රකට පූජ්‍යස්ථානයකි.
අම්පාර කොණ්ඩුවටුවාන වැව ඉස්මත්තේ පිහිටුවා තිබී හමුවූ ඓතිහාසික ටැම් ලිපිය කොණ්ඩුවටුවාන ටැම් ලිපිය යැයි ප්‍රසිද්ධියට පත්ව තිබේ. පස්වන දප්පුල රජ දවස සග්වාරකුස් නම් සෙනවියකු දණ්ඩනායකයන්ට දුන් නින්දගමක් වූ මෙතෙර දිගාමඬුල්ලේ අරුගමට ප්‍රදානය කළ වරප්‍රසාද පිළිබඳ දැක්වෙයි. බදු ක්‍රම සහ දඬුවම් ආදිය ද පෙර සිරිත් විරිත් නම් වූ නීති ගැන ද දැක්වෙන බැවින් මෙය ඉතාමත් වටිනා ටැම් ලිපියකි. මෙම උතුරු වැව්ගම්පත්තුවේ කොණ්ඩුවටුවාන වැව ආශ්‍රිත කැලෑ ප්‍රදේශයන්හි වැදගත් නටඹුන් ස්ථාන වෙයි. කොණ්ඩුවටුවාන ටැම් ලිපිය හමුවූ ස්ථානයට උතුරු දිසාවෙන් කිලෝමීටර් දෙකක් පමණ දුරින් පිහිටි පන්සල්ගල මෙවන් ස්ථානයකි. එහෙත් මේ ස්ථානය දැක ගැනීම පිණිස යායුත්තේ දුෂ්කර හා දුර මං ඔස්සේය. අම්පාර, අරන්තලාව මහඔය පාරෙ උහන නගරය පසුකර වවුල්ගස් හන්දියෙන් හැරී සේනානායක සමුද්‍රයේ වම් ඇළ ඉවුරු මාර්ගය දිගේ ගලහිටියාගොඩ ගමට ගොස් සැටල් හන්දියෙන් වමට හැරී හිමිදුරාව මාර්ගය එකකි. එය කිලෝමීටර් විසිපහක් පමණ දුරය. අනෙක ඉහත කී ප්‍රධාන මාර්ගයේ අම්පාර දෙකේ කණුව කරංගාව පාසල අසලින් වැව පැත්තට යන පාරෙන් ගොස් අම්පාර අභය භූමිය හරහා කැලේ මැදින් ගොස් හිමිදුරාව කනත්ත අසලින් හිමිදුරාව ගමට යන මාර්ගය ඔස්සේ යාමෙනි. ඒ දුර කිලෝමීටර් අටකි. කෙටි දුරක් වූ එම මාර්ගය ඉතාමත් දුෂ්කර මෙන්ම අනතුරුදායක එකකි. කොණ්ඩුවටුවාන වැවේ ඉහත්තාව පිහිටා තිබෙනුයේ පන්සල්ගල ආසන්නයෙන් බටහිර දිසාවෙනි. දිගාමඬුළු දනව්වේ කේන්ද්‍රගත උස් ස්ථානයක පිහිටි පන්සල්ගලේ සිට නැඟෙනහිර දිසාව දෙස බලන විට කිලෝමීටර් එකක් පමණ දුරින් වෙහෙරගල යැයි ප්‍රදේශවාසීන් හඳුන්වන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානය පිහිටා තිබේ. මීට උතුරින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරද, දකුණින් හිඟුරාණ හෙලගම කන්ද ද, බස්නාහිර වම් පැත්ත දෙසින් ඈතින් පල්ලම්හෙල, හිඳගල, සේනානායක සමුද්‍රයේ වැව් බැම්ම යා කොට ඇති එරලිය කන්ද, සුප්‍රසිද්ධ ඉඟිනියාගල කන්ද, කැවුම් කන්ද, සීත වන්නියේ කඳු පෙළ, මොරාන හෙල, වැරැල්ලගල සහ පාම්බුතිමලේ කන්ද දක්නට පුළුවන. මෙම පාම්බුතිමලේ කඳු මුදුන (අඩි2014) ශ්‍රී ලංකාව මැනීමේ ත්‍රිකෝණමිතික ස්ථානයක් ලෙස යොදාගත්තකි.
ඉඟිනියාගල
ගල්ඔය ජාතික වනෝද්‍යානය නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයටත් හා ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයටත් අයත් වන්නකි. මෙය අම්පාර වනජීවී සහකාර අධ්‍යක්ෂ කලාපයෙන් පාලනය වෙයි. වනෝද්‍යානයට උතුරු දෙසින් මුල්ලේගම,දඹගොල්ල, දානිගල, යන ඉපැරණි ගම්මානත්, බටහිරින් නිල්ගල සහ රතුගල යන ආදිවාසි ගම්මානත්, දකුණින් නාගොල්ල, කොලමාන්න, කෙහෙල් කුඹුර, අළුපොත, යන ගම්මානත් සහ නැගෙනහිරින් ඉඟිනියාගල, නාමල් ඔය, සහ කොස්ස පොළ යන ගම්මානත් පිහිටා ඇත. උද්‍යානය වටා ඉඟිනියාගල , දෙගලවල, දානිගල, උල්හෙල යන කඳු වැටි පිහිටා ඇත.
නිල්ගල කන්ද වනාන්තරය තුලින් නැඟී සිටිනුයේ, මේ පරිසර කලාපයේ විහිදී ඇති යහන්ගල කන්ද, දානිගල, යකුන්නා හෙළ, කහට අතු හෙළ, මාකඩකන්ද කඳුගැට අතර ප්‍රමුඛස්ථානය ගනිමිනි. විශේෂ ඖෂධීය වැදගත්කමකින් යුත් ශාක ප්‍රජාවක් සහිත නිල්ගල වනය, අවශේෂ වනාන්තරයක් ලෙස සැලකේ. විවිධ පරිසර පද්ධති හා වනාන්තර කලාප අතුරින් ඉතා පැහැදිලි ගස් සහිත විවෘත තෘණ බිම් වලින් යුත් තැන තැන කඳු ගැට, පර්වත, දියදහරා, පොකුණු, නිම්න, බෑවුම්වලින් සමන්විත වනාන්තර ස්වභාවය අප රටේ පිහිටා ඇත්තේ නිල්ගල පසුබිම් කර ගෙනය. වනාන්තරයේ ඇති රූස්ස ගස් අතර ඖෂධීයවටිනාකමක් සහිත අරළු, බුළු, නෙල්ලි, ගම්මාළු, සියඹලා, කහට, වටිනා ගස් කහට, සියඹලා, මෙන්ම කුඹුක්, කළුවර, බුරුත, හල්මිල්ල, ඈ වටිනා ගස් ප්‍රධාන වේ. සංරක්ෂිත ඉතා දුර්ලභ ගණයේ ඒක දේශීය ගුරුළුරාජ උඩවැඩියාව (foxtail orchid)ද මෙම ගස් කඳන් මත අපි ශාකයක් ලෙස වැඩේ. යටි වියනෙහි ඇති මානා, ඉලුක්, යන තෘණ විශේෂ මීටර් 1.5 පමණ උසට වැවේ. සතුන් අතර අලියා, ගෝණා, මුවා, වැලිමුවා, රිලවා, වල් ඌරා, ඉත්තෑවා, වලහා, වඳුරා, යනාදී සතුන් දැකිය හැක. ගල්ඔය ජාතික වන උද්‍යානයේ අලි ගමන් කරන ප්‍රධාන අලිමංකඩ නිල්ගල වන පෙත හරහා වැටි තිබේ. වලහා, කුළු මීහරකා, කබල්ලෑවා, හඳුන් දිවියා, දඬු ලේනා ද මේ වනයේ බහුලවදක්නට ඇත. නයා, තිත්පොළඟා, මූදූ කරවලා, තෙල් කරවලා, පොළෙන් තෙලිස්සා යන උග්‍ර විෂ සර්පයන් ද පිඹුරන්, සහ කිඹුලන්ද දක්නට ඇත. වළි කුකුලා, හබන් කුකුළා, අළු කෑදත්තා, කහ කුරුල්ලා, බෝල වටුවා, පක්ෂීන් මෙන්ම තඹ සේරුවා, ඇඹලකොකා, දියකාවා වැනි ජලාශ්‍රිත කුරුල්ලෝ ද සිටිති. මෙම වනය වාසභූමිය කර ගත් පඳුරු කටුස්සා, ගල්පර මැඩියා, පඳුරු වටුවා, පතන් කුකුළා, කහ පාද බටගොයා, ලා කොළ කෑරලා, නිල්ගල සමනලයා විශේෂ සත්ව කොට්ඨාස ලෙස පරිසරවේදීන් විසින් හඳුනා ගෙන ඇත. වනය හරහා ගලා යන ඇළ, දොළ නිසා ස්වාභාවික පරිසරයට එකතු වී ඇත්තේ අමුතු සුන්දරත්වයකි. ගල්ඔය, රඹකැන්ඔය, දහමල්ඔය, පන්මැඩිල්ලඔය, දික්ඔය, බඹරකඳුර, මේ අතර ප්‍රධාන වේ.
මඩොල්සිම කඳුවැටියෙන් ඇරැඹී නිල්ගල වනය තුල ගලා එන ගල්ඔය ස්වභාවික අයුරින් නිමැවුනු උමඟකට ඇතුළුවන ස්ථානයක් වෙයි. ජල දහර උමඟට පිවිසීමෙන් අතුරුදන් වූ හෙයින් ඊට ‘මකර කට’ නමින් පැවසිනි. කාලයත් සමඟ මකර කට යන්න සරලව ‘මකරෙ’ ලෙස වහරට යෙදින. මෙම මකර කට ස්ථානයෙහි තිබූ වැලි සියල්ල මීට වසර කිහිපයකට පෙර පෙර සේදී යාම නිසා පෙර පැවති පරිදි මකර කටක් වැනි පෙනුම අද වනවිට දක්නට නොමැත. මෙසේ ඛාදනයට ලක්වීම හේතුවෙන් පෙර මකර කට පැවති ස්ථානයෙහි මීටර 5ක් 15ක් පමණ අතර උස විශාල ගල්පර දක්නට ලැබේ. ගල්ඔයට ගාලේඔය, ගලඔය, යනුවෙන්ද ව්‍යවහාරවී ඇත. ඉදිරියට ගලන ගල්ඔය, ඉඟිනියාගල කන්ද ආධාරයට ගෙන හරස්කර බැඳි සේනානායක සමූද්‍ර ව්‍යාපාරය (ගල්ඔය ජලාශය) හේතුවෙන් මෙම ප්‍රදේශයේ වර්‍තමාන සශ්‍රීකත්වය දියුණුවට ලක්ව තිබේ. නිල්ගල කැළයේ කළු හෙළ ආශ්‍රිත නෙල්ලි කැලේ මැදින් ගලන මොරගහකඳුර වැටෙන්නේ පල්ලම් ඔයටයි. බුද්දම පෙදෙස සිට ජයන්තිවැව ලෙස දියබැඳ එන පල්ලම් ඔය, ගල්ඔයට එක්වී ඊටම එක්ගල්ඔයත්, එකතුවේ. අනතුරුව මේ ගල්ඔය, ඕලුවිල ප්‍රදේශයෙන් මුහුදට පිවිසේ. මෙහි දැක්වූ ජයන්තිපුර වැවේ කණ්ඩිය දිග වඩිනාගල දෙසට යාමේදී කිවුලේගම උණුදිය උල්පත හමුවේ.
ගොනාගොල්ල විහාරය.අම්පාර ප්‍රදේශයේ පිහිටි පුරාවිද්යාත්මකව වැදගත් ලෙන් විහාරස්ථානයකි. සීගිරියේ ඇති බිතුසිතුවම්වලට සමාන පෞරාණික බිතුසිතුවම් විහාරයේ ඇති බැවින් ප්රදේශවාසීන් විසින් මෙම විහාරය පුංචි සීගිරිය නමින්ද හඳුන්වනු ලබයි. ගොනාගොල්ල පුංච් සීගිරිය පන්සලට යාම සඳහා අම්පාර නුවර පාරේ වැරන්කැටගොඩීන් නැඟෙනහිරට හැරී සේනාගම හරහා ගොනාගොල්ල පාරේ ගමන් කලයුතුය. මෙම ගොනාගොල්ල විහාරස්ථානයේ පවත්නා ගල් ලෙන්හි පුරාණයේ වැදි ජනයා වාසය කර ඇත. ගල් ලෙන් කිහිපයක වැදි ජනයා විසින් අඳින ලද වගට සැලකෙන ප්රාග් ඓතිහාසික චිත්ර කිහිපයක්ද දැකගත හැකිය. අනුරාධපුර යුගයට අයත් බිතුසිතුවම් පිහිටි පර්වතයේ ම කෙළවර ආදිවාසී ප්රාථමික චිත්ර ලෙන පිහිටා තිබේ. මෙය විවෘත ස්වභාවික ලෙනක් හෙයින් බොහෝ චිත්ර මැකී ගොස් ඇත. රත් පැහැයට හුරු දුඹුරු හා සුදු වර්ණවලින් ඇඳ තිබෙන චිත්‍ර 17ක් පමණ මෙහි වේ. විහාරස්ථානය හා සබැඳි පෞරාණිකත්වය පිළිබඳව සොයා බැලීමේදී, අනුරාධපුර යුගය දක්වා දිවෙන ඓතිහාසික වටිනාකමකින් යුක්ත බව පෙනීයයි. මෙහි බිතුසිතුවම්, ගුහාව අසල පවතින අනුරාධපුර යුගයේ ස්තූපය, කටාරම් සහිත ලෙන්, ඉපැරණි ශිලා ලිපි යනාදී අංග දක්නට ලැබේ. ක්රි.පූ. තුන්වැනි සියවසට අයත් අනෙකුත් නටබුන් අතර වටදාගෙය, චත්ර ගල්, කැටයම් කළ ගල් කණු සහිත මහා පරිමාණ විහාර ගොඩනැඟිලිවල නටබුන් සහ ගල් පඩිපෙළ විහාර පරිශ්රය වටා දක්නට ලැබේ. පෞරාණික ව්යුහයකින් යුක්ත පොකුණු දෙකක නටබුන්ද වේ. 1956දී පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් ලෙනක කුටි සිවිලිමේ තිබී ක්රිස්තු වර්ෂ 3 වැනි සියවසට අයත් බිතුසිතුවම් කිහිපයක් සොයා ගත් අතර, මෙම බිතුසිතුවම් කපරාරු කරන ලද මතුපිටක් මත ඇඳ තිබේ. තරුණ නර්තන ශිල්පිනියකගේ සහ බෝධිසත්ව රුවක් ලෙස පෙනෙන පුරුෂයෙකුගේ දර්ශනයක් ඉන් නිරූපිත බවක් පෙනී යයි. කාන්තා රූපය සුප්රසිද්ධ සීගිරි ලලනාවන්ට බොහෝ දුරට සමානය. රූප දෙකම තියුණු මායිම් සහිත රතු, කහ, කොළ සහ සුදු වර්ණ යොදා ගනිමින් පින්තාරු කර ඇත. ගල් ලෙන් වලින් හෙබි මෙම ඉපැරණි විහාරස්ථානයේ පැරණි ශිලා ලිපි පහක් වන අතර පැහැදිලිව දක්නට ලැබෙන්නේ අභිලේඛන දෙකක් පමණි. මින් කොටසක් තුන්වන හෝ හතරවන සියවස් වලට අයත් යැයි සැලකිය හැකි බ්රාහ්මී අක්ෂරයන්ගෙන් ලියා තිබේ. ප්‍රධානි මහින්දගේ බිරිය සහ ප්‍රධානි බකඩයාගේ බිරිය විසින් විහාරයට කරණ ලද පරිත්යාගයක් ගැනත්, අලිතක මහා විහාරයේ භික්ෂුන් වහන්සේලාට වර්ෂා කාලය සඳහා මහ රටේ අහය නම් අය විසින් සිවුරු පරිත්යාග කිරීමක් පිළිබඳවත්, අරියවංශ පූජෝත්සවය කරගෙන යෑම පිණිස අලිතක මහා විහාරයට යම් පුද්ගලයකු විසින් මුදල් (කහවනු) පරිත්යාග කිරීමක් ගැනත්, මින් පැවසේ. බ්රාහ්මී අක්ෂරයන්ගෙන් ලියා ඇති හතර හෝ පස්වැනි සියවස්වලට අයත් විය හැකි බවට සැලකෙන ශිලා ලිපිවල, ආරාමයේ භික්ෂු සංඝයාට කරන ලද පරිත්යාගයක් පිළිබඳවත්, ගෝටිගම නඩසබ විසින් පියගැට පෙළක් ඉදිකරන ලදින්, ඉන් ලැබන පින් සියලු සත්ත්වයන්ට ලැබේවා යනුවෙනුත් සඳහන්ය.
සමන්ගල අම්පාර නගරයට නුදුරින් මහඔය මාර්ගයේ ගොනාගොල්ල හන්දියෙන් බටහිර දෙසට කි. මී. 3ක් දුරින් පිහිටා ඇති වනගත ආරණ්‍යයකි. අඩි 500ක් උසින් යුත් සමන්ගල කන්දේ කටාරම් කෙටූ ලෙන් රාශියක් පිහිටා තිබේ. ලෙන් කිහිපයක ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපි පවතී. මෙහි ආදිවාසී චිත්‍ර දක්නට ලැබෙන්නේ දැනට බුදුමැදුරක් ලෙස භාවිත කරන ලෙනෙහි පියස්සෙහිය. මෙහි චිත්‍ර සටහන් 12ක් පමණ වේ. මානව රූප, මුවන් ඇතුළු සත්ත්ව රූප ඇඳ ඇත. මේවා මැකී යන තත්ත්වයක් පෙනී යයි.
රජගල හෙවත් රාස්සහෙළ , කිඹුලෙකුගේ හැඩය ආකාරයට පෙනුමක් ඇති කඳු ස්වභාවය නිසා, ගිරිකුම්භීල යන නම සහිත කුබිලවතිසපවත (කුම්භීලතිස්සපර්‍වතය), අරියකරවෙහෙර, ධනතිසපවත, රචගල, අයුරින් අතීතයේ සිට හඳුන්වා තිබිණ. උස අඩි 1038ක්වූ ගල් පර්‍වතයෙහි අක්කර 1600කින් යුත් පුළුල් වපසරියක, මෙගලිතික යුගයේ සිට 10 සියවස පමණ තෙක් පුරා විද්‍යා නෂ්ඨාවශේෂ පවතී. මෙහි ඉහල කොටස විශාල ගල්ලෙන් සමූහයකින් යුක්තය. කටාරම් කොටවා පූජා කරණ ලද මේවා බොහොමයක් හොඳින් සකස් කර තිබූ වගද පෙනී යයි. සෙල්ලිපියක සඳහන් පරිදි ලජ්ජිතිස්ස රජතුමා (ක්‍රි.පූ. 119-109) සීත ලෙන් 25ක් කරවා ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ වෙත පිදූ වග කියවේ. චෛත්‍ය නටබුන්, විහාර, ගොඩනැඟිලි, පබ්බත විහාර සම්ප්‍රදායට අනුව කළ නිර්‍මාණ, පොකුණු, ආරාම සංකීර්ණයන්, ජන්ඨාගර, ඡත්‍ර ලෙන, සුවිසල් දාන ශාලාව, බෝධිඝරය, පැන් පහසුව සඳහා යොදා ගන්නා ගලින් කල පාත්‍රා, ආදී නටබුන් රැසක් ඇති රජගලින්, බුදු පිළිමයක් වශයෙන් හමුවී ඇත්තේ වැඩ නිම නොකළ ප්‍රතිමාවක් පමණි. වේලාව මැනීම සඳහා යොදාගත් හිරු තැටියක්ද වෙයි. මෙහි ගල්පාත්‍ර පිහිටි නටබුන් භූමියේ පිහිටි විවෘත ලෙනක ප්‍රාථමික වැදි චිත්‍රද වෙයි. ලෙන්ලිපි 70කට හා පුවරුලිපි 20කට අධික ප්‍රමාණයක් රජගල පවතී. මේ අතරින් ඉතා වැදගත්කොට සලකනු ලබන ලේඛනය වන්නේ කැටගල් යොදා සකසන ලද කුඩා ස්තූපයක් සමඟ ඇති ‘මේ දිවයිනට වාසනා ගුණය පෙරදැරිව සෘධියෙන් වැඩි ඉට්ඨිය හා මිහිඳු තෙරුන්ගේ භෂ්මශේෂ සහිත සෑය’ යන්න සඳහන් උත්තිය රජ දවස ලියූ පැරණිතම මෙන්ම ලංකාවේ වඩාත්ම ප්‍රසිඬියට පත් සෙල් ලිපියයි.(බුදුදහම රැගෙන මිහිඳු හිමිගේ වැඩමවීමත්, පිරිනිවන් පෑ ඉට්ටිය හා මිහිඳු තෙරවරුන්ගේ දේහ ආදාහනයෙන් ඉතිරි භෂ්මාවශේෂ රටේ තන්හි තන්හි ගෙනගොස් සෑය බැඳවූ වගත්, මහාවංශය කියා තිබේ.)
රජගල කඳුවැටියේ නැගෙනහිර පසට වන්නට ගල් ලෙන් වලින් සමන්විත පියංගල නම් ස්ථානය පිහිටියේය. ගල්ලෙන් රාශියක් සහිත පියංගල ගරා වැටුනු ස්තූප කිහිපයක නටබුන් සහිත පැරණි පුද බිමකි. පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි රැසක් මෙහි වේ.
කොළඹ, මහනුවර-අම්පාර මාර්ගයේ පියංගල ප්‍රදේශයෙන් වමට හැරී කිලෝමීටර පහක පමණ දුරකින් වම්පසට ඇති ගල්කන්දක් වන වෙහෙරගල්කන්ද හෙවත් පුළුකුණාවකන්ද ගල්ලෙන් හැත්තෑවකට වඩා ඇති විසිරී ඇති නටබුන් වලින් යුත් ස්ථානයකි. ස්වභාවිකව සිදුවන විනාශය ඉක්මවා මෙහි නෂ්ඨාවශේෂවලට කර ඇති හානිය ඛේදජනකය.
නෑල්ල පුරාවිද්යා ස්ථානයට යාමට අම්පාර
මහඔය මාර්ගයේ උහන පසු කළ විට සැටල් හන්දියෙන් හැරී යායුතුය. එහි සිට දිවෙන
මහකණ්ඩිය පාරේ ගමන් කළ විට කහටගස්යාය කඳු පාමුල නෑල්ල පුරාණ නටබුන් බිම පිහිටා ඇත.
මෙය අනුරාධපුර යුගයේ නටබුන් දක්නට ලැබෙන පුදබිමකි. මෙතැන සිට මීටර 500ක පමණ දුරින් කඳු බෑවුමෙහි ගුහා චිත්ර සහිත ලෙනක්ද පිහිටා තිබේ. ඒ ආසන්නව සෙල්ලිපියක් ද පවතී.
පැරණි බිත්තියක කොටසක් සහ ගල්කණු දෙකක් ද ලෙන තුළ දැකගත හැකිවේ. දුර්වර්ණ සුදු
පැහැයෙන් ඇඳි චිත්ර සටහන් තිහක් පමණද වේ.
හඳුනාගත නොහැකි සිව්පා රූප, හංගොටු (වැද්දන් භාවිත
කරන), මී වද ආකාරයේ සටහන් ලෙන් බිත්තියෙහි ඇඳ ඇත. මෙම චිත්ර ද ශීඝ්‍රයෙන් මැකීයමින් පවතින වග පෙනී යයි.
කොළඹ, මහනුවර-අම්පාර මාර්ගයේ මහඔය හන්දිය වේ. ප්‍රසිඬ බොල්ලෑගම රාජමහා විහාරය ඇත්තේ මෙහිය. මහඔයවැවද නගරාසන්නව තිබේ. මහඔය පොලොන්නරුව මාර්‍ගයේ සැතපුම් 3ක පමණ දුරක් ගොස් දකුණට හැරීයන මාර්‍ගයේ මීටර 500ක පමණ දුරකින් සියඹලාගස්කණ්ඩිය ප්රදේශයේ උණුදිය බුබුළු පහක් පිහිටා තිබේ. මේවායේ අධික උණුසුමක් පවතී.
උණුවතුර ළිං පහ ආසන්නව මාර්ගයෙන් බෝගමුයාය දක්වාම යාහැක. මෙහි යන විට පසු කෙරෙන ජල දහරාව පනජ්ජාඔය නමින් හඳුන්වයි. මෙම පනජ්ජා ඔය, මොණරාගල බිබිලෙ ප්‍රදේශයේ කඳු වලින් පටන්ගෙන උතුරු දිසාවට ගලමින් ගොස්, ගල්ඕඩෙ ඔය ලෙස තවත් නමකින් හඳුන්වමින් පදියතලාව හා සේරන්කඩ අතරින්ද ගලා යමින්, නැවත නැගෙනහිරට හැරී බකිනිගස්දෝව, ඉද්දපොල, කලුපැනි බැද්ද, ගම් මායිම දිගේ පැමිණ, බෝගමුයායට යන මංකඩ පසුකර මද දුරකින් මහඔයට එකතු වේ. බුළුපිටිය නිල්ගල ප්‍රදේශයේ සිට ඇරැඹී උතුරට ගලන මහඔයට වරාපිටිය ප්‍රදේශයේදී මරංගලඔය එක්වේ. මෙසේ ගලන මහඔය උණුවතුර බුබුළ ප්‍රදේශයේදී නැගෙනහිර දිසාවට හැරී යයි. මීට රඹකැන්ඔය එක්වීමෙන් පසු මුංදෙණි ආර ලෙසද හඳුන්වයි පෙරකී බිංතැන්න පත්තුව ඔස්සේ ගලන පනජ්ජාඔය සම්බන්ධවන්නේ මෙයටයි. මුහුදට වැටෙන්නට කිලෝ මීටර කිහිපයක් තිබියදී මාදුරු ඔයද සමඟ මුංදෙණි ආරද එකතුව කල්කුඩා ආසන්න වැන්දලුස් බොක්කෙන් මුහුදට වැටේ.
මහඔය - අම්පාර මහාමාර්‍ගයෙහි බක්කිඇල්ල ප්‍රදේශාසන්නව වළිඹෙහෙළ පිහිටියේය. අඩි 2158 උසැති පර්‍වතයක් වන වළිඹෙහෙළ ඉංග්‍රීසීන් විසින් හැඳින්වූයේ Friar’s hood යනුවෙනි. ඝන වනයෙන් වැසුනු මෙහි තැනින් තැන ගල්කණුද, පියගැට පෙළද දැකියහැක. මෙය අතීතයෙහි සටන් පුහුණුවූ ස්ථානයක් ලෙසින්ද ප්‍රසිඬය. දිවුලානවැව සිට ගලන දිවුලාන ඔය, අඳල්ල ඔය සමඟ එක්වේ. මේ ආඳැල් ඔය මන්දූර් කළපුවට වැටේ.
පොල්ලෙබැද්ද ආදිවාසී ගම්මානයකි. පොල්ලේබැද්ද ගමට ඈතින් වනය තුලින් ඉහළට එසවී පෙනෙන්නේ නුවරගල කන්දයි. පොල්ලෙබැද්ද වැදි ගම්මානයට ආසන්නව පිහිටි නුවරගලකන්ද බලකොටුවක් වශයෙන් අනුරාධපුර යුගයේදී යොදාගත්, උස් පර්වතයකි. නුවරගලට යාම සඳහා මහ ඔය හන්දියෙන් වමට හැරී කි.මී. 6.5ක පමණ දුරින් පිහිටි පොල්ලෙබැද්ද ඔස්සේ යායුතුය. දල වශයෙන් පොල්ලෙබැද්දේ සිට නුවරගල මුදුනටම කි.මී. 8කට මඳක් වැඩිය. පොල්ලෙබැද්ද පසුකරමින්, නැඟෙනහිර දෙසට ඇති මහා වෙල්යායෙන් එතෙරවෙමින් අතුරු මාර්ගයේ කි. මී. 3ක් පමණ ගමන් කළ විට, කඳුවැටිය පාමුල දෙසින් ගලාබසින රඹකැන් ඔය පෝෂණය කරන කුඩා ජල ප්‍රවාහයක් වේ. ජල දහරාව දිග කි. මී. 1.5ක් පමණ උතුරට යනවිට නටබුන් වී ගිය පැරණි වාරි තාක්‍ෂණික නිර්මාණයක් දැකිය හැකිය. මෙම නුවරගල කඳුවැටියබද, සීත වන්නිය කඳු පාමුල අසලින් ගලා යන රඹකැන්ඔය හරස් කර බඳින ලද වැවේ ගල් සොරොව්ව හා දෙපා ඇළ මාර්ග පද්ධතියත්, වැව් බැම්මත් නිරීක්ෂණය කිරීමේ දී හැඟීයන්නේ එම වාරි කර්මාන්තයෙහි වැඩ නිමකරන්නට නො හැකිවූ වගකි. විශාල ගල්ලෑලි හා ගල්කනු අතුරා සකස් කල මේ විශිෂ්ට පෞරාණික නිර්මාණය ප්‍රදේශ වැසියන් හඳුන්වන්නේ ‘ගල් ඇළ’ ලෙසිනි.
නටබුන් වී ඇති ගල් ඇළ12-13 සියවස්හි මධ්‍යකාලීන සිංහල අකුරෙන් ලියැවුනු රඹකැන් ඔය පුවරු ලිපියෙහි, ‘ගල්වැව ප්‍රදේශයේ වසන ලියන නායකයන් හා කණත්කරන් වහන්සේ විසින් ගල් පුවරු අතුරුවා මේ ඇළ මාර්ගය සකස්කර...’ ආදී වශයෙන් මේ පිළිබඳව සඳහන් කර ඇත. රඹකැන් ඔය පරිසරය, හම්බේ හෙළ, කබරගල, නිල්ගල, මාණික්කවෙල, මල්ගහඋස්ස රක්ෂිතවලට යාබද වන පද්ධතියකි. මේ සමඟින් නුවරගල එසවී තිබේ. දෙපසින් කඳු පර්වත ඇතත්, නුවරගලට සෑහෙන තරම් දුරිනි. නුවරගල කන්දට නැගිය හැක්කේ බටහිර පැත්තෙන් පමණි. මෙහි පාමුලට පැමිණි විට පෙනෙනුයේ, වනගතව පවතින, ඉතා පුලුල්ව සකස් කළ, ගල් දමා තලා දෙපස ගල් වැටි සකස් කර ක්‍රමානුකූලව සෑදූ කියත් දැති හැඩයට දෙපසට වංගු ගසමින් කන්ද වටේ වාමාවෘත්තව යමින් ඉහලට ඇදෙන ආකාරයේ ඉපැරණි මාර්ගයකි. මෙය ඉතා විශාල අශ්වකරත්තයක් වුවත් පහසුවෙන් ධාවනය කල හැකි පරිද්දෙන් සකස් කර තිබූ මඟක් බව පැහැදිලිය. ඉහළ මුදුනට නැගෙන ගමන් මගෙහි සුවිශාල එක් ගල් පව්වක සිට ඒ අසලින්ම වූ තවත් එතරම්ම වූ ගල් කුළක් වෙත යාමට යොදා ඇත්තේ ගලෙන් කළ පාලමකි. ගල් කුළු දෙකක් අතර එළන ලද ගල් ලෑලි දෙකක් ඒ සඳහා යොද ගෙන තිබුණේ ඉතා සූක්ෂම අන්දමින්ය. එහි ආරක්ෂාවට කන්දේ බෑවුම පැත්තෙන් බැම්මක් බැඳ තිබුණු බවට සාධක පවතී. මේ ස්ථානයේ පමණක් නොව කන්ද මුදුන දක්වා දිවෙන ගමන් මඟේ තැනින් තැන මේ අන්දමට ආරක්ෂක බැමි ඉදි කර තිබී ඇත. එම වැටි බොහොමයක් කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී නටබුන් බවට පත්ව තිබේ. පැරණි රාජකීය මාවතේ ඉහලට යන විට මග දිගටම මාර්ගයට මුහුන ලා සෑදූ කුටි දැකගත හැකිය. මේවා පිහිටිගල හාරා සකස් කර තිබේ. මෙවැනි කුටි රාශියක් හමු වන අතර ඒවා පැරණි මුරකුටි වන්නට ඇති බව අනුමාන කළ හැක. ඇතැමක දෙවන සියවසට අයත් බ්‍රාහ්මී ලෙන් ලිපි කොටා තිබේ. නුවරගල මුදුනට පිවිසීමට ඇති එකම මාර්ගය මෙය පමණක් වීම නිසා, අනෙක් පැති සියල්ලම ශීඝ්‍ර බෑවුම් හෙයින්, මාර්ගය දැඩි රැකවල් මැද පවතින්නට ඇත. (ඉඩෝර නොවන සමයන්හිදී කඳු ශිඛරය මුදුනේ සිට පහළට සිසිල් දිය දහරාවක් ඇද හැලෙයි. දිය ඇල්ල අඩි සිය ගණනක ඉහළ සිට, ගමන් ගන්නා මාර්ගයට විසිර ඇද හැළෙමින්, ගල් අතර හිදැස් මැද්දෙන් රූරා යමින්, ගල් තලාවන් මැද්දෙන් බස්නාහිර දෙසට බොරපොළ ඇළ නමින් පහළට ගලා රඹකැන්ඔයට එක් වේ. කන්දේ මෙම දිය පහර ඇද හැලෙන ඉහළ සීමාවට මඳක් පහළින්, එනම් නුවරගල පව්වේ ඉහළ කොටසෙහි බඳෙහි, උසින් අඩි දහයක් පමණ වු ද පළලින් අඩි තුනක් පමණ වු ද කුහර හතක් නිමවා ඇත. ගල් බෙයඳේ කොටා ඇති කවුළු වැනි මේ ගල් කුහර අඩි පහක් පමණ ඇතුලතට හාරා ඇතැයි අනුමාන කළ හැක. ප්‍රදේශ වැසියන් විසින් මේවා සලකන්නේ ගල් දොර ලෙසය. ඒ නියායෙන් මේ ස්ථානය ‘දොරෙන් පේන ඇල්ල’ නමින් හඳුන්වයි. මෙම ගල් කුහර වෙත ළඟා විය හැක්කේ ගල මුදුනේ සිට පහළට හෙළන වැල් ඉණිමඟක ආධාරයෙන් අවදානම් අයුරකිනි. ගල් තලාවේ කොටා ඇති මේ කුටි හත දුර දක්නයක් ආධාරයෙන් යම් තරමකට දර්ශනය කර ගත හැක). ඉහළට පිවිසෙන ගල්ඇල්ලූ මංපෙත නිමා වන්නේ කටාරම් කෙටූ 150කට පමණ සිටිය හැකි අඩි 150 ක් තරම් දික් වූ විශාල ලෙන අසලිනි. ලෙන් පියස්සේ සෙල් ලිපියක් දක්නට ඇත. ‘මේ ලෙන සතර දෙසින් එන සංඝයා වහන්සේ වෙත පූජා කරන ලද්දේ සද්ධාතිස්ස රජතුමාගේ දෙටු පුත් ලඤ්ජිතිස්සය’ යනුවෙන් එහි සටහන් කර තිබේ. එම ලෙනෙහි ආදි කාලයේ බිත්ති බැඳ තිබෙන්නට ඇති බව පෙනී යයි. නුවරගල කඳු මුදුනේ චතුරස්‍රාකාර ව ඉදිකළ දිගින් අඩි 77ක්, හා පළලින් අඩි 55ක්ද, වන නිල් දිය සහිත සුවිසල් පොකුණේ දැනට ඇති ගැඹුර අඩි 7ක් පමණ වුවද රොන්මඩ පස් නොරැඳුණු තැන්හි ගැඹුර අඩි 11කි. නිරන්තරයෙන් දියෙන් පිරී තිබෙන වැහි ජල රැඳවුමක් ලෙස සැලකිය හැකි මේ ජල තටාකය වෙත නියං සමයේ දී දිය බීම සඳහා සිවුපාවුන් ද අලි ඇත්තු ද පෙර කී මඟ ඔස්සේ කන්ද තරණය කර මෙම පොකුණ කරා පැමීණේ. පොකුණ හෑරීමේදී ඉවත් කළ ගල් කුට්ටි, ගල් වැටියක් ලෙස බෑවුම පැත්තේ රඳවා තිබේ. මෙසේ සැතපුමක(කි.මී. 1.5) පමණ ගමනකින් පසු පිවිසි පර්වතය මුදුනට, වටයේ පෙනෙන දර්ශනතලය මනෝහරය. හාත්පස පෙනෙන දැවැන්ත තැනිතලාවේ අතරතුරින්, යෝධයන් සේ නැගී සිටින පර්වත හා කඳු පන්ති අලංකාර දර්ශනයක් මවාපායි.
නුවරගල පර්වතය
|
පදියතලාව වහව පිහිටි ලංකාවේ ඇති එකම පීඩන උණු දිය උල්පත |
වහව පීඩන උණුදිය බුබුළ පදියතලාව නගරයේ සිට කිලෝමීටර් 13ක් කෝමාණ දෙසින් හැළිගල කඳු පාමුල ප්‍රදේශයේ පිහිටා තිබේ. ලංකාවේ ඇති ‘එකම පීඩන උණු දිය උල්පත’ මෙයයි. මින් අඩි 13 ක් පමණ පොලවේ සිට ඉහලට ජලය විදිනු ලබන්නේ පෘතුවි අභ්‍යන්තරයේ සිට එන අධිපීඩනය හේතුවෙනි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 67ක් පමණ වේ. මේ යාබදව වගුරු සහිත භූමියේ තවත් උණුදිය බුබුළු 16ක් ඇති නමුත්, ඒවායෙහි ජලය ඉහලට විදීමක් නැත. ප්‍රදේශයේ කුඹුරු වගාවද සිදුකෙරෙනුයේ මේවායේ ජලයෙනි.
මාදුරුඔය ඌව ද්‍රෝණියේ කඳුවැටිවලින් ආරම්භ වී බදුල්ල, අම්පාර, මඩකළපුව, දිස්ත්‍රික්ක මතින් නැඟෙනහිර දෙසට ගලමින්, මුහුදට වැටෙන්නට කිලෝමීටර කිහිපයක් තිබියදී මුංදෙනිආර සමඟ සම්බන්ධව,කල්කුඩා වලට නුදුරු වැන්දලුස් බොක්කෙන් මුහුදට එකතු වේ. කි.මී. 134 (සැතපුම් 84.3) ක මුළු දුරක් ගලායන මාදුරු ඔය, මෙම දුරින් අඩකදී එනම් කි.මී. 77 ක ප්‍රමාණාත්මකව ඔය ගලන කන්දේගම, දානිගල කඳු අතර බැඳෙන වේල්ල නිසා මාදුරු ඔය ජලාශය ලෙස දිය පිරීම සිදුවේ. නව වේල්ල මඟින් එසේ ජලාශය ඉඳිවුවද, මෙහි ඉපැරණි යටගියාව පිළිබඳව නව වේල්ල ඉඳිකැරුණු ස්ථානයේ තිබී හමුවූ පැරණි සොරොව්ව දෙස් දෙයි. ක්‍රි.පූ. පළමුවන සියවසේ බැඳි පැරණි අමුණ කූටකණ්ණතිස්ස රජ සමයේ කරවන ලද, නොඑසේනම් ධාතුසේන රජ සමයේ සැකැසුන බවට, මූලාශ්‍රයන්හි කියැවෙන මහාදාරගල්ල වාපිය වියහැකි යැයි සළකණු ලැබේ. මෙම පුරාණ සොරොව්වේ ව්‍යුහය පිරික්‌සා බැලීමේදී, ජල පීඩනයට හොඳින් ඔරොත්තු දෙන අයුරින්, මනාව පාලනය කර ජලය නිකුත් කිරීමට හැකි ලෙස අභ්‍යන්තරය ගලින් නිමවා ඇති ආකාරය ඉතා විශිෂ්ට වේ. දෙපස ගඩොලින් ඉදිකර ඇති බිත්ති ද වඩා තුනී බදාම තට්‌ටුවක් යොදා ගනිමින්, එහෙත් ශක්‌තිමත්ව ඉදිකර තිබූ අතර, වඩා උසස් ඉදිකිරීම් ශිල්පීය ලක්‌ෂණ පිළිබිඹු කර ඇත.
මහඔය ප්‍රදේශාසන්නව, මාදුරුඔය රක්ෂිතයෙහි හුදෙකලා පර්‍වතයක් ලෙස මීටර පනහක පමණ උසින් යුත් හෙනන්නේගල පිහිටියේය. මහඔය සිට අරලගන්විල මාර්ගයේ කිලෝමීටර් දහයක් පමණ ගිය පසු ප්‍රධාන මාර්ගයේ දකුණු පසින් මාර්ගයට ඉතා ආසන්නව මෙම පර්‍වතය ඇත. මේ ප්‍රදේශය දුටුගැමුණු රජතුමාගේ අවසන් සටන සදහා සේනා සංවිධානය කරනු ලැබූ සේනානිගල බවත් පසුව එය හෙනන්නේගල බවට විකාශණය වූ බවත් ජනප්‍රවාදයන්හි කියවේ. පව්ව වටා හෙනන්නේගල පුරාණ රජමහා විහාරයේ නටබුන් විසිරි පවතී. (ජනප්‍රවාදයට අනුව මෙම විහාරය දුටුගැමුණු රජතුමාගේ මව වන විහාර මහා දේවිය විසින් කල වග පැවසේ.) මෙම ස්ථානයෙන් හමුවූ ශිලාලේඛනයක විහාරය කාවන්තිස්ස රජු විසින් කරවා පූජා කළ බව ලියා තිබේ. මෙහි පුරාණ ප්‍රවේශ මාර්ගයෙහි සඳකඩපහන, මූරගල් හා ගල් පඩි පෙළ දක්නට ලැබේ. ගල් ගුහාව නිර්මාණය කිරීමේදී ශිඛරයෙහි සම්පූර්ණ වම් පස මට්ටම් තුනකින් ඇතුලට හාරා ඇති අතර මේ අනුව කිසිදු ආකාරයකින් වැසි ජලය ලෙන තුළට පැමිණීම සම්පූර්ණයෙන්ම වළකා ඇත. විහාරයේ කුටි, ලෙන තුළට වන්නට ගඩොල් යොදාගෙන මැටියෙන් තනා තිබේ. මෑත කාලයේදී විනාශ කරන ලද ශෛලමය සමාධි පිළිම වහන්සේ නමකගේ කොටස් ද ඉදිරිපස කුටිය තුළ දක්නට ඇත. මෙම ස්ථානයේ විනාශ නොවී ඉතිරිව ඇති බිතු සිතුවම් කිහිපයක් වේ. මේවා සීගිරි චිත්‍ර වලට සමාන ලක්ෂණ පෙන්වන නමුත්, ඊටත් පෙර අවධියක නිර්මාණය කර ඇති බවට විශ්වාසයක් ඇත. ගල් තලාව මත වූ දාගැබ නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇති අතර එය වර්තමානයේ නැවත ප්‍රතිසංස්කරණය කර තිබේ.
දානිගල නමින් ප්‍රසිඬ පර්වතය පිහිටා ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය අරලගංවිල හරහා යායුතු කන්දේගම නම් ගම්මානයේ යි. දානිගලකන්ද අසාමාන්‍ය හැඩය මෙන්ම වෙනත් කරුණු නිසා ප්‍රසිද්ධව ඇත. මේ පර්වතය දනවානාගල ලෙසද ගැමියන් හඳුන්වති. කන්දේගම විහාර භූමියට පිටුපසින් වෘත්තාකාරව නැගීසිටින දානිගල දැකගත හැකිය. කන්ද නැඟීමට පෙර මෙහිදී හමුවන ධනංජය විහාරස්ථානයේ ආරම්භයද 2වන සියවස දක්වා දිවයන්නකි. විහාරස්ථානයේ පිහිටි කඳු පංතිය වටා කටාරම් කෙටූ හා සකස් නොකරන ලද ගල් ලෙන් 60 කට වඩා පිහිටියි. එයිනුත් දිගින් අඩි 80ක් පමණ සහ පළලින් අඩි 25ක් පමණ වන විශාලම ගල් ලෙන තුල සකස්කරන ලද පීඨිකාවක් මත ඉදිකොට ඇති අඩි 40ක් පමණ දිගින් යුතු සැතපෙන බුදු පිළිමය මෙම විහාරයේ ඇති අග්‍රගණ්‍ය ම ඉදිකිරීමයි. ගඩොල් භාවිතාකොට ඉදිකොට ඇති මේ පිළිම වහන්සේ එක මත එක බදාම තට්ටු කීපයක් යොදාගනිමින් සිවුරේ රැළි මතුකරමින් හා සිරුරේ හැඩයට අනුව සකස්කරමින් ඉදිකර ඇත. එසේම ලෙනෙහි ගඩොලින් බැඳි බිත්ති යොදාගනිමින් වෙනම කුඩා කුටියක් ද සකස්කොට තිබී ඇති අතර එහිද වෙනමම පිළිම වහන්සේ නමක් ඉදිකොට තිබෙන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙහි පිහිටි ලෙන් අතරින් සෙලිලිපි කීපයක්ම හමුවී ඇති අතර එයිනුත් සද්ධාතිස්ස රජතුමා හා එතුමන්ගෙ පුත්ර ලඦ්ජිතිස්ස පිළිබඳ තොරතුරු කියැවෙන ලිපි දෙක වැදගත් සේ සැලකේ. මීට අමතරව ගල් ගුහාවන් සකස්කොට පූජා කිරීම සම්බන්ධව සෙල්ලිපිවල දැක්වෙයි. මෙහි එක් ලිපියකින් එක් ලෙනක් ඉන්දියානු වරායක නමින් නම්කොට ඇති බැවින්, එකල මෙම ප්රදේශයේ සිටි ජනතාව එම ඉන්දියානු වෙළඳ වරාය පිළිබඳ තොරතුරු අනිවාර්යෙන්ම දැන සිටින්නට ඇති බව අදහස් කෙරේ. මේ ගුහා දැනට වනපෙතට යට ව ඇති සෙසකි. සැතපෙන පිළිමයේ සිරස නිදන් හොරුන් වනසා තිබේ. අවධානයක් නොමැති වීමෙන් තුන් වැනි සියවසට අයත් යැයි සැලකෙන අගනා පුරාවස්තු රැසක් මෙසේ වනයට යටවෙමින් විනාශ වී යයි. කන්දේගම ගමේ පිහිටි ධනංජය විහාර භූමියේ වම් පස කෙළවරින් වනයට පිවිසෙන කුඩා අඩි පාර දිගේ ගොස් ඉහළට ගමන් කරමින් කන්ද තරණය කලයුතුවේ. මෙහි සිට දානිගල කන්ද මෙන්ම කන්දේගම කන්ද යන කඳු දෙකම තරණය කිරීමට හැකිය. මේ සමඟම තරමක් ඉහලින් පිහිටි විශාල ගල් දෙබොක්කාවක කොටා ඇති සංකේත රූප මාලාව මෙතෙක් හඳුනා නොගෙන ඇති හෙයින් ආචීර්ණකල්පිත කරුණු වලට පසුබිමක් සපයන බව පෙනේ. මෙම ලෙන් බිත්ති මත ඇති කැටයම් ආකාර කෙටීම් සළකුණු, හඳුනාගතහැකි සම්ප්‍රදායකට නොගැලපෙන, නවශිලා යුගයට අයත් දැයි සැලකිය හැකි, අමුතු ආකාරයක යම් ජ්‍යාමිතික හැඩතල ලෙසද පෙනෙන ශිලා සටහන් රැසකි. දානිගල උස් අතට හැරවූ පැතලි බෙරයක් වැනි වක්‍රාකාර හැඩයක් ඇති කන්දකි. අක්කර 10ක් පමණ විශාල, පැතලි කඳු මුදුන මත තැනිතලා තෘණ භූමීයක් වැනි ප්‍රදේශයක් පවතී. මැද පෙදෙසේ උසින් වැඩි ගස් නොමැති අතර, කැලය පිහිටියේ තරමක් දකුණට වන්නට යි. මෙම සමතලා පෘෂ්ඨයක් සහිත කඳු මුදුනෙහි ගැට්ට හෙවත් වටේට ඇති රවුම් බෑවුම අංශක 90ක පමණම සීඝ්‍ර හෙලකි.