කොළඹ තොරතුරු
Colombo Information
(කොළඹ තොරතුරු - මෙහි එන තොරතුරු ජනශ්‍රැති මූලාශ්‍ර ඔස්සේ මෙන්ම තවත් කරුණු හා ඡායාරූප පොත්, පත්, සඟරා, සහ අන්තර්ජාලයෙන්,ද එක් කරගෙන මෙන්ම උපුටාගෙන ඇති
වගද, ස්තුතිපූර්වකව දක්වනු ලබන බවද, ඒවායෙහි අයිතිය මුල් හිමිකරුවනට බවද,
කාරුණිකව සලකන්න. තාක්ෂණික හේතුමත අක්ෂර වින්‍යාසයෙහි
සම්මතයෙදීම් වෙනස්ව ඇති අවස්ථා පවතී.)
කොළොඹ, කරළු ඈ නිපන් සද පියවි නම්. - සිදත් සඟරාව
‘කොළොඹ’ යනු එක්මැ තොටක් බඳු නුවරකට යෙදෙන
නමකි. කිසිවිටෙක මේ තොටමුනේ හඬින්මැ ‘තොට’
යන්නට අරුත දෙන්නට ‘කොළොඹ’ යනු වහරේ වැටුනා වෙන්නටද බැරි නැත. - රැ. තෙන්නකෝන්
සූරීහු සිදත් සඟරා විවරණයෙහි කියති.
අද කොළඹ ලෙස වෙන් කෙරෙන භූභෞතික සාධකවන්නේ ජල
මාර්ගයන්ය. උතුරින් කැලණි ගඟද, නැගෙනහිරින් සෙබස්තියන්ඇළෙහි උතුරු කොටස ද දෙමටගොඩ
ඇළ සහ කිඳ ඇළද, දකුණින් කිරුළපනඇළ හා ඊට සම්බන්ධ ජල මාර්ගයන්ද දෙහිවලඇළද, බටහිරින්
ඉන්දියන් සාගරයද, මේ මායිම් වේ.
දඹදෙණි යුගයටත් පෙර සිටම කොළඹ නැව් තොටක් ලෙස පැවති බව
ඉතිහාසගත මුලාශ්‍රවලින් තහවුරු කෙරෙයි. ඉන්දු සයුරේ උෂ්ණ, ශීත, දියවැල්හි කාලීන හැසිරීම,
සුළං දිශා රටාව, තොටුපොල ස්වභාවය, මුහුද අවට රටවැසියන්ගේ චර්යාවන් තුල වෙළෙඳාමේ
ආරක්ෂාව, විශ්වාසය, මීට හේතුවන්නට ඇත. අනුරපුර යුගයේ නවවන සියවස කාලයේ සටහන්කළ සේ සැලැකෙන මන්නාරම් කච්චේරි
ටැම් ලිපියේ ලියන සිව මේ කොළඹ අයෙකු විය හැක. ක්‍රි.ව. නවවන සියවසේදී වෙළෙඳාමේ ආ අරාබි
ජාතිකයෙකුගේ සොහොන් ගලක් කොළඹින් ලැබීම අනුවද පෙනී යන්නේ ප්‍රකට නැව්තොටක් වූ වගට
සාක්ෂියකි. නිකාය සංග්‍රහයෙහි අලගක්කෝනාරයින් කොළඹ ද්‍රොණි මුඛාසන්නයෙහි දාරු ග්‍රාමයෙහි අභිනව ජයවර්ධන නම් බලකොටුවක්කරවා මහසෙනඟ පිරිවරා එහි පදිංචි වූ වග කියා ඇත. එපරිදි 1374 කාලයේදී අළගක්කෝනාර විසින් කොළඹ, වත්තල, මීගමුව, හලාවත, පවත්වාගෙන ගිය ආර්යචක්‍රවර්තිගේ බලකොටු අල්ලාගනිමින් පරාජයට පත්කළ බව එහි සඳහන් වේ. ක්‍රි.ව. 1344දී මෙහි
පැමිණි දේශාටකයකු වූ ඉබන් බතූතාගේ වාර්තාවන්හි
‘කලංපූ’ ලෙසද 1330 වසරෙහි මෙහි
පැමිණි චීන නාවුක හමුදා ප්‍රධානියකු වන වැංතායුවාන්1349දී ලියූ “ට-ඕ-ඉ-චි-ලුඒ”ග්‍රන්ථයෙහි
නිසරු පසින්ද, ගැඹුරු වළවල් වලින්ද, යුත් පහත් බිමක් වන ‘කඔ ලං පූ’ ලෙසද දක්වා ඇති
කොළඹවරාය පසුකල ‘Colombo (කලම්බු)’ යනුවෙන්
පිටදේශීන්ගෙන් ව්‍යවහාරයට එක් වූ බව පෙනෙයි. කෝට්ටේ යුගයේදී ලියැවුනු සද්ධර්ම
රත්නාකරය නමැති ග්‍රන්ථයෙහි මෙම ස්‌ථානය ‘කදම්බභිධාන ද්‍රෝණ’ නමින් (කදම්භ යනු
පාලි බසින් කොළොං ගසට නමි) දක්වා
තිබීමෙන්, මෙහි කොළොං ගසක් පිළිබඳ ව්‍යවහාරය පැවැති වග තහවුරු වන අතර, පෘතුගීසීන්ගේ
පැමිණීමෙන් පසු කොළඹ ලෙස නාමය වඩාත් ප්‍රචලිත වූ බව පෙනෙයි.
කොළොන්තොටට ගලා ගිය ජල දහර කයිමන් දොරකඩ අසලින්
හරස් කළ පෘතුගීසීහු එය තම බළකොටුවේ ආරක්ෂාවට ‘ජල දුර්ගයක්’ ලෙස[සාන්ත ජෝන් ඇළ නමින්] භාවිත කළ වගත්, අනතුරුව කොළඹවිල ලෙස
හැඳින්වූ පසුව බේරේ ලෙස නම්වූ ජලාශය වශයෙන් පුළුල්වූයේ එම කොළොන්නා ඔය හා එහි අතු බවත්,
එය මුහුදට වැටුනු තැන වූ තොට කොළොන්තොට වූයේ යැයි කියැවෙන මතයක්ද
වේ. කෝරළ බෙදීම් අනුව කොළඹ සැලැකෙනුයේ සල්පිටි
කෝරළයේ පල්ලේපත්තුවේ කොටසක් වශයෙනි.
ක්‍රි.ව. 1679දී මෙහි
පැමිණි රොබට්
නොක්‌ස් විසින්ද සිය වාර්තාවන්හි Colombo නාමය සඳහන් කර තිබේ. 14 වැනි සියවස
අග භාගයේ ලියැවුණු රාජාවලියෙහි මෙම ස්‌ථානය ‘කලන්තොට’, ‘කැලණි ගම්තොට’
යන නම් වලින් දක්වා ඇත. විවිධ රටවලින්
මෙරටට ආ ගිය වෙළෙන්දන් අතර විවිධ ඉන්දියානු, දෙමල, මලබාර, කොච්චි, යෝනක, අරාබි, පාර්සි, බෝරා, මැලේ, චීන, වැනි නොයෙක් ජාතීන් නිසාද,
මතු පැමිණි පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි,
පාලනයන් නිසාද කොළඹ තව තවත් විවිධත්වය මත වර්ධනයවීම හා ජාත්‍යන්තරකරණය ද, සිදුවිය.
කැලණි ගං මෝදර මුහුදු බොක්කෙහි වූ මේ ‘කොළොංතොට’ කෝට්ටේ රාජධානියේ මූලික නැව්තොට ලෙසද පිළිගැනුනි. මෙවක කොළොංතොට අවට පහත රට තෙත් කලාපයේ වැවුනු කුරුඳු වටිනා අපනයන වෙළඳ ද්‍රව්‍යයක් බවට පත්ව තිබිණ. එමෙන්ම උඩරටින් හා පිට ප්‍රදේශවලින් තවලම් ආදියෙන් මෙන්ම ගඟ දිගේ ඔරු, පාරුවලින් ගෙන ආ ගම්මිරිස්, සාදික්කා, ඉඟුරු වැනි කුළුබඩු සහ තවත් වෙළඳ ද්‍රව්‍ය (මැණික්, ඇත් දළ, ආදිය අලි, ඇතුන් පවා) මෙතැනින් අපනයනය කෙරිණ. එසේ වුවද, සිංහල ගම්මානයන්හි නිවෙස්, හා නැව් තොට හැර ස්ථිර ගොඩනැඟිලි සහිතව ඉඳිවූ ගබඩා පහසුකම් ඈ දේ එකළ මෙහි තිබූ වගට සාක්ෂි නැත [අද ද පැරණි ග්‍රාමනාම සිංහලය]. එවක බොරළුගොඩහින්න(පසුව ආදුරුප්පුවීදියකන්ද හෙවත් සන්තුන්පිටිය - දැන් ජින්තුපිටිය) නමින් දැක්වෙන උස්බිම් ප්‍රදේශය හා දැන් අලුත්කඩේ, ගල්වල ලෙස හඳුන්වන ප්‍රදේශයන්ද කළුගල් තලාවකින් යුක්තව උස්ව තිබී ඇති අතර, එකල මෙහි කැලෑ රොදවල් අතරින් වටේට ගලා ගිය කුඩා දිය සීරාවන් සහිත පරිසරයක් පැවැති බව කියැවේ.
ආක්‍රමණිකයෙක් ලෙස පෘතුගාල නාවික ලොරෙන්සු ද
අල්මේදා 1505 නොවැම්බර් 15 කොළඹට සේන්දු වූයේ වීර පරාක්‍රමබාහු (අටවන පරාක්‍රමබාහු) කෝට්ටේ රජතුමන්ගේ යුගයේදීය. මලබාරමරක්කලයන්, චීනුන්,
පර්සියානුවන්, අරාබිවරුන්, වෙළෙඳ කටයුතු පිණිස මෙහි පැමිණි නමුදු යුරෝපීය ජාතියක්
පැමිණි පළමු වතාව මෙය විය. පෘතුගීසි ලොරෙන්සෝගේ නැව් හමුදාව කොළඹට පිටතින්
නැංගුරම් ලන ලදී. (කොළඹ වරායට දකුණින් කෙටි දුරකින් වන
ගල්බොක්ක නමින් හඳුන්වන ස්ථානයේ නැංගුරම් ලූ වග සැලකෙයි. ක්‍රි.ව. 2 සියවසේ ටොලමිගේ ලංකා සිතියමේද Jovis extremum Dios Acron ලෙස ගල්බොක්ක සටහන් කරතිබේ.) කොළොම්තොටට
පැමිණි මේ පෘතුගීසින් දැක කොළොම්තොට වැසියන් කලබලයට පත්ව කෝට්ටේ රජුට සැල කර
සිටියේ “අපගේ කොලොන්තොට ඉතා සුදු පැහැය ඇති ජාතියක් බොහෝ රූපශ්‍රීයෙන් යුක්තව යකඩ
හැට්ට ඇඟ ලාගෙන යකඩ තොප්පි ඉසලාගෙන විගසක් එකතැන නොසිට සක්මන් කරනවාය, කුඩු ගල්
සපා කමින් ලේ බොන්නේය, එක මාළු කූරියාට එක දෙහි ගෙඩියට රිදී රන් දෙක තුන දෙන්නේය, උන්ගේ
කාලතුවක්කුව තියන වෙඩිල්ලේ ශබ්ද යුගන්දර පර්වත සෙන හඬටත් වැඩිය කාලතුවක්කු උණ්ඩය
ගව් ගණන් ගොසින් වන් කල ගල් කෝට්ට යකඩ කෝට්ටවල් පොඩි වෙයි”... යනුවෙන් බව
රාජාවලියෙහි සඳහන් වේ.
මෙම පෘතුගීසීන් කොළඹ
සිට කෝට්ටේ රජවාසලට වක්‍ර මාර්ගයකින් කැඳවා ගෙන ගිය ආකාරයක් ‘පරංගියා කෝට්ටේ ගියා
වගේ’ යන උපහාසාත්මක පිරුළින් කියැවෙයි.
කෝට්ටේ රජු හා ඇති කර ගත් ගිවිසුමක් අනුව,
ලොරෙන්සෝද අල්මේදා විසින් එම රජුගේ අවසර ඇතිව,
දැනට නිරිත දිග දියකඩනයේ ආරම්භක ස්ථානයේ, එවකට අද කොළඹ
වරාය නිරිත දෙසට ප්රදේශය, ගල්බොක්ක දෙස සිට විහිදුණු කොක්කක් වැනි මුහුදු තීරය
සමීපයෙහි පෘතුගීසීන්ගේ මුල් ම වෙළෙඳ ගබඩාව ඉදිකරනු ලැබීය. පෘතුගීසීහු ඔවුන්ගේ
ඌරුවට Galvoco ලෙස මෙය හැඳින්වූහ. බ්‍රිතාඤ්ඤයෝද
‘ගල් බොක්ක’ වචනයම තම හුරුවට
ගෙන ගෝල් බක්(Galle Buck) ලෙස මෙතැන හැඳින්වූහ.
[මෙතැන ඔස්සේ දිවෙන පාර
‘ගල්බොක්කපාර’ ලෙස නම් කර ඇත. මෙහි බටහිරින් මුහුද ගොඩකර අද වරාය නගරය ඉඳිකර ඇත.]
ඔව්හු මුහුදු වෙරළ අසල තිබූ ගලක තම රාජ්ය ලාංඡනය
හා වර්ෂයසේ පෙනෙන සළකුණක් කොටන ලදී. එය සටහන් කලේ කොළඹ මුහුදු බොක්කේ සිට බැලූ විට
පෙනෙන අයුරිනි. මෙම ලාංඡනයෙහි 1501 ලෙස පෙනෙන සඳහනක් ඇතත් එහි තේරුම පැහැදිලි නැත. [මෙම සටහන සහිත ගල් කැබැල්ල කලක් ගෝඩ්න්උද්‍යානයේ
තිබී, මේ වනවිට කොළඹ වරායතුල පවතී.] පෘතුගීසීන් කොළඹ
නම්කලේ ශාන්ත ලෝරන්ස් නගරය යනුවෙනි. ලොරොන්සෝ ද අල්මේදා වෙළෙඳ ගබඩාව තනා ප්‍රතිකාලුන්
කිහිප දෙනෙක් නවත්වා දිවයිනෙන් පිටත් ව ගිය ද මේ ගබඩාව එහි වැඩි කලක් පවත්වා
ගැනීමට නොහැකි වූයෙන් 1507 දී වෙළෙඳ ගබඩාව වසා දැමීමට සිදු විය.
පෘතුගීසීන්හට කොළඹ කොටුවක් ගොඩනැගීමේ අවශ්‍යතාවයක් පැනනැඟී පැවති මෙකල කෝට්ටේ ඔටුන්න හිමි සිංහල කුමාරවරුන් දෙදෙනෙකු අතර භේද හටගෙන තිබුණි. පෘතුගීසීන්ගෙන් උදව් ගැනීමට එක් කුමාරයෙක් ඉදිරිපත් වීම නිසා එයින් උපරිම ඵල නෙලා ගැනීමට සිතු පෘතුගීසීහු කොළඹ කොටුවක් ඉදිකිරීමට කටයුතු යෙදූහ.1518 සැප්තැම්බර් 10 ලෝපො සොරස් ද අල්බර්ගේරියා නමැති පෘතුගීසි විසුරේවරයා නැව් කණ්ඩායමක් සමඟ කොළඹට පැමිණි අතර, අනතුරුව ප්‍රතිකාලුන්ගෙන් උදව් පැතූ ධර්ම පරාක්‍රමබාහුගේ සම්බන්ධය මත කුඩා බල කොටුවක් තැනීම ආරම්භ කළහ. මේ වන විට හයවන විජයබාහු කෝට්ටේ රජතුමන් විය. කොටුව තැනීමට විරුද්ධ වූ මරක්කල වෙළෙන්දෝ එතුමන්ට ගතු කියමින් පෘතුගිසි යාත්‍රා වලට පහර දීමට කටයුතු කළහ. එහෙත් මෙහිදී ඉන්දියාවෙන් ආධාර ගෙන්වාගත් පෘතුගීසීහු සිය යුද ශක්තිය තුළින් මෙම ප්‍රහාර පහසුවෙන් වළකා ගත්හ. ඉක්බිතිව ගෙරි හමක ඉඩ ලෙස කියමින් උපායශීලීව ගෙරි(හරක්) හමක් කුඩා තීරුවලට ඉරා ඉන් වටකරගත් ප්‍රමාණය දක්වා කුඩා ඉනි වැටකින් මායිම්කර පටන්ගත් පෘතුගීසින් ඉදි කළ මුල් ම බළකොටුව දැව දඬු හා මැට්ටෙන් කළ කුඩා නිර්මාණයක් විය. ඒ තුළ ගබඩාවක් ද තැනිණි. එහි සිට කුරුඳු වෙළඳාමට ද කොළොන්තොට ආරක්ෂා කිරීම ටද ගිවිසුම් විය. ශාන්ත ලෝරන්ස් සාන්තුවරයාට කැප කරන ලද කුඩා දේවස්ථානයක්ද මෙහි ඉදිවිය. මෙම කොළඹ බළකොටුව ත්‍රිකෝණාකාරය. ඇතුළත ස්වභාවය ගොඩනැඟුවේ පෘතුගීසි සම්ප්‍රදාය අනුවය. පෘතුගීසි ඉතිහාසඥයකු වූ රුබෙයිරෝ තැබූ සටහන් අනුව පැරණි තාලයට අනුව සෑදූ කොටුව ප්‍රමාණයෙන් කුඩා වුවද ගොඩ නඟා තිබූ කොටු බැම්ම වරිච්චියෙන් (උණගසින් හා මැටියෙන්) බැඳී, තනි පේළියේ තාප්පයක් නමුදු ස්වදේශිකයන් ගේ ප්‍රහාරයන්ට ඔරොත්තු දීමට සමත් නැවත කබොක් හා හුනුගලින් ශක්තිමත්කළ එකක් විය. එය වටා දෙපසින්ම දිග අගල් කපා තිබිණි. මේ දිය අගල් කොටු තාප්පයේ එක් කෙළවරක පිහිටි විලකින් කෙළවර වන අතර ගොඩබිම දෙසින් එන තවත් දිය ඇලක් ද මේ ජලාශයට සම්බන්ධ වී ඇත. මුලින් ම කටුමැටියෙන් හා කබොක් හා හුනුගලින් තැනූ මෙම බල කොටුව භාරව කටයුතුකරන ලද්දේ ඩොං ජුවන් ඩි සිල්වේරා ගේ නායකත්වයෙන් යුතු දෙසියයක සේනාංකයකි. අරාබි වෙළෙඳුන් මෙහෙය වන ලැබූ පිරිස් කොළඹ ප්‍රතිකාල් බලකොටුවට නිතරම පහර එල්ල කරන ලදී. මුස්ලිම්වරුන්ගෙන් නිතරම තර්ජන එල්ල වන නිසා වරායේ සිට මුහුදට අගලක් කපා සාන්ත ලෝරන්ස්ගේ තුඩුවේ පෘතුගීසි බලකොටුව ප්‍රධාන ගොඩබිමින් වෙන් කරන ලදී. එවිට එය දූපතක් ලෙස දිස්විය. මෙම බලකොටුවේ වට ප්‍රමාණය සැතපුම් 3 ක් වූ බවද කියවේ. මේ තත්වය හේතුවෙන් බලකොටුව ගල්බැමි යොදා ශක්තිමත්ව ඉදි කරනු ලැබීය. මෙම ලෝරන්ස්ගේ තුඩුවේ පිහිටීම අනුව ත්‍රිකෝණාකාර වූ කොන් තුනේ අට්ටාල තුනක් හා මැද උස් වූ අට්ටාලයක් ද එහි ආරක්ෂා ව සඳහා නිමවා තිබුණි. මේ ප්‍රාකාරයෙන් වට වූ පෙදෙසෙහි නිලධාරීන්ගේ නිවෙස් සහ වෙළෙඳ ගබඩා පැවැතියේය. පෘතුගීසින් විසින් කොළඹ කොටුව අපේ ජයග්‍රහණයේ ස්වාමි දුව ලෙස නොහොත් ශාන්ත බාබරාගේ කොටුව වශයෙන් ද හැඳින්විණි. ( මධ්‍යයේ කුළුණකින් යුක්ත ත්‍රිකෝණාකාර මෙම පළමු බල කොටුව පෘතුගීසී වදනින් නම් කර තිබුණේ නොසා සෙඤෝරා දා වර්තුදේ නොහොත් සැන්ටා බාබරා යනුවෙනි.)
පෘතුගීසි ලේඛක ගැස්පර් කොරයා (1492–1563)ගේ, 'Lendas da Índia' ('ඉන්දියාව පිළිබඳ කියවීම්') නම් කෘතියෙහිවූ සිතුවමක්.
අද රජගෙදර හා මුහුද අතර ප්‍රදේශයේ වන ගල්බොක්ක යනුවෙන් හැඳින්වුන ස්ථානයේ මුහුද අද්දර ඉඳිකළ පෘතුගිසින්ගේ බලකොටුව මධ්‍යයේ ඈත මුහුදේ සිටම කොළොම්පුරයේ නැව්තොට හඳුනාගන්නට යොදාගන්නා උපක්‍රමයක් ලෙස, නාවික යාත්‍රාවන් වලට දර්ශනය වන්නට දහවල් කාලයේදි පෘතුගිසින්ගේ කොඩිය එල්වා තබන්නටත් රාත්‍රි යේදී ආලෝකයක් දල්වා තබන්නටත් (පහන්ටැඹක් අයුරින්) නිලමය කාර්යයක් ලෙස පවත්වාගෙනයාමට ‘කොඩිගහ’ සිටවනු ලැබූයේ 1521දීය. කල් පවත්නා ලෙස මිශ්‍ර ලෝහයකින් සකසන ලද කොඩිගස එක් එක් කොටස පහල සිට ඉහලටයත්ම වටය අඩු වන පරිදි කොටස් හතරකට ගැලවීමට හැකිවන අයුරින්, නිර්මාණය කර තිබේ. මෙහි බර ටොන් අටක් පමණ වන අතර අඩි 80ක් උසය. (1846 වර්ෂය වනතෙක් මෙම කොඩිගස සඳහා ගෑස් ලාම්පු එළියක් දැල්වීම සිදුකරනු ලැබ තිබීම විශේෂත්වයකි.)
කොඩිගහ නිසා මේ අසල
මාර්ගය නම් වූයේ ‘කොඩිගහ වීදිය’ යනුවෙනි. [කොළොම්පුර නැව්තොට අඳුනාගන්නට පෘතුගිසින් කොළඹ
බලකොටුවේ මැද සවිකළ අවුරුදු 500ක් පුරා එහි
තිබුන මෙම ඉතිහාසගත කොඩිගස 1988 වසරේ
සැප්තැම්බර් 03 වෙනිදා වරාය
අධිකාරියේ දොඹකර යොදාගෙන ගලවා දමනු ලැබූ අතර පසුව බ්රිස්ටල් විදියේ ටෛම්ස් පුවත්පත්
මන්දිරය අසළට ගෙනගොස් සවිකරනු ලැබීය. මෙසේ
ටික කාලයක් කොළඹ කොටුවේ බ්රිස්ටල් විදියේ තිබුන මේ ඓතිහාසික ස්මාරක කුළුණ අලූත්කඩේ නව උසාවි සංකීර්ණය පිහිටවූ කාලයෙහිදී එහි
ගෙනගොස් සාන්ත බස්තියම කන්ද මුදුන ප්රදේශයේ සිටුවා සවිකරන ලදී. මිහිඳු මාවත කෙළවර
කොළඹ ශ්රේෂ්ඨාධිකරණ නව ගොඩනැගිල්ල ඉදිරිපිට වටරවුමේ පසෙකට වන්නට සවිකර තිබෙන මෙකී ‘ඓතිහාසික
කොඩිගස’ කිසිවෙකුගේ අවධානය යොමුනොවන තත්වයට පත්ව තිබේ. කොටුවේ
ඓතිහාසික කොඩිගහ වීදිය(Flagstaff street)ද වසා තබා
ඇත.]
1520 පමණදී කෝට්ටේ රාජ්‍යය අල්ලාගත් හයවන විජයබාහු රජතුමා පරංගින් කොළඹින් පන්නා දැමීමට කොටුව දෙවරක් වටලන ලද
මුත් අසාර්ථක විය.
විජයබා කොල්ලයෙන් අනතුරුව කෝට්ටේ රාජ්‍යය ලබාගත් හත්වන බුවනෙකබාහු රජු කොළඹ ප්‍රතිකාලුන් හා සමඟිව, නිදහස් ලෙස කටයුතු
කිරීමට ඉඩ ලබා දුන්නේය. මෙනිසා 1524දී කොළඹ
කොටුවේ පෘතුගීසි හේවා පන්නය අවම කෙරිණ. ඔවුහු කෝට්ටේ
රජුගේ ආරක්ෂාව යටතේ ඔවුන්ගේ නියෝජිතයෙකු දිවයිනේ නැවැත්වූහ.
කොළඹ පිළිබඳව අවධානය අඩුකිරීම පෘතුගීසීන්හට පාඩු
සහගත විය. ප්‍රතිකාලුන්ගේ
ආගමනයතෙක් මෙම කලාපයේ මුහුදු බලය අරාබි හා මළබාරයන්ට නතුව පැවැතියේය. මේ මරක්කලයන්
වෙළෙඳාම සංස්කෘතිය හා බලය රැකගැනීම පිණිස සිංහල රජුන් හා එක්ව පරංගි නැව්වලට ප්‍රහාරයන්ද
එල්ල කළහ. මුස්ලිම්වරු
අවස්ථාවාදීව වහාම කළේ කෝට්ටේ රාජධානියේ ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරවීමටත් කුරුඳු
වෙළඳාමේ අයිතිය නැවත ඔවුනට ලබා ගැනීමටත් උත්සාහ කිරීමයි. කෙසේ වෙතත් ඒ වන විට
ලංකාවේ රැඳී සිටි පෘතුගීසීන් ස්වල්ප දෙනෙක් විසින් ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ
කිරීමට කටයුතුකළහ . මළබාර මුස්ලිම් (මාපිල්ලා)වරු 1539 දක්වා කෝට්ටේ සහ
සීතාවක රාජධානි තුළ අර්බුදයන් දියුණුකළ අතර පෘතුගීසීන් ලංකාවේ සිටීම
සම්බන්ධයෙන් විරුද්ධ වූහ. 1539 දී මිගෙල් පෙරෙයිරා ‘මීගමුවේ’දී මාපිල්ලුන්
අවසාන වශයෙන් පරාජය කළහ.
1550 ඔක්තෝබරයේ දොන්
අල්ෆොන්සෝද නොරොඤ්ඤා විසුරේ වරයා පෘතුගීසි හමුදා භටයන් 500 දෙනෙකු කැටුව කොළඹට
පැමිණ සිටිමින් කෝට්ටේ බුවනෙකබාහු රජුටද බලපෑම්කර, මායාදුන්නේ රජුගේ
සීතාවක රාජ්‍යයේ වස්තුව කොල්ල කෑවේය.
1554 නොවැම්බරයේදී ඩියුරාට්
ද ඇකා තවත් හේවායන් 500ක් දෙනා සමග
කොළඹට ගොඩ බැස නව බලකොටුවක් තැනුවේය. ඊට විරුඬවූ කෝට්ටේ වීදිය
බණ්ඩාර පරංගින්හට අවශ්‍ය පරිදි කටයුතු නොකළ හෙයින්, වීදිය බණ්ඩාරව
අල්ලා කොළඹ කොටුවේ සිරකළ නමුත්, ඔහුගේ බිරිඳ මායාදුන්නේ රජුගේ දියණි කුඩා ටිකිරි ආදාසිංහ දේවියගේ
අනුදැනුම මත, සිංහලයන් විසින් පල්ලවයන් යොදා රහසේ උමඟක් හාරා ඔහුව පිටකරන ලදී. පෘතුගීසි
පාලන සමයේදී එවකට තිබූ සිංහල රාජධානිවලින් එල්ලවන අභියෝග නිසාම කොළඹ ප්‍රදේශයේ
විශාල භූමි ප්‍රමාණයක බළකොටුව සකස් කරන ලදී. එහි මුහුද දෙසට තිබූ කොටස එනම් ‘ගල්බොක්ක’ලෙස
හඳුන්වන ස්ථානය ගල් තලාවකින් වැසී තිබූ නිසා ස්වභාවික රැකවරණය ලැබී තිබිණි.
|
කුඩා නැව්
විශාල සංඛ්යාවක් නතර කර තැබිය හැකි මූදු බොක්කෙහි කොටුව ඉඳිකර තිබිණ. රාත්තල් 10 සිට 38 දක්වා බරැති ගණනින්
දෙසිය තිස් හතක් වූ කාලතුවක්කු සමූහයක් මෙහි විය. එම බල කොටුවේ ඔවුන් එදා පවත්වාගන
ගිය ආරක්ෂක විධි විධාන ලෙසින් මුහුදු බොක්කේ ගැටිය වටා ඉදිව තිබූ උතුරු බැම්මේ යුද
අට්ටාල පහක් ඉදිකර තිබිණි. නව දිය කඩනය ආරම්භ වන ස්ථානයේ කෙළවරක ශාන්ත කෲස් හෙවත්
වෝටර් කාසල්ද අනෙක් කෙළවර ශාන්ත ජො ආ ඕ හෙවත් ශාන්ත ජෝන් අට්ටාලයද, කියුරාංක්
හෙවත් කවුරුස් ලෙස ද හැඳින්වූ ශාන්ත ෆ්රැන්සිස් සේවියර් යුද අට්ටාලයද පිහිටියේය.
මේ හැර ශාන්ත ස්ටීවන් ශාන්ත සෙබස්තියන් හා මැඩිරහිටඩියෝස් ලෙස තවත් යුද අට්ටාල
තුනක්ද පිහිටා තිබිණි. ගොඩබිම් ප්‍රදේශ නිතරම පාහේ ආක්‍රමණයන්ට ලක්වූ නිසාම දැවැන්ත
බැම්මක් ඉදිකර ඒ වටා ආරක්ෂාව තර කර තිබිණි. මේ අනුව කොටුවේ හා නගර ප්රාකාරයේ
මුර අට්ටාල 14ක් විය. එහි නැගෙනහිර ආරක්ෂක
ප්‍රාකාරය ශාන්ත ජෝන් මාළු වෙළඳපළ පැවති ස්ථානයේ සිට වර්තමාන හතරවන හරස්
වීදියට සමාන්තරව පිටකොටුව හරහා ගොස් පසුකලක ගොඩකර මැනිං වෙළඳ පොළ පිහිටුවන
ලද කොළඹ විල (පසුව බේරේ ) මායිම තෙක් විහිදිණි. එම කෙළවරේ හියරෙනිමෝ (Hieronimo) නමින් මුරපොළක් ද විය. කොටුවේ
නැගෙනහිර සීමාව දිගේ ගලා ගිය දිය අගලකින්ද(කයිමන් දොරටුව අසලින්වූ මෙය සාන්ත ජෝන්
ඇළ ලෙස හැඳින්වින) නැගෙනහිර දොරටුවට අමතර ආරක්ෂාවක් ලැබිණි.
පෘතුගීසි පාලන සමයේ කොළඹ වීදි නම් කිරීමේදී ආගමික ශාන්තුවරයන්ගේ නම් මාර්ගවලට යෙදීමට පෙලැඹී ඇත. අදාළ වීදියේ පිහිටි දේවස්ථානයේ ශාන්තුවරයාගේ නමින් පාරද නම් කෙරිණි. [ශාන්ත අන්තෝනි මාවත, ශාන්ත ජෝසප් වීදිය, ශාන්ත සෙබස්තියන් කන්ද (අද සන්ත බස්තියම), ශාන්ත ලෝරන්ස් කන්ද, මිලාගිරිය (Nos Senhora dos Milagres නොසෙඤෝරාදොමිලාග්‍රෙස් ‘අපේ විශ්මයේ ස්වාමි දුව’ යන්න පෘතුගීසි බසින්)], ආදිය උදාහරණ වේ. ප'ර්ඥාවෝ ඩි ක්වෙරෝස් නැමැති පූජකවරයා පෘතුගීසි පාලන වාර්තා සලකා කර ඇති CONQUEST OF CEYLON ලේඛනයෙන් කොටුව නගරයක් ලෙස ව්‍යාප්ත වූ ආකාරය මැනැවින් නිරූපණය වේ. “කැලණි ගඟ මඟින් රට අභ්‍යන්තරයේ සිට මේ නගරයට ආහාර පාන සුලභව ලැබේ. කල් යත් යත්ම වෙනත් ස්වදේශික ජනයා හැර පෘතුගීසි පවුල් 500කගේ වාසය ඇතිවන තෙක් විශාල වී ගෙන ආ මේ නගරය රමණීය ගෙවල් පෙළකින් ද මනා ලෙස සැදි වීදිවලින් ද සමන්විතවිය. කිසි කලෙක සම්පූර්ණයෙන් නිමාවට පත් නොවූ ප්‍රාකාරයෙන් පිටත යුද බියෙන් තොර කල්හි පෘතුගීසින් කෙළි දෙළෙන් කාලය ගෙවූ සිසිල් සෙවන ගෙන දුන් තාල වනෝද්යානයන් විය.”
අශ්ව රථවලින්ද, අශ්වයින් පිටද, පයින්ද, මාවත්වල
ගමනාගමනය සිදුවිය. මෙම නගරයෙහි නිවෙස් ගැන සඳහන් කරුණු අනුව ඔවුන්ගේ ‘විලා’ නමැති විශේෂ පංතියක මන්දිර
වර්ගයක් ගැනද කියැවේ. ‘විලා’ ඉදිවූයේ පෘතුගීසි උසස් නිලධරයන්ට හා විනිසුරුවරයන්ට
පමණකි. මහල් නිවාස වූ මේවායේ උඩු මහලට නැඟීමට ගල් පඩි පෙළ ද තනනු ලැබ තිබිණ.
වෙළෙඳුන් හා වඩා සුළු නිලධාරීන් සඳහා මීට අඩු මට්ටමේ නිවාස තැනිණි. ස්වදේශීය මධ්‍යම පාංතිකයෝ ආදීන්ට බොහෝ විට තනි
තට්ටුවේ නිවාස විය. වහල සෙවිලි කිරීම පිණිස අර්ධ කවාකාර උළු පෘතුගීසීන්
හඳුන්වා දෙන ලදී.
පසුකාලීනව බ්‍රිතාන්‍ය යුගයෙහි මිනින්දෝරු නිලධාරියෙක් ලෙස සේවය කළ ආර්. එල්. බ්රෝහියර් සිය ‘Changing Face of Colombo’ නමැති කෘතියේ එදා පෘතුගීසි යුගයේ 1656 වර්ෂයට අයිති සිතියමක් මඟින් තවදුරටත් කරුණු ගෙනහැර පාමින් පවසන්නේ කොටුව නැමැති සීමිත ඉඩෙහි පල්ලි හා වෙනත් ආගමික ගොඩනැඟිලි බොහෝ ප්‍රමාණයක් තිබූ බවයි. මේ අඩවියේ ප්‍රධාන වීදිය වූයේ ‘රියෝ ඩිරෙක්ඩෝ’ වීදියයි.
නගරයේ දීර්ඝතම වූද, වඩා ප්‍රයෝජනවත්ම වූ මාර්ගය වූයේ එයයි. [කොටුවේ සිට පිටකොටුව තෙක් දිවෙන කෙළින් වීදියේ මූලාරම්භය මේ වීදියයි.] මේ මහ මඟ අඩක් පමණ යනවිට [අද කොන්සිස්ටරි ගොඩනැඟිල්ල තිබෙන ස්ථානයෙහි - මල්වත්ත පාර සහ 1වැනි හරස් වීදිය අතර, Kerkopf] නගර පාලනාධිකාරිය නොහොත් කොළඹ නගරය සඳහා නියෝජිත මණ්ඩලයක් ද ඇල්ඩමන්වරු සහ ලිපිකරුවන් ද සිටි අතර ඒ සඳහා කාර්යාලයක් ද තිබිණි. මේ මණ්ඩලය ඉදිරියෙන් චතුරශ්රයක් තිබිණි. ජෙසුයිට් කොලීජිය හා සාන්ත පාවුළු දේවස්ථානය [වර්තමාන ඛාන් ඔරලෝසු කණුව ළඟ] චතුරශ්‍රයටත් මුහුදටත් අතර වූයේය පල්ලිය හා මුහුද අතර උල්කළ කණුවලින් යුත් ශක්තිමත් දඬුවැටක් ඉඳිකැර තිබිණ. මෙතැනට වරාය පැහැදිලිව පෙනුනු බැව් කියැවෙයි. කොටුබැම්ම ඇතුළත පෘතුගීසින් විසින් ඉදි කළා වූ තවත් වැදගත් ආයතනයක් වී ඇත්තේ ඔවුන්ගේ රෝහලයි. [මේ පෘතුගීසින්ගේ රෝහල පිහිටා තිබී ඇත්තේ මෙකල ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයට ඉතා සමීපවය, පිහිටි ස්ථානය අද අයිතිව ඇත්තේ වරායටයි.] එම ආරෝග්‍යශාලාවට යාබදව බන්ධනාගාරයක් ද අනාථ නිවාසයක් ද පිහිටි බවක් පෙනේ යැයි බ්රෝහියර් පවසයි.
සිංහල සේනා කෝට්ටේ වැටලීමෙන් හෙම්බත්ව සිටි පෘතුගීසීහු, ආරක්ෂක තත්වය මත කෝට්ටේ තිබුණු අගනගරය හා උසාවි කොළඹට ගෙනා යුතු යැයි තීරණය කළහ. (රාජසිංහරජ කොළඹ කෝට්ටයට කිට්ටු ගම්බිම් පාළුකිරීමෙන් කෝට්ටයට අයිති රටවල් අඩස්සිකරගෙන වෙළඳාමක්වත් මිනිහෙක්වත් යන්ඩ නෑර අඩකෝට්ටකරගෙන සිටිනා කලට ධර්මපාලරජ කෝට්ට නුවර ඇරලා රාත්‍රියේ කොළොම්තොටට ගියාහ - රාජාවලිය) දොන් ජුවන් ධර්මපාල රජුව කොළඹට කැඳවාගෙන එනු ලැබීය. ඒ නයින් 1565 ජුලි මසදී පෘතුගීසිහු අගනගරය කෝට්ටේ සිට කොළඹට ගෙන එන ලදී.
සිංහල ආරක්ෂක හමුදා තුනක් නාගලගම(අද තොටළඟ
නාගලගම වීදිය ප්‍රදේශය), වත්තල, හා මාපානේ (කොළඹ කොටු බැම්මෙන්
පිට දකුණු පස අද ගාලු මුවදොර පෙදෙස මෙයයි), සිටිමෙන් කොළඹ සිටි
පෘතුගීසි සීමාව වෙන්වුනි. එහෙත් පෘතුගිසින් ඔවුන්ට පහර දීමක් කළේ 1574දීය. නාගලගම
හා මාපානේ තිබු සිංහල ආරක්ෂක බලකායන් පලවා හරින ලදී. ප්‍රතිකාලුන් මාපනේ සාන්ත
ජෙරොම් ආරක්ෂක මුරකොටුව ඉඳිකරනු ලැබීය. පෘතුගීසී සමයේ 'කෝන්පිටිය' ලෙසින් හැඳින්වූ තැනිතලා බිම පසුව කොල්ලුපිටිය ලෙස ව්‍යවහාරයට පත්වූ වග කියැවේ. බම්බලපිටිය ‘නොසෙඤෝරාදොමිලාග්‍රෙස්’
පල්ලිය පිහිටුවීය. ‘මිලාගිරිය’ නම හැදුනේ මෙනිසාය. ඒ පෘතුගීසි සමයේදී මෝදර දෙස සිට කැලණිගඟ හරහා අනෙක් පසින් පිහිටි වත්තල
ගල්වැටිය ප්‍රදේශයට යාමට-ඒමට තොටුපලක් තිබූ අතර එය Pasbetal (පාස්බෙටල්) නම් විය. ලංදේසීන් කයිමන් දොරටුවට පහර දීමට මීගමුව දෙස සිට
පැමිණ කැලණි ගඟින් එතෙර වූයේ මෙතැනින් වග පැවසේ. [ඉංගිරිසින් ශ්‍රී
වික්‍රම රාජසිංහ රජතුමන් අත්අඩංගුවට ගෙන කොළඹට පැමිණීමේදී කැලණිගඟින් එතෙරවූ
තොටුපලද මෙයයි.]
එදා කයිමන් දොරකඩ ස්වරූපය දැක්වූ චිත්‍රයක්.
පෘතුගීසීන් විසින් කොළඹ කොටුව තැනීමෙන් පසු
ඊට ආරක්ෂාව පිණිස, පිටතින් ගලා ආ ජල දහර හා අවට තැන් තැන්වළ පතහ, වගුරු, එක්වන අයුරින්
වෑකන්ද සකසා දිය පිරීමට සලස්වා වැවක ආකාර ජලාශය තනන ලදැයි කියැවේ. එවන් ලොකු
ජලාශයක් 1505ට පෙර කොළඹ තිබූ
වගක් දැනගන්නට නැත. 1578 වනවිට සීතාවක
මායාදුන්නේ රජුහට මේ ජලාශය නිසා කොළඹ කොටුව ආක්රමණය කිරීමට අසීරු විය. මෙම තත්වය
නිසා මේ ජලාශයෙහි (කොළඹවිල ලෙස හැඳින්වූ පසුව බේරේ ලෙස
නම්වූ ජලාශය) ජලය හිස් කිරීමට ටිකිරිකුමාරයා(පලමුවන
රාජසිංහ නමින් රජුවූ) විසින් ‘ඇළක්’ද තැනවූ නමුත් එම තැතද සාර්ථක නොවීය. පසු කලෙක පෘතුගීසිහු
‘සාන්ත සෙබස්තියන් ඇළ’ ලෙස මෙය නම්කරනු ලැබීය(මේ අනුව යමින්,
මෙහි උස්බිම ‘සන්තබස්තියම කන්ද’ ලෙස ප්‍රසිඬියට පත්වීය.). කොළඹ විල
එදා අක්කර 840කි. [අද අක්කර 150කටත් අඩුය.] මෙයින් කොටුවට ප්රවේශ වන ස්ථානයට කයිමන්
දොරකඩ යන නම ලැබුණේ ‘කේමන්ස් ගේට්’ යන්නෙනි.
පෘතුගීසි හා ලන්දේසි දෙබසින්ම කිඹුලා හඳුන්වනුයේ කේමන් යන වදනිනි. මෙම ද්වාර ස්ථානයේ
දිය අගලෙහි කිඹුලන් සිටීම ඊට හේතුවයි.
මීගමුව සිට කළපුව තුලින්, මුතුරාජවෙල වෙල්යාය දිගට, කැලණිගඟ මෝදර මට්ටක්කුලිය (මට්ටක්කුලිය යන්න පෘතුගීසි නාමයකි) ප්‍රදේශය තෙක්, කොළඹට ඒම පිණිස පාරුඇළ තනනු ලැබුවේද පෘතුගීසීහුය. [එහෙත් එතෙක් කෝට්ටේ රාජධානියට මුතුසම්බා සහල් සැපැයුනු මුතුරාජවෙල්යාය හරහා මේ ඇළ කැපීම නිසා කළපුවෙන් ඇළ දිගේ ආ කරදිය මිශ්‍ර ජලය හේතුවෙන් වෙල්යාය සදාකාලයටම පුරන්ව හැලක් බවට පත්විය.]
1581
අගෝස්තු මාසයේදී කන්ද උඩරට හා සීතාවක රජු
වු 1වැනි රාජසිංහ රජු කොළඹ වැටලීමට ආරම්භක කටයුතු
කරනු ලැබීය. සීතාවක රාජසිංහ රජතුමා හැටදහසක පමණ මිනිස් සේනාවක්ද, එකසිය
විස්සක් පමණ යුද ඇතුන්ද අනෙක් ප්‍රහාරක බළඇණිද
සමග කොළඹ පෘතුගීසි බළකොටුවට පහර දීමට පැමිණ දෙමටගොඩ හා බොරලුගොඩහින්න(ජින්තුපිටිය) දක්වාම ගොස් කඳවුරු බඳිනලද වග දියෝගු ද කූතෝ වාර්තා සලකමින් කියයි . එසේ දෙමටගොඩ ප්‍රදේශයට පැමිණි රජුගේ
තාවකාලික මාලිගාව ඉදිවූයේ (දැනට විද්‍යෝදය පිරිවෙන, කුප්පියාවත්ත
ජයශේඛරාරාමය, මාලිගාවත්ත විද්‍යාලය පිහිටි)
මාලිගාකන්දේය. ‘මාලිගාකන්ද’ යන නමින්ම එය තහවුරු වේ. එහි සිට තම සේනාවට අණ
දුන් සීතාවක රාජසිංහගේ රාජකීය උයනට අයත් ප්‍රදේශය ‘මාලිගාවත්ත’ නමින් ව්‍යවහාරයට
පත්විය. මාලිගාවත්ත යන නමෙහි තේරුම රජුගේ උද්‍යානයට
අයත් භූමි ප්‍රදේශය යන්නය. (මෙකල මුස්ලිම් සුසාන භූමිය පිහිටුවා තිබෙන භූමිය රජුගේ
උද්‍යානයට අයත් වූ බව පුරාවෘත්තවල කරුණු අනුව පැහැදිලි වේ.) 1587 මැයි මාසයේ සිට 1වැනි රාජසිංහ රජු ගොඩබිමින් කොළඹ වටකර දැඩි
ප්රහාර එල්ලකළද මෙහෙයුම අසාර්ථක විය. එනමුදු කොළඹ
ප්‍රතිකාල් බලකොටුව ආරක්ෂක අට්ටාල 12කින් සංවිධානාත්මකව තිබීමත්, විශේෂයෙන්ම
නාවුක බලයත්, හේතුවෙන් පරංගි බලය මැඬලීමට නොහැකි විය. සීතාවක සේනාවෝ මෙලෙස දිගින් දිගට පහර දුන් නමුත්[කොළඹකොටුවෙ
බළල්මස්ද ගිනි ගණන්වූ කතාව මේ අවස්ථාවයි] සෑම අවස්ථාවකදීම නගරය අත්පත් කර ගැනීමට
අසමත් වූහ.
1588දී ඔවුහු වටලෑමේ අදහස අත්හැරියහ.
දොන් ජෙරනිමෝ ද අසවේදු ළදරුවන් පවා මරමින්, ක්‍රෑර ක්‍රියා බලහත්කාරයෙන්, ආගමට හැරවීම හමුවේ.[පෘතුගීසීහු වෙළෙඳාම අත්පත් කර ගැනීම, සහ කතෝලිකදහම පැතිරවීමට අවිබලය යොදාගත්හ. ‘පරංගියා එක් අතකින් බයිනෙත්තුවත් අනෙක් අතින් බයිබලයත් රැගෙන මෙහි ආ බව’ට කියමන ඇතිවූයේ මෙනිසාය.], 1වැනි රාජසිංහ රජු 1592 මියයාමෙන් පසු, ක්‍රෑර අසවේදුට එරෙහිව පළමුවෙන්ම නැඟී සිටිමින්, 1594දී අකරගම, බොකළගම, ගුරුබැවිල(හංවැල්ල), හේවාගම්කෝරළය, හරහා කොළඹට පහර දීමට සේනාව සංවිධානය කර කැරැල්ල මෙහෙයවූ සීතාවක රජ පවුලට ඥාතිත්වයක් තිබූ වගට සැලකුණු අකරගම අප්පුහාමිව, ඩොමින්ගෝ කොරයා (එදිරිල්ලේරාල) විසින් පරාජය කර හිස සිඳ මරණු ලැබූ වග ක්වේරෝස් ලියා ඇත. එහෙත් එදිරිල්ලේරාලද පසුව පරංගින්ට එරෙහිව දරුණු සටනක්කර, ඩොන් ෆනෑන්ඩෝ මුදියන්සේ (සමරකෝන්මුදලි) විසින් අල්ලා භාරදී 1596දී කොළඹදී අත් පා සිඳ වධදී මරාදමනු ලැබීය. [තොරතුරු; පසුව සමරකෝන් මුදලිටද චෝදනාකළ පෘතුගීසීහු දඬුවම ලෙස රටින් පිටුවහල් කරණලදී. මල්වානේ සිට පාලනය ගෙනගිය අසවේදු විසුරේ පදවියට පත්ව ගෝවට ගියද, එහිදී දූෂණ චෝදනාලැබ සිරගතව සිට දුක්විඳ මියගිය බැව් කියැවේ.]
1597මැයි 27 දොන් ජුවන්
ධර්මපාල රජු කොළඹ කොටුවේදී අබිරහස් ලෙස මිය ගියේ රාජ්‍යයට උරුමක් කාරයෙකු නොමැති
තත්වයක් යටතේය.
1630 දී එවකට උඩරට රාජ්යය පාලනය කළ සෙනරත් රජුගේ
හා කුසුමාසන දේවිය හෙවත් දෝන කතිරිනාගේ පුතුවන මහාඅස්ථාන කුමරුගේ සිංහල සේනා කොළඹ
වටකර මාස කිහිපයක් සිටියද ඵලක් නොවීය.
1655දී ලංකාවට ගොඩබට
ලන්දේසි ජාතික ජෙරල්ඩ් හල්ෆට් නම් යුද සෙනෙවියා මෙරටින් පෘතුගීසින් පන්නා දැමීම
සඳහා දෙවැනි රාජසිංහ නමින් රජවූ මහස්ථාන කුමරු සමඟ එක්ව මිත්ර සන්ධානයක් ඇතිකර ගන්නා
ලදී. “ඉඟුරු දී මිරිස් ගත්තා” යැයි පසුව ප්රචලිත වූයේද දෙවැනි රාජසිංහ රජුගේ එම
තීරණයයි. ඒ අනුව 1655 ඔක්තෝබර්
මාසයේදී පමණ එක්සත් ලන්දේසි සිංහල සේනා කොළඹ කොටුවට පහර දීම ඇරැඹීය.
මේ අවස්ථාවේ පෘතුගීසින් නිත්ය හමුදා සෙබළුන්
500ක් සමඟ සිංහල
පවුල්වලින් ආවාහ විවාහ වී පැවතුණු පවුල්වල තරුණයන් 300ක් ඇතුළු 1300ක සේනාවක්
සූදානම් කළහ. ඔව්හු තම කොටුවේ ප්රධාන දොරටු තුන වසා ලන්දේසීන්ට
පහරදීමට රැකවල් ලා සිටියහ. කොටුවේ වෝටර් කාසල් දොරටුව බිඳීමට මුහුදින් කාලතුවක්කු
පහර දුන් මෙඩ් ඔෆ් කුයිසන් ලන්දේසි නැවට ප්‍රති ප්‍රහාර එල්ලකළ පෘතුගීසීහු නැව
විනාශ කළහ. කියුරාස් හා ශාන්ත ජොආ ඕ යුද අට්ටාලවලට පහර දුන්න ද ඒවා අල්ලාගත නොහැකි
විය. ලන්දේසි ප්‍රධානී හල්ෆට් සෙනෙවි තෙමේ පුර්ටේ රෙයිනා හෙවත් බිසෝ දොරටුව නැතහොත්
රද්ජුවා හෙවත් කයිමන් දොරටුව ලෙස වහරේ පැවතුණු නැගෙනහිර දොරටුවේ බලය අල්ලාගැනීමට උත්සාහ
කළද, යුද ශක්තියෙන් හෝ සේනා බලයෙන් ලන්දේසි හමුදාව හා සම තත්ත්වයක නොසිටි පෘතුගීසිහු
පුරා මාස හතක් පමණ කොටුව තුළ සිරව සිටිමින් බළකොටුව රැක්මට දිවි පරදුවට තබා සටන්
කළහ. ශක්තිමත් ලෙස බළකොටුවේ ද්වාර හා ප්රාකාරද ඉදිකර තිබීමද එයට පිටිවහලක්වී තිබිණ.
පෘතුගීසි කොටුවේ නැගෙනහිර දොරටුව හා බැම්ම ලන්දේසි කාල තුවක්කු ප්‍රහාරයෙන් ගල්
කැබලි ගොඩකට පත්විය. 1655 ඔක්තෝබර් සිට කොළඹ පරංගි
කොටුවට එල්ලකළ සටනේ ජයග්‍රාහී තත්වයක් ලන්දේසීන් ලබාගත්තේ මාස හතක බිහිසුණු
යුද්ධයකින් පසුව 1656 මැයි 7 වැනිදා ය.
අවසන 1656 මැයි 12 දින ඉතිරි පෘතුගීසිහු
ලන්දේසීන්ට කොළඹ කොටුවෙහි යතුරු භාරදී යටත් වූහ. අති ප්රබල
කොළඹ කොටුව ලන්දේසීන් අයත්කරගත් නමුත් මන්නාරම, යාපනය ඈ බලකොටු කිහිපයක් තවදුරටත්
පෘතුගීසින් සතුවිය. මේ පෘතුගීසි සෙබළමුළු හා බලකොටු රහස් දත් පරංගි ප්රධාන සෙබලෙක්
වූ ‘ගැස්පා ඩා පිගේරා ඩි සාපේ’ගෙන් තොරතුරු
හෙළිකරගත නොහැකි වූයෙන් එවක ලන්දේසි ආණ්ඩුකාර වැන්ඩන්
මීඩන්ගේ නියෝගය අනුව කොළඹ කොටුපවුර යටින්වූ උමං කාමරයක් තුලට දමා හේ මරණයට පත්වීමට
දොරටුවෙහි ගල් සිරකර වසා දමන ලදී.
ලන්දේසි නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගම කොළඹ ආණ්ඩුකාරයාට පත්කළ උපදේශක සභාව සඳහා වෙළෙඳ ප්‍රධානියා, පිස්කල්, ආදායම් භාරකරු, හමුදා කපිතාන්, බදු කපිතාන්, කෝරළේ කපිතාන්, යන නිලධාරීන් අයත්වූහ. ආණ්ඩුකාරයාගේ තනිමතයේ පාලනය ඇතිවූ විටද, එය වෙනස් කිරීමට කටයුතු කෙරුණේ උපදේශක සභාව අනුවය.
පරංගීන් සිටි බළකොටු
උඩරට රජුට භාරදෙන පොරොන්දුව මත ලන්දේසීන් යුද වැදුනද යුද්ධයෙන් මිය ගිය
සෙබළුන්ගේත් විනාශවූ යුද ආම්පන්න හා ඊට වැයවූ මුදලටත් සරිලනසේ රජුගෙන් ඊට අදාළ
වන්දිය ඔවුහු ඉල්ලා සිටියහ. මෙයින් දෙවන රාජසිංහ රජු බලවත්
ලෙස උදහස්වූ බැව් වටහා ගත් ලන්දේසීහු කොළඹ නගරයේ ඇතුළත පෘතුගීසින්ටද වඩා සවිමත් බළ
කොටුවක් නිර්මාණය කළහ. පෘතුගීසින්ගේ
කොටුවට වඩා ඉතාමත් කුඩා භූමි ප්රමාණයක තාරකා හැඩයෙන් යුත් මෙම කොටුව
ඉදිවිණි. මෙය පෙර පැවැති පෘතුගීසීන්ගේ බළකොටුවෙන් තුනෙන් එකක් තරම්වත්-නොවීය.
ශක්තිමත් කොටු බැමි හා ගැඹුරු දිය අගල්ද එහි වටා ඉදිවූයේය. එම බළකොටුවේ ඊසාන මායිමේ ලෙයිඩන් [ලෙයිඩන් යුද අට්ටාලය අද ගෆුර් ගොඩනැගිල්ල පිටුපස ප්රදේශයේ තනා තිබුණි. වරායට යාබද ‘ලේඩන් බැස්ටියන්’ මාවත ඒ නාමශේෂයයි.], නැගෙනහිරින් ඩෙල්ප්ට් [එම ඩෙල්ෆ්ට් අට්ටාලය පිහිටියේ අද ‘මේන් ස්ට්රීට් හෙවත් කෙළින් වීථිය’ හා ගෆුර් ගොඩනැගිලි පිහිටි තැනය.], සහ හූන් [නැගෙනහිර මායිමේ තිබූ හුන් අට්ටාලය අද ට්රාන්ස්වර්ක් ගොඩනැගිල්ල පිහිටි තැන පැවතිණි.], යන යුද අට්ටාලත් දකුණු මායිමේ රොටර් ඩෑම් [දකුණු මායිමේ එකී යුද අට්ටාලය වූ රොටර් ඩෑම් පිහිටියේ, ඇචිලන් බැරැක්ක කෙළවර වූ අද රීගල් සිනමාහල පිහිටි තැනය.], හා මිඩ්ල් බර්ග් [මිඩ්ල් බර්ග් වූයේ රැජිණ වීදියේ දකුණු කෙළවරට මාපානේ හෙවත් ගාලූ මුවදොර පෙනෙන පරිදිය.]ද, මුහුදට යාව බටහිරින් ක්ලිපන්බර්ග් හා එන් කුයිසන් [කොඩිගහ වීදියේ එන්කුයිසන් පිහිටියේය.], යන යුද අට්ටාලත් බටහිර කොටසේ ඩැන්බ්රෙයිල් හා ඇම්ස්ටර්ඩෑම් [රේගුවේ ප්රධාන දොරටුව අසළ ඇම්ස්ටර්ඩෑම් පිහිටා තිබිණි], යන යුද අට්ටාලත් ඉදිවීය. සීබර්ග් හා වෝටර් පාස් යන යුද අට්ටාලද මෙයට අමතරව කොටුවේ ආරක්ෂාවට යොදා ගැනිණි. කැඩී බිඳී සුනු විසුනු වූ නැගෙනහිර කොටු පවුර ඉදිකිරීමට පමණක් විසි වසරකටත් වඩා වැඩි කාලයක් ලන්දේසීන්ට ගතව ඇත. අති විශාල ධනස්කන්ධයක් ඊට වැයවූ නිසාම ඕලන්දයේ පාලකයන් කොටුවේ භූමි ප්රමාණය සීමා කිරීමට අණ දී ඇත. ඒ නිසාම වර්ග සැතපුමක් පමණවූ වපසරිය අක්‌කර හාරසිය හතලිස් තුනක ප්‍රමාණයකට හකුලමින් ලන්දේසිහු මේ සවිමත් බළකොටුව ඉදිකළහ. මේ අනුව 18 වැනි සියවස වෙද්දී කොළඹ බලකොටුව පැවැතියේ වර්තමාන ‘කොටුව’ ලෙස සලකන භූමි ප්‍රදේශය තුලය.
ලන්දේසින් කොළඹ අත්පත් කරගත්තාට පසු පැරැණි
පෘතුගීසි ගොඩනැගිලි සියල්ලම කඩාදමා නවීකරණය කළෝය. පසුව දක්වන පරිදි ලන්දේසීන්ගේ
නගරය පෘතුගීසි නගරයෙන් තුනෙන් එකකට සීමාවූ බව කියැවේ.
ලන්දේසි යුගයේදීම ලංකාව ගැන ලියන ක්රිස්ටෝපර් ශ්වයිට්සර්
කොළඹ නගරාභ්‍යන්තරය ගැන මෙසේ සඳහන් කර තිබේ. “කොළඹ කොටුව
ඇතුළත ක්රමානුකූලව තැනූ චිත්තාකර්ෂණීය මාර්ගද, පොල් ගස්ද
බහුලය. සුදු සහ රතු මලින් පිරුණු ගස් ඇත. කොටුවේ විශාලත්වය අක්කර 40ක් පමණය.
කොටුවේ පිහිටි නිවාස ඉදිරියෙන් පිහිටි ගස් වැල්වලින් අලංකාරය. ආණ්ඩුකාරතුමා,
නිලධාරීන් හා වෙළෙන්දන්ද, සෙබළුන්ද
කොටුවේ වාසය කළහ. ප්රාකාරයෙන් එපිට මුහුදටත් පවුරටත් අතර 4000කට අධික වහලුන්ගේ
පැල්පත් වූයේය”.
කොළඹ
කොටුව, වරාය, හා ආසන්න
වැදගත් ස්ථාන සම්බන්ධ කෙරුනු රහසිගත උමඟ පද්ධතියක්ද ලන්දේශීන් විසින් සකසනු ලැබීය.
කොළඹ කොටුව තුල හර්න් ස්ට්‍රාට්(Heerne Straat)වීථිය දකුණු දිග අවසන කොළඹ බලකොටුවේ දකුණු දොරටුව පැවැතියේය. මෙය‘ S ’ අකුරේ හැඩයට විය. මින් පිටවන්නෙක් දෙපස සූරිය ගසින් යුත් මඟකට අවතීර්ණ වෙයි. මුහුද දෙසින් එන සැඩ සුළඟට ඔරොත්තු දී ඇඹරී කර්කශව කේඩෑරිවූ ගස් දෙපසවූ මේ පාර නවතින තැන මාපානේ දොරටුව සහිත කපොල්ල තුලින් එගොඩ වීමට හකුලන පාලමක් විය. මෙය දම්වැල් වලින් එසවිය හැකිසේ ඇටවූවකි. දොර දෙපසට ඇරෙන්නේද පාලම පහත්වන්නේද එකවිටය. මීට වෙනම ආරක්ෂකයෝ වෙත්. මින් එගොඩවන්නේ මාපාන හෙවත් ගාලු මුවදොරටය. ගාලු මුවදොර පෙරලෙන ගෝල් ෆේස් නම මෙම ප්‍රදේශයට ලැබුණේ ගෝල්ෆාස් (Galle Fass) යන ඕලන්ද යෙදුමින් වග එමර්සන් ටෙනන්ට් ලේඛකයා කියා ඇත. එබසින් ගෝල් ෆාස් යන්නෙහි අර්ථය ‘ගාල්ල දෙසට මුහුණලා ඇති (කොටු බැම්මේ) - කපොල්ල’ යන්නයි. එකළ කොළඹ බලකොටුවේ දකුණු දොරටුව (මාපානේ) සිට ගල්කිස්ස දක්වාම තැනිතලාව ගාලු මුවදොර සේ සැලකූ වගක්ද පෙනීයයි. ගංසූරිය, වල්අනෝදා, මූදුකෙයියා, හා කඩොලාන, මෙහි බහුලව වැවී තිබුණි. එම යුගයේ ගාලු මුවදොර කොටුව ආසන්න වෙරළ තීරය ප්‍රයෝජන යට ගැනුනේ කොළඹ කොටුව මුහුදින් ආක්‍රමණය කරන්නන්හට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමටයි.
ලන්දේසීන් අල්ලාගත් සමයේ කොළඹ ප්‍රදේශයේ සැලැස්ම.
මේ යුගයේදී දෙවන රාජසිංහ රජුගේ නිලමේවරුන් තිදෙනෙක් විසින්කළ කුමන්ත්‍රණයක් (1664 නිල්ලඹේ කැරැල්ල) රජුට හෙලිවීමෙන්, එයින් රජුට අසුවූ නිලමේවරු දෙදෙනෙක් හිස්ගැසුම් කෑවද, අනෙක් නිලමෙවරයා වූ අඹන්වලරාළ කොළඹට අවුත් ලන්දේසීන් හා එකතු වූයේ අවස්තාවෝචිත අයුරිනි. [තොරතුරු; අඹන්වලරාළ විශාල පෙට්ටගමක්ද රැගෙන ලන්දේශීන් වෙත ගියේ තමා ලඟ ඉතා වටිනා වස්තුව ඇති වග හඟවමිනි. හෙතෙම උපායශීලී පුද්ගලයෙකි. පෙට්ටගම තුල තිබුනේ කිසිම වැදගත් කමක් නැති දේ බැව් හෙලිවූයේ ඔහු මියගිය පසු එය විවෘතකළ විටදීය. “ඔහොයියා අවුල් නාද සපිරි වර්දනේ... දිනදින අවුල් නාද සපිරි වර්දනේ...” ලෙස කියැවෙන ‘අඹන්වල රාළගේ සාක්කිය’ද මොහු මතකයට නැඟෙන සුවිශේෂ නිර්මාණයක් සේ ගිනිය හැක.] ලන්දේසීන් විසින් අඹන්වලරාළ ව සුහදව පිළිගෙන ඔවුන් කොල්ලකා අල්ලාගත් ඉඩමක් ලබාදී ප්‍රභූවරයෙක් ලෙස සිටීමට ඉඩ සැලසීය. අඹන්වෙලරාළ මෙය පොල් අරඹක් ලෙස සශ්‍රීකකළ බැවින් ‘පොල්වත්ත’ ලෙස වහරට පත්විය. (මෙහිදී අඹන්වෙල අප්පුහාමි සිය නමද ලන්දේසි කරගනිමින් වෑන් රයි-කොෆ් නමින් භාවිතයට ගෙන, ලන්දේශීන්ට ගතු කේලම් කියමින් ප්‍රසාදය ලබා ගනිමින්, පෙර ‘බරන්දෙණිය’ ලෙස ග්‍රාම නාමයෙන් හඳුන්වන ලදැයි කියැවෙන විසල් ගමෙහි මුල් පදිංචි එරෙහි වන්නට හයියක් නොමැති දුගී ගැමියන්ගේ වතු පිටි ඉඩම් බලහත්කාරයෙන් හෝ ඉතා අඩුමිලට ලබාගනිමින් පලාතම අයිතිකරගනිමින් සිය පොල්වත්ත පුළුල්කළ බවත්, ඒ අනුව කොල්ල-කෑ-පිටිය කොල්ලුපිටිය නමින් බැවහරයට පත් වගට සමහරු කියතත්,‘කොල්ලුපිටිය’ යන්නට ප’ඥාවෝ ද ක්වෙරෝස් පියතුමන්ගේ පෘතුගීසි යුගයේ ලේඛනයන්හි කෝන්පිටිය යන්නක් සඳහන් හෙයින්, එම ග්‍රාම නාමය ඊට ඉහත පෘතුගීසි යුගයේ සිට පැවත එන්නක් වග පෙරද දක්වා ඇති අයුරින් පැහැදිලිය.)
ලන්දේසි නිවාසයන්හි විශාල දොර ජනෙල්, රවුම් කුලුනු සහිත විශාල ඉස්තෝප්පු, විශාල දොර ජනෙල්, වඩා උස් වූ වහළ, ගඩොලින්යුත් ගෙබිම, දැවමුවා සොල්දර, ලිඳක් සහිත මැදමිදුල, ආදිය බහුලව දැකිය හැකි විය. කොළඹ නගරයේ අදටත් පවතින පැරැණි ගොඩනැඟිලි ඉඳිව ඇත්තේ ඕලන්දයේ එවකට ජනප්‍රියව පැවැති ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය.
ඕලන්ද ආණ්ඩුකාර තෝමස් වෑන් රයි(1692-1697) නිවහනසේ
භාවිතකළ වගට සැලැකෙන අද වන විට ඕලන්ද යුග කෞතුකාගාරය පිහිටි දෙමහල් ගොඩනැඟිල්ල මෙම
වාස්තු ශෛලිය අනුව 1696ට පෙර ඉඳිවූවක් සේ සැලැකේ. පිටකොටුව කුමාර වීදියේ පලමුවන
හරස් වීදියත්,
දෙවන හරස් වීදියත්, අතර කොටසේ වන මෙය පිටකොටුවේ පිහිටි පැරණිම
ගොඩනැඟිල්ලයි.
1681දී ලන්දේසින් අංග සම්පූර්ණ රෝහලක් කොළඹ කොටුව තුල ඉඳි කරනු ලැබීය.(අද ද පවත්නා ‘Old Dutch Hospital’ ගොඩනැගිල්ල කොටුවේ ඇති පැරණිම ගොඩනැගිල්ල සේ සැලකෙයි.අද මෙය හෝටලයක් ලෙස පවත්වාගෙන යමින් පවතී.)
‘Old Dutch Hospital’ දකුණු පසින් උඩ සිට බැලූවිට පෙනෙන අයුරු.
ලන්දේසි නැගෙනහිර ඉන්දියා වෙළෙඳ සමාගම රෝහල් නඩත්තු කටයුතු පාලනය කලේය. ගොඩනැගිලි පහකින් යුත් රෝහලෙහි ගොඩනැගිලි හතරක් ඉඳිකර තිබෙනුයේ චතුරශ්‍රාකාර විශාල මැද මිදුලක් සෑදෙන අයුරිනි. පෙරකී ගොඩනැගිලි හතරත්, ඉතිරි ගොඩනැගිල්ලත් අතර තවත් මිදුලක් නිර්මාණය කර තිබේ. කොළඹ කොටුවේ පදිංචි ව සිටි ලන්දේසි ජාතිකයන්ට මෙන්ම කොළඹට එන නැව් වල නාවිකයන්ගේ රෝගාබාධ වලටත් ඉහල තත්ත්වයේ ප්‍රතිකාර සඳහා මේ රෝහල යොදාගැනින.
ලන්දේසීහු ප්රධාන නගරය සැලසුම් කිරීමේදී බලකොටුව(Casteel)සහ නගරය කොටස් දෙකකට බෙදා එම කාර්යය කිරීමට කටයුතු කළහ. කොටුව තුල ගල්බොක්ක දෙස සිට නැගෙනහිර දෙසට වූ මාර්ගය හැඳින්වුනේ ‘බියර් ස්ට්‍රාට්’ යනුවෙනි. එය කොටුව තුල හරස් මාර්ග අතර අග්‍රගන්‍ය මාවත ලෙස කියැවිණ. [පසුව ඉංගිරිසින් ‘චැතැම් වීදිය’ නමින් හැඳින් වූයේ මෙයයි.]
ලන්දේසීන් බලකොටුවෙන් පිටත නැගෙනහිර ප්‍රදේශය හැඳින්වූයේ ‘Oude Stad’ (අවුට්ස්ටැඩ්) නමිනි. එහි අරුත පැරණි නුවර යන්නය. කොටුවෙන් පිටත වූ මෙම ප්‍රදේශය සිංහලයෝ ‘පිටකොටුව’ නමින් හැඳින්වූහ.
කොටුව සහ පිටකොටුව, බෆලෝස් ප්ලේන් හෙවත් මීගොංමඩිත්ත එළිමහන් දෙනිපතින් වෙන්ව තිබිණි [අක්කර නවයක් පමණ විශාලවූ බටහිරින් සාන්ත ජුවංගේ ඇළින් මායිම්වූ සූරියකොටුව ලෙසින්ද හැඳින්වූ මෙම භූමිය තුල පසුව පොල් වගාවක් පැවතියද, පසුව ඉංගිරිසි යුගය වනවිට මෙහි බටහිර කොටසෙහි සුසාන භූමියක්ද, නැගෙනහිර කොටසෙහි ‘Racquet Court (රැකට් කෝට්)’ නමින් පුෂ්පෝද්‍යානයක්ද වූ අතර මේ උද්‍යානයේ Flowerral hall (ෆ්ලෝරල් හෝල්) හෙවත් පුෂ්ප ශාලාව නමින් තහඩුමඩුවක් ලෙස සැකසූ නාට්‍ය රඟහලක්ද 1884 කාලයෙහි තිබී ඇතද, එය ගිනි තැබීමකින් විනාශ විය. මල්වත්ත ආසන්නව වූ මාර්ගය ‘මල්වත්ත පාර’ විය. මෙම භූමිය වරායට යනෙන කරත්ත සඳහා ගාලක් වශයෙන් ඉක්බිතිව භාවිතවී, ඉන් කොටසක් සුසානභූමියක් සෙද භාවිතයේ තිබී, සිලෝන් යුනිවර්සිටි කොලේජ් ඉඳිකිරීමටද යෝජිතව තිබී, අනතුරුව 1911දී විවෘත වූ චාමර්ස් ධාන්‍යාගාරය ඉඳිව තිබූයේ මෙකී අක්කර නවයක මුළු භූමිය තුලයි. මෙහි බටහිර කොටසේ දැන් ශ්‍රී ලංකා රේගු මූලස්ථානය ගොඩනැඟී ඇත. සාන්ත ජුවංගේ ඇළට බටහිරින් බේරේ අසල සිට වරාය තෙක් යා හැකි පැරණි අඩි පාරක් ඇති අතර, එය දැනුදු ප්‍රයෝජනයට ගැනේ.].
පිටකොටුවද අලංකාර තුරුවැල්වලින් ගහනව පැවැති බව පෘතුගීසි, ලන්දේසි, හා ඉංගිරිසි, ලේඛකයන් සඳහන් කර තිබේ. පෘතුගීසීන් විසින් සෑදවූ පටුවූත් පාරවල් වෙනුවට ලන්දේසීන් විසින් පැරණි පිටකොටුවේ වඩා පළලින් යුත් ඇද නැති මාර්ග සාදන ලදී. ඕනෑම වීදියකින් තවත් වීදියකට ප්‍රවිශ්ට වීමේ හැකියාව ඇති ‘වීදි සැලැස්‌මක්’ (Street grid form) සහිතව කොළඹ නගරය නිර්මාණය කෙරිණ. ඒ අනුව, පෘතුගීසීන් විසින් 'රියෝ ඩිරෙක්ඩෝ’ ලෙස නම් කරනු ලැබූ ප්‍රධාන වීදිය Koningstraat-කොනිං ස්ට්‍රාට් හෙවත් 'රජ වීදිය' ලෙස [අද කෙළින් වීදිය] ලන්දේසීන් විසින් නම් කරණ ලදී. එකිනෙකට සමාන්තරව දිවෙන සැතපුම් භාගයක් පමණ වූ වීදි 4 කින් ද එම වීදි හරහට තවත් විදි 5 කින් ද පිටකොටුව සැදී ඇත. එදා ෆිෂර්ස් වීදිය නමින් මාළූ වෙළෙඳාම් සිදුකළ වීදිය Front Street හෙවත් වර්තමාන මල්වත්ත පාරයි. අද පළමු හරස් වීදිය එදා මාර්කට් වීදිය ලෙසත්, දැන් දෙවැනි හරස් වීදිය හාලේමර් වීදිය ලෙසත්, තුන්වැනි හරස් වීදිය ක්රයිස්(හරස්) වීදිය ලෙසත්, නම්වී තිබිණ. අද Keizer (කෙයිසර්) වීදිය හා Prince Street (කුමාර වීදිය) මෙහි පැරැණි විශේෂ වීදි දෙකකි. දෙවන රාජසිංහ රජතුමන්ට සහ එතුමන්ගේ පුත් කුමරුන්හට ගෞරවයක් ලෙස ලන්දේසීන් (Keizer හෙවත් මහාධිරාජ වීදිය, කුමාර වීදිය, යනුවෙන් හඳුන්වමින්) එම නම් තැබූ බව කියනු ලැබේ. ලන්දේසි කාන්තාවන් සක්මන් මළුවක් ලෙසින් භාවිත කරනු ලැබූ Maliban Street (මැලිබන් වීදිය) පිටකොටුවේ නවීන පන්නයෙන් යුතු වූ පෙදෙසක් විය. Damba Straat (දඹ වීදිය, ජම්බුගස් වීදිය, Dam Street වීමෙන් සිංහලට පෙරළුනු වේල්ල වීදිය), Korteboam (කොටහේන) Straat, හා Leynbaan මෙම යුගයෙහි වීදිය. [අද කොළඹ නගරයේ මාර්‍ග පද්ධතියේ පදනම මෙම ඕලන්දයන්ගේ මාර්‍ග පාදමයි.]
මාර්ග
දෙපස අලංකාර ගස් සිටුවා තිබූ අතර, එම ගස්වලට හානි කරන අයට දඬුවම් පැමිණවීමේ පනත්
දෙකක් 1702 සහ 1751දී සම්මත කොට
තිබේ. මුල් කාලයේ දී පිටකොටුව ප්‍රදේශය දැනට වඩා සුන්දර
බවකින් යුක්ත විය. මීගමුවට, කඳුරටට හා කෝට්ටේ රාජ්‍යයට විහිදෙන මාර්ග ආරම්භ වූයේ
මෙහි සිට ය. එදා මෙවැනි ජනාකීර්ණ බවක්
දක්නට නොලැබුණි. පෘතුගීසින් හා ලන්දේසීන්ගෙන් පැවත ආ ධනවතුන් බොහෝ වාසය
කලෝය. සෑම පැත්තටම විහිදී තිබූ ගුරු පාරවල්හි, එනම්
පිටකොටුවේ මංමාවත්හි බොරලු අතුරා තිබිණි. වියළි කාලවල දූවිලි සහිත වුවත්, තුරුලතා
තිබූ බැවින් දූවිලි පැතිර ගියේ නැත. පළල් මාර්ග වූ අතර පටු බොහෝ මංමාවත්ද පැවැතියේය. ඕලන්ද යුගයේදී පිටකොටුව ප්‍රදේශයේ වාසයකලේ ඉහල පංතියේ ජනතාවයි. කොටුවෙන් පිටත
පෞද්ගලික නිවාස වීදියට මුහුණලා ඉදිකෙරිණ. මේවා වීදි සීමා නිවාස(Confined City Street Houses) ලෙස නම්
කෙරිණ. මේවායේ
ඉදිරිපස කෙලින්ම වීදියට විවෘත විය.
ගෘහාභ්‍යන්තරය සාලය ආරුක්‌කු සහිත විය. මැද මිදුලක් හෝ පසුපස මිදුලක්
සහිතව ඉදිකෙරිණි. කවාකාර කැටයම් කණු යොදා ඉස්‌තෝප්පුවක් සහිතව නිර්මාණය කළ අතර, එම
කණු අතර වැටක්(Railing) යොදා තිබිණ හෙවත් නිවාස
ආලින්දයන්ගෙන් යුතු බරාඳ සහිත අලංකාර ඒවා විය. ගොඩනැඟිලි සඳහා දේශීය දැව භාවිත
කෙරිණි. විශාල දැව
දොරවල් යෙදින.
දොරවල් හා ජනෙල් කොටස් ලෙස විවෘත කළ හැකි හරස් පියන් සහිත
විය. ලංකාවේ නිෂ්පාදිත හා පිටරටින් ගෙනා ගඩොල් භාවිතා කර බිත්ති ඉදිකළහ.දෙමහල්
නිවාසද ඉදිකෙරිණි. මේවායෙහි ඉහළ මාලයෙහි (සොල්දරයෙහි) ගෙබිම සඳහා දැව භාවිතා කෙරිණි.
සියලුම පොල් අතු
වහලයන් සඳහා උළු සෙවිලි කිරීම 1745දී නීතිගත කරණු ලැබීය.
ශ්වයිට්සර් එකළ පිටකොටුවෙහි වෙළෙඳපොල ස්වභාවය විස්තර කරමින් මෙලෙස දක්වයි. ‘තාප්පයකින් වටවූ ලන්දේශි දේවස්ථාන භූමිය පිහිටියේ නගර ප්‍රදේශය මධ්‍යයේය. එහි මලබාර් පාසලක් ද වේ. දේවස්ථාන බිමෙන් පිටත අරාබින් හා පර්සියන් වෙළෙඳුන් සේද හා වෙනත් රෙදිපිළි, භාණ්ඩ ඈ දේ විකුණති. මළබාර, මාලදිවයින්වාසීන්, සිංහලයන්ද, වෙනත් කොළඹ වැසියන්ද, පලතුරු එළවළු කරවල ලුණු සීනි හා හාල් ධාන්‍ය ආදිය වෙළෙඳාම් කරනු ලබති.’ අශ්ව රථවලින්, අශ්වයින් පිට,තිරික්කලවලින්, හා පයින්, ගමන්කළ මේ මාවත්හි ගොනුන් බැඳි කරත්ත මගින්ද, මහත්සේ ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන්නට විය. [එකළ අශ්වයෙකු හිමි අයෙකු, මෙකළ කුඩා මෝටර් රියක් හිමි අයෙකු මෙන් විය.] ලන්දේශීන්ගේ් වෙළඳ විරුද්ධවාදීන්වූ මුස්ලිම්වරුන්ට කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ ඉඩම් සහ ගෙවල් ගැනීම තහනම් කරණලදී.
1751 නොවැම්බර් 27දින පාන්දර දෙකට පමණ බේරේ වැවෙන් පිහිනා ගොඩව අවුත් කොළඹ ලන්දේසි බළකොටු බැම්ම බිඳ ඇතුළුවූ ඇතෙක්, රොටර්ඩෑම් අට්ටාලය විනාශ කර එහි සේවය කළ සෙබළුන් තුන් දෙනෙකුගෙන් එකෙකු මරා දමා තවකකුගේ අතපය බිඳ දැමී යැයි ඔවුන්ගේ නිල වාර්තාවේ විස්තර කර ඇත. මෙයින් පෙනී යන්නේ අවට අලි ඇතුන් විසූ වන ගහනයන් පැවති තත්ත්වයයි.
කොටුව, කාසල් ලෙස පොදුවේ හැඳින්වූ අතර එහි නැගෙනහිර මායිමේ තිබූ හිස් තැනිතලා එළිමහන් දෙනිපත් භූමියක් වූ බෆලෝස් ප්ලේන් හෙවත් මීගොංමඩිත්තද [පසුව Chalmer's granaries බිම] ආරක්ෂාවට යොදා ගත්තේ ‘කොළඹ විල’ යනුවෙන් පෘතුගීසීන් සැකසූ(පසුව බේරේ නම්වූ) ජලාශයෙහි වතුර බැහැර කිරීමට තැනූ දිය පැන්නුමකින්, ස්ථාවර ජලමට්ටමක තබාගත හැකිවන පරිදි 1796දී තවදුරටත් අලංකාර ජලාශයක් සේ නිර්මාණය කිරීමෙනි. ‘ජොහාන් ඩි බියර්’ නම් ඕලන්ද ඉංජිනේරුවකු විසින් මෙම දිය අගල් හා ආරක්ෂක ජලාශ ක්රමය ඉදිකළ හෙයින් ලන්දේශීන් විසින් බේරේ ලෙස නම් කළ වග කියැවේ. අතු විහිදී ගිය මෙම ජලාශය නිසා කොළඹ පෙදෙස් කිහිපයකට බෙදා වෙන් කළේය. මතු කියැවෙන කොම්පොඤ්ඤවීදිය නිමැවුනේද මෙයිනි.
ආරක්ෂාව පිණිස යුද අට්ටාලවලට අමතරව මහ මුහුද හෝ ජලාශය
නොවූ ස්ථානවල අමතරව ගැඹුරු දිය අගල්ද ඇළවල්ද තැනීමට ඕලන්දකාරයෝ පියවර ගත්හ. කොටුවේ
සිට කැලණිගඟ දක්වා ඇළ(ටිකිරිකුමාරයාවිසින් තැනවූ ඇළ) පසුව සාන්තසෙබස්තියන්ඇළ ලෙස භාවිතකළ
පෘතුගීසීන්ගෙන් අනතුරුව, හා ඕලන්ද ඇළ හෙවත් ‘කැනල් රොව්’ ලෙස හැඳින්වූ
මේ ඇළ සංවර්‍ධනයකර එයද ඔවුන්ගේ ප්‍රයෝජනයට යොදා ගැනින. [මෙහි වපසරිය එදාට වඩා අද බෙහෙවින් පටුවී ඇත.] මෙය ලන්දේසි යුගයේදී සිට භාණ්ඩ ප්‍රවාහනය
සඳහා බහුලව භාවිත කරනුලැබීය. කැලණිගඟෙහි ඉහල දෙසින් එන සහ, පුත්තලම දෙස සිට
පාරුඇළ ඔස්සේ කැලණිගඟට පැමිණෙන ඔරු, පාරු, ආදිය තොටළඟින් දකුණු දිශාවට වූ මෙම ඇළට
ඇතුළුවී කොළඹ කොටුව දෙසට පැමිණුනි. ඇළ මඟෙහි එදෙසට ගමන් කරන විට සන්තබස්තියමකන්ද
ප්‍රදේශයේ ජල මට්ටම් පාලන උපක්‍රමික ද්විත්ව දොරටුවක් මධ්‍යයෙන් යාමට සිදුවීම මෙහි විශේෂත්වයකි. කොළඹවිල සහ කැලණි ගඟ අතර
ජලමට්ටම් අතර වෙනස, ප්‍රවාහනයේදී බාධාවක් නොවනු පිණිසද, කොළඹකොටුවට යන ජලමගෙහි
ආරක්ෂක උගුලක් ලෙසද, ලන්දේසීන් විසින් මෙය නිමවනු ලැබ තිබේ. (බේරේ දෙස ජලමට්ටම
ඉහලින් පිහිටන හෙයින්, කැලණිගඟ දෙස සිට යන යාත්‍රාවක්, මෙතැන එදෙසින් ඇති දොරටුව
ඇර, දොරටුදෙක මධ්‍ය ප්‍රදේශයට ඇතුළුකර කැලණිගඟ දෙස දොරටුවවසනු ලැබේ. ඉක්බිතිව බේරේ
දෙසින් දොරටුව විවෘතකර, දිය මට්ටම නැඟුනුපසු යාත්‍රාව බේරේ දෙසට යැවේ. බේරේ දෙසින්
එන යාත්‍රාවක්ද මෙතුලට ගෙන බේරේ දෙස දොරවසා ජල මට්ටම පහත් වීමට කැලණිගඟ දෙස දොරටුව
විවරකර අනතුරුව එදෙසට යැවීම මෙම උපක්‍රමයයි.) [දෙමටගොඩ පහළ ගංවතුර පාලනයට මෙතැන පොම්පාගාරයක්ද සකසා තිබේ. සාන්තසෙබස්තියන්
දොරටුව ස්ථානය අද පාලනය ශ්‍රී ලංකා වරාය
අධිකාරිය මගිනි.]
සන්තබස්තියම ජලදොරටුව - ජේ. එල්. කේ. වැන්ඩෝට්
තවද කොළඹ වට (දෙමටගොඩ ඇළ , කිඳ ඇළ, කිරුළපනඇළ , වැල්ලවත්තඇළ, ඔස්සේ ඇළ මාර්ගය)හා
බැහැර ප්‍රදේශ(කොළඹ - පුත්තලමඇළ මාර්ගය, වැල්ලවත්ත - කළුතර ජල මාර්ගය, ආදී..) කරාද ජලමාර්ග තුලින්
ප්‍රවාහන පහසුකම් යොදා ගැනිණ. මින් අනතුරුව ලන්දේසි යුගයේ සකසන ලද, කොළඹ කාණු
පල්දෝරු පද්ධතිය එක්ව අපජලය බැහැර කිරීමට අඩි හයක (මීටර 1.8ක)
විශ්කම්භයකින් යුත් උමං නල මාර්ගයන් අවසන මෝදර මුතුවැල්ලෙන් මුහුදට බැසයාමට සකසන ලදී.
[මෙය අදටත් ක්‍රියාකාරීව
පැවතීම විශිෂ්ටය]
කොළඹ කොටුවෙන් ගිනිකොණ දිග පැත්තට පිහිටි, එසේම ගාලු මුවදොරට නැගෙනහිරින් පෙනුන කොම්පොඤ්ඤවීදිය කොළඹ විල හෙවත් බේරේ ජලාශයෙන් වට දූපතක ආකාරවූ, කැළෑබද ස්වරූපයෙන් සමන්විතව තිබූ බිම්තීරුවකි.රොටර්ඩෑම් පවුරු අට්ටාල අසල කොටු පවුර මැදින්වූ පැන්නුම් පාලමක් ඔස්සේ මඟකින් සම්බන්ධවූ කොළඹ විල (පසුව බේරේ නම්වූ) ජලාශයෙන් වටව වෙන්වූ මෙම භූමියෙහි ඕලන්ද වෙළඳ සමාගමේ ලස්කිරිඤ්ඤ අංශයේ (Lascarin Compagnie) කටයුතු සිදුකිරීමට යොදාගත්තෙන් මෙසේ කොම්පොඤ්ඤවීදිය ලෙස ප්‍රසිඬ විය. [ලස්කිරිඤ්ඤ හමුදා ඛණ්ඩයේ බැරැක්ක මැලේ වීදිය ආසන්න පෙදෙසේ තිබී ඇත. පසුව 1860දී ඉංග්‍රීසීන් විසින් මේ ස්ථානයේ ලංකා රයිෆල් රෙජිමේන්තු මූලස්ථානය හා බැරැක්ක පිහිටුවීය. දැන් ආරක්ෂක සේවා විද්‍යාලය පවත්වාගෙන යනුයේ මෙහිය.] කොම්පොඤ්ඤවීදිය බිම්තීරය 'වහල්දූව'(Slaven Quouter / Slave Island) නමින් ප්‍රකටවූයේ ඕලන්ද සමාගමේ වහලුන් පදිංචි කර සිටි බැවිනි. මුලින් ඔවුන් කොටුව තුලවූ ප්‍රදේශයක නවාතැන්ගෙන සිටියද, ඕලන්ද පවුලක් මරාදැමීමේ හේතුවෙන්, කාපිරි වර්ගයේවූ මේ වහලුන් මෙම දූපතේ පදිංචි කර ඇති වග පැවසේ. මින් අනතුරුව වහල් සේවය සඳහා ගෙන ආ මැලේ-ජා ජාතිකයන්ද කොම්පොඤ්ඤවීදියෙහි පදිංචි කරවන ලදී.
කුළුබඩු
ද්‍රව්‍යයක් ලෙස, ලංකාවේ කැලෑවන්හි ස්වභාවිකව වැවුනු කුරුඳුවලින් ලැබූ අස්වැන්නෙන්
තෘප්තිමත් නොවුනු ලන්දේශීන් 1705 කාලයේ කුරුඳු හේන් වැවීමට කටයුතු කළහ.
මේ අනුව මරදාන ප්‍රදේශයේ සිට බේරේ ජලාශයේ නැගෙනහිර
ඉවුර බම්බලපිටිය තෙක් එකසිය දහසය අමුණක හෙවත් අක්කර දෙසිය තිස් දෙකක කොරනේලිස් ඩි කොක්(Disave of Colombo, Cornelis de Cock) විසින් වැවූ
කුරුඳු වගා බිම ‘කුරුඳුවත්ත’(cinnamon
garden in Colombo) ලෙස ප්‍රකට විය. (කුරුඳුවත්ත ලෙස හැඳින්වෙන එම ප්‍රදේශය , මෙයට පෙර ඉහතදී දැක්වූ පරිදි කොල්ලුපිටිය ප්‍රදේශයද ඇතුලත්ව, වත්මනට වසර 150කට පෙර තෙක්'බරන්දෙණිය' යනුවෙන් පැරණි ග්‍රාම නාමයෙන් හඳුන්වන ලද බවද මෙහිදී යළි සඳහන් කළ යුතුය.) එකසිය පනහක
පමණ දේශීය කුලීකරුවන් සේවයකළ 1785 යුගයේ පැවැති මෙම කුරුඳුවත්ත වටා ආරක්ෂාව
පිණිස දඬු වැටක් වූ වගද පැවසේ.
ලන්දේසීන් කොළඹ ආක්රමණය කළ අවස්ථාවේ මරණයට පත්වූ ලන්දේසි බල ඇණියේ ප්‍රධානි ජෙනරාල් පීටර්සූන් හල්ෆ්ට් සිහිවීම
පිණිස නිවස්නය හා අණදෙන මූලසථානය තිබූ කුඩා කඳුගැටය ප්‍රදේශය ඔහු සිහිවීම සඳහා ලන්දේශීන් විසින් හල්ෆ්ට්ස් - ඩෝර්ෆ් හෙවත් හල්ෆ්ට්ගේ ගම්මානය යන නමින් හඳුන්වන්නට විය. [එම හල්ෆ්ට්ස්
ඩ්රොප් නම තබන ලද්දේ අද අලුත්කඩේ(NewBazaar) නමින්
හඳුන්වන ප්රදේශයටයි.]
ඕලන්ද යුගයේ කොළඹ නගරයේ ගස් වලින් සෙවන ලද සමහර වීදි සඳහා එම ගස් වර්ගයේ නම යොදා වීදිය ලෙස භාවිත විය. මසංගස් විශාල ප්‍රමාණයක් තිබූ නිසා මසංගස් වීදිය නමින් යොදාගැනීම ලන්දේසීන් විසින් ‘රූ ද මැසාං’ ලෙස භාවිත කළහ. පසුව ඉංග්‍රීසීන් මෙය Messenger Street (මැසෙන්ජර් වීදිය) ලෙසින් හඳුන්වනු ලැබීය. ජම්බු ගස් තිබූ වීදිය ජම්බු ගස් වීදිය නැතහොත් දඹ වීදිය, Damba straat ලෙස ලන්දේශි යුගයේදි හැඳින්වීය. [මෙම Damba straat යන්න ඉංග්‍රීසීන් Dam Street ලෙස යොදා ගන්නා ලදී. අනතුරුව සිදුවූයේ Dam Street යන්න සිංහලට වේල්ල වීදිය ලෙස අපූරු අයුරින් පරිවර්තනය කර භාවිත කිරීමය.]
කොටහේන ධීවර පවුල් වැඩි වශයෙන් සිටි ගම්මානයක් විය. පෘතුගීසීන් විසින් කොටහේන හැඳින්වූයේ ‘කොට්ටන්චීන’ (Kottanchina) යනුවෙනි. ඕලන්ද යුගයේදී මෙය‘කොටෙබෝම්’ලෙස වහරනු ලැබීය. ‘Korteboam’ යනු ‘කොට ගස් සමූහය’ යන තේරුම වූවකි. අනතුරුව බ්‍රිතාන්‍යයන් විසින් කොටහේන, පෘතුගීසී නාමානුරූපව ‘කොට්න් චයිනා’ (Cotton China) ලෙස හැඳින්වීය.
මාදම්පිටිය ලන්දේසීන් විවේක සුවයෙන් විසූ ප්‍රදේශයක් විය. Bloemendhal බ්ලූමැන්ඩල්(මල් පිපුණ දෙනිය) නමින් හඳුන්වන ලද්දේ එකල පතහ, වගුරු, පඳුරු සහිත දෙනිපත්, වනරුප්පායෙන්, සමන්විතව පැවැති මිටියාවතයි. මීට උතුරු නැගෙනහිරින් වූයේ කැලණි ගඟ මායිම, මෝදර පෙදෙසයි.
පසුව ආදුරුප්පු වීදිය ලෙස නම්වූ ‘බොරළුගොඩහින්න’ ප්‍රදේශය ලන්දේසීන් හැඳින්වූයේ Voluen Daal ‘වුල්ෆෙන්දාල්’ නමිනි [‘නරි පිල්ලෑව’ - වුල්ෆන්ඩෝල් යනවචනයේ අරුත වෘකයන්ගේ බිම යන තේරුම දෙන පෘතුගීසි වචනයක්වූ 'ඇගුවා ඩෙල් ලෝබෝ' යන වචනයේ ලන්දේසි පරිවර්තනයකි. එකළ මෙම පෙදෙස අවට ලඳු කැලෑවලින් ගහනවූ දිය සීරාවෙන් යුත් ගොඩැල්ලක් සේ තිබී ඇති අනර, ඒවායේ නරි බහුලව ගැවසුනහ. ඔව්හු මේ 'නරි වසන පිල්ලෑව' ඉහත පරිදි වෘකයන්ගේ බිම ලෙස හැඳින්වූහ.]. මෙහි පෘතුගීසින් විසින් දේව මාතාවට කැපකල කතෝලික පල්ලියක් ඉඳිකර තිබිණ(‘බොරළුගොඩ හින්නේ ආදිරිප්පු පල්ලිය තිබෙන්නේය. බොරළුගොඩ පහල සන්තුම්පිටිය දැනගත යුතුයි.’-රාජාවලිය). පෘතුගීසි පල්ලිය බොරළුගොඩ හින්නේ ඉදි කිරීමට පෙර, මෙම කඳු මුදුනේ අවට ප්රදේශයට මනාව දර්ශනය වූ බෞද්ධ විහාරස්ථානයක් වූ බව කියැවෙයි. කොළඹ මහා විහාරය ලෙස හැඳින්වුන විහාරය පෘතුගීසීහු විසින් කඩා බිඳ දමා මෙහි Agode loepo කතෝලික පල්ලිය ගොඩ නැගීය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දෙතිස්‌ඵලරුහ බෝධීන් වහන්සේලාගෙන් එකක් ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ තිබූ මෙ කොළඹ මහා විහාරයේ රෝපණය කර තිබී ඇත. [පසු කාලයක කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු කරත්ත සහ රික්‌ෂෝවලින් සිදුවූ යුගයේ ඔවුන්ගේ නැවතුම් පළවූයේ බේරේ වැව අයිනේ ය. ඔවුන් ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ ඒ වන විටත් තිබූ දෙතිස්‌ඵල බෝධියෙන් පැළයක් ගෙනැවිත් කොළඹ විල හෙවත් බේරේ වැව අයිනේ රෝපණය කර එයට මල් පහන් පූජා කරන්නට වූහ. බැතිමතුන්ගේ විශ්වාසයන්ට අනුව එය වර්ෂ1839ටවඩා පැරණිකලකදී සිදුවන්නට ඇතැයි කියැවේ. එවකට බේරේ ජලාශය බෝධිය ආසන්නයට ම පැවති අතර, ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ කොළඹ නගරය විශාල කිරීමේදී දුම්රිය මාර්ගය, කොටුව දුම්රිය ස්‌ථානය සහ මැනිං මාර්කට් වෙළෙඳපොල ගබඩා ආදිය ඉදිකිරීම පිණිස ජලාශයේ මේ කොටස ගොඩකිරීම හේතුවෙන්, අද පිටකොටුවේ බෝධියෙහි සිට බේරේ ජලාශය ඈතට ගොසිනි. ඉංග්‍රීසි පාලන කාලයේ විසිවන සියවස මුලදී දෙවරක් බෝධිය ඉවත්කිරීමට සැලසුම්කළ මුත් ඊට විරෝධතා එල්ලවූයෙන් එය ව්‍යර්ථවිය.]
ලන්දේසීන් 1743 දී එවක නගරයේ
සීමාවට එපිටින් බොරළුගොඩහින්නේ(පසුව ආදුරුප්පු වීදියේ) ‘Wolvendaalse
Kerk’රෙපරමාදු පල්ලිය ඉඳිකලේ පැවැති ‘ඇගුවාඩි ලූප් - Agode loepo පෘතුගීසි කතෝලික පල්ලිය කඩා ඒ
මතය.
ඕලන්ද යටතටපත් ලංකාවේ මුහුදුකර ප්‍රදේශ පාලනයට 1726 සිට 1729 දක්වා පත්කර එවන ලද 20 වැනි ලන්දේසි ආණ්ඩුකාරවරයා වූයේ පේතෘස් වූයිස්ට්ය. [මේ කුඩාදිවයින ආණ්ඩුකිරීමට වමැස පමණක් සෑහේ යැයි කියූ හේ දකුණැස නෙත් වැසුමකින් වසා ගෙන උද්දච්ඡ අයුරින් කටයුතුකළ වග සඳහන්ය.] මෝදර පිහිටි ආණ්ඩුකාර වූයිස්ට්ගේ නිවෙසට යාමට තිබූ පාර විස්ට්වයික් පාරයි. වූයිස්ට්ගේ ගම හෙවත් වූයිස්ට් වයික් ලෙස හැඳුන්වුනු මේ පෙදෙස පසුකළ ‘විස්ට්වයික්’ ලෙස භාවිතයට එක්වී තිබේ. පෙතෘස් වූයිස්ට් කෘෘර පාලකයෙක් විය. එම නිවස ඇති කන්දේ මිනිසුන් බිලිගන්නා රාක්ෂයෙක් සිටින බවටත්, දැඩි ලෙස විශ්වාසයක් පැවති හෙයින් රාස්සමූණ කන්ද ලෙස ව්‍යවහාර විය. නූතනයේ විස්ට්වයික් ක්‍රීඩාංගණය බවට පත්ව ඇති රාස්සමූණ කන්ද පිහිටි ස්ථානය මෙයයි. මෙතැන මුලදී කරත්තවලට පවා යාමට නොහැකි අසුපිටින් පමණක් යාහැකි ස්ථානයක් වූ අතර, ඊට ලඟාවීමට පෙට්‍රස් වූයිස්ට් විසින් ඕලන්ද වෙළඳ සමාගමේ වියදමින් ගල් අතුරා අලුත්ම පාරක් තනවනු ලැබීය. අලුතෙන් සෑදූ නිසා මෙම මාවත අලුත්මාවත ලෙස හැඳින්විණ.කොළඹ වරායේ ජැටිය අසල සිට මෝදර දක්වා දිවෙන මේ පාර අදත් හඳුන්වන්නේ අලුත්මාවත නමිනි.
ලංදේසි ආණ්ඩුකාර වැන් එංගල්බෙක් යුගයේදී ඉන්දියානු සාගර ප්‍රදේශයේ රටවල් අල්ලාගැනීමට ප්‍රංශය ක්‍රියාත්මකවූ හෙයින්, මෙහිදී එංගලන්තයට ඉඩ දෙමින් කටයුතු කරමින් ගිවිසුම් ගතවූ ඕලන්දය ඒ අනුව ලංකාවේ ලංදේසි පාලන ප්‍රදේශ ඉංගිරිසින්ට භාර දීමට කටයුතු කරණ ලෙස ඕලන්ද පාලකයා දැනුම් දී තිබුණද, ලංකාවේ මූදුබඩ පාලක ලංදේසි ආණ්ඩුකාර වැන් එංගල්බෙක් එම අණ අපැහැදීමෙන් කටයුතු කිරීමනිසා [බ්‍රිතාන්‍ය රැකවරණයේ සිටි ඔරේන්ජ්හි විලියම් කුමාරයාඊට අනුවද, බෙතාවිය පාලනය ප්‍රංශයට නතුවී ක්‍රියා කිරීමද කාලීනව පැවති තත්වයයි.], බ්‍රිතාඤ්ඤයන්හට සිදුවූයේ ලංකාවේ ඕලන්ද බළකොටු ක්‍රමයෙන් අල්ලාගැනීමටය.
බ්‍රිතාන්‍ය පාලනයට නතුවූ කොළඹ ලන්දේසි කොටුව - (ජෝන් ලෙනාඩ් කැලෙන්බර්ග් වැන්ඩෝට් ගේ සිතුවමක්)
මෙසේ බලකොටු යටත්කර ගනිමින් කොළඹ දක්වා ආ බ්‍රිතාඤ්ඤයන් හා සටන් නොකළ ලන්දේශීහු හා ඔවුන් සමඟ වූ මැලේ ජා ජාතිකයින් හා කැටුව පසු බැසීමට කටයුතුකළහ. කැලණි ගං මෝය ආසන්නයට පැමිණ නැංගුරම් ලා තිබූ බ්‍රිතාන්‍ය නාවික බලඇණියේ ආර්. එන්. ගාඩ්නර්ගේ යුද නැව් හා කර්නල් ජේම්ස් ස්ටුවට්ගේ යුද සේනාංක කොටුව වටකර තිබූ හෙයින්, හූන් හා ඩෙල්ප්ට් යුද අට්ටාල අතර ඇති නැගෙනහිර මළුව ලෙස හැඳින්වූ (අද ලෝටස් පාර) ප්රදේශයේදී, ලන්දේසීහු තම කඩු හැර අනිකුත් අවි ආයුධ හා නිරුපද්‍රිත කොළඹ කොටුව, පෘතුගීසීන්ගෙන් ඊට වසර 140කට පෙර බලය පැහැර ගත් තත්වයට වඩා නියාලු ලෙස, 1796 පෙබරවාරි 16 වැනි දින ඉංගීරිසීන්හට භාර දෙනු ලැබීය. මේ වනවිට ඉහත දක්වා ඇති පරිදි කොළඹ බළකොටුවේ වපසරිය පැවැතියේ වර්ග සැතපුමකට පමණ අඩුවූ (අක්කර443ක) ඉඩකය. 1807දී සන්නද්ධ තුවක්කු හතක් හා යෝධ ආධාරක කාල තුවක්කු 30 ක්ද බළකොටුවේ ආරක්ෂාවට යොදා තිබුණි. ඉංගිරිසින් කොළඹ අත්පත් කරගැනීමෙන් අනතුරුව වාණිජ අගනගරය ලෙස පවත්වාගෙන යාම මූලික විය. වරාය ඈ පහසුකම් දියුණු කෙරිණ. 1806 වසරේ දී හඳුන්වා දුන් ආඥාපනතක් හරහා කොළඹ නගරය කොට්ටාස 15කට බෙදනු ලැබීය. තැපැල් කොට්ටාස පදනම වැටුනේ මේ අයුරිනි. මේ තුල සෑම ගමකටම එක් පොලිස් විදානේවරයෙකු බැගින් පත් කරණු ලැබීය. එක් එක් කොට්ටාසය වෙනුවෙන් පොලිස් කොස්තාපල්වරයෙකු බැගින්ද පත් කරන ලදී. මොවුන්ගේ කාර්යභාරය වූයේ ප්‍රදේශය තුළ නිතිය සහ සාමය පවත්වාගෙන යාමයි. 1815 උඩරට ගිවිසුමින් පසු සමස්ත දිවයිනෙහිම අගනුවර කොළඹ විය.
පිටකොටුවේ සමහර මාවත් පටු වුවද, ඉන් පිටත ප්‍රදේශයේ සමහර මාවත් සැතපුම් දෙකක් පමණ දුරට විහිදී ගිය පුළුල් ඒවා විය. එකිනෙකට සරල සමාන්තරව දිවෙන දිගින් සැතපුම් භාගයක් තරම් වූ වීථි පහක් ද, ඒ වීථි හරහට සෘජු කෝණාකාර ව වැටී ඇති තවත් වීථි පහක් ද, පිටකොටුවේ දක්නට ලැබුණු බව වර්ෂ 1799 සිට 1804 දක්වා පස් වසරක් තුල කොළඹ කොටුව ඇංග්ලිකන් පල්ලියෙහි දේවගැති ධූරය දරමින් ලංකාවේ වාසයකළ ජේම්ස් කෝඩිනර් දේවගැතිතුමා විසින් ක්‍රි.ව. 1807 දී සිය Discription Of Ceylon ග්‍රන්ථයෙහි සඳහන් කරයි. Discription Of Ceylon හි එන විස්තරයට අනුව මුලින්ම පැවැති කඩවීදිය වූයේ පිටකොටුවේ මහවීදියේය. මෙම වීදියේ දෙපස පොල් අතු කූඩාරම් බඳු කඩ දෙපේලියක් විය. ජනයා නිරන්තරයෙන් එහි ගැවසී ගත්හ. එනිසා දවසපුරා වීදියෙහි කළබළකාරී බවක් පැවතින. මහ වීදිය තුල කෙනෙකුට එහා මෙහා යෑම පවා අසීරු විය. අශ්ව කරත්තවලින් හා අකීකරු අශ්වයන්ගෙන් විවිධ අවස්ථාවලවූ කරදර, පුද්ගලික තිරික්කලකරුවන්, ආදීහු මේ කළබළකාරීබවෙහි අප්‍රසන්නතාවය වැඩිකරලීය. එනිසා කඩවීදිය මහවීදියෙන් ඉවත්කර, හල්ෆ්ට් නමැති ලන්දේසි ආණ්ඩුකාරයෙක් කළකට ඉහත පදිංචිවී සිටි නිවහන පිටුපස පිහිටි හල්ෆ්ට්ස්ඩෝෆ් පෙදෙසට ඉංග්‍රීසි පාලකයන් විසින් ගෙන ගියහ.
මෙම වෙළඳ සංකීර්ණය ඉඳිකරනු ලැබුවේ ආණ්ඩුවේ වියදමිනි. වෙළඳ සංකීර්ණය අලුතින් කඩ දැමූ ප්‍රදේශය නිසා එම පෙදෙස අලුත්කඩේ(NewBazaar) ලෙස හඳුන්වන්නට ගෙන තිබේ.
කොළඹ උසාවි ක්ෂේත්‍රය පවතින්නේද අලුත්කඩේ ප්‍රදේශයේය. රෝම-ලන්දේසි නීතිය කොළඹ ඇතුලු ඔවුන්ගේ පාලන ප්‍රදේශතුල ක්‍රියාත්මක කරවීමට ලන්දේසීන් විසින් මූලිකව කටයුතු කළහ. ඉංගිරිසි යුගයේ මුල කොටුවේ සිදුවූ අධිකරණ කටයුතු 1804දී ඉංගිරිසි ආණ්ඩුකාර පෙඩ්රික් නෝත්ගේ පාලන සමයේ හමුදා අණදෙන නිලධාරි සහ අධිකරණ විනිසුරුවන් අතර පැනනැඟි හබය සමථයට පත්කරණු පිණිස හල්ෆ්ට්ස්ඩොප් පෙදෙසට ගෙනයාමට කටයුතු කිරීම මීට හේතුවිය[ග්‍රීකපැන්තියන් ආකෘතියේ උසාවි ගොඩනැඟිලි විසිවන සියවස මුලදී ඉඳිකරණු ලැබීය.]. 1874දී නීති විද්‍යාලය පිහිටුවන ලදී.
වර්ෂ 1680 දී ඉදිවූ, ඕලන්ද
ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවස ලෙස ද කළක් භාවිත වූ එකළ කොටුවේ තිබූ විශාලතම පෞද්ගලික
ගොඩනැගිල්ල කොටුවේ ශාන්ත පීතර දේවස්ථානය ලෙස හඳුන්වන ස්ථානයයි. ඕලන්ද පාලකයන්
ඔවුන්ගේ පාලක මණ්ඩල රැස්වීම් සඳහා මෙම ස්ථානය භාවිත කළහ. රජගෙදර පදිංචියට පෙර බ්‍රිතාන්‍ය
ආණ්ඩුකාර ෆෙඩ්රික් නෝර්ත්ද මෙහි වාසය කලේය. එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණ රැස්වීම් සඳහා ද (අලුත්කඩේ ප්‍රදේශයට
ගෙන යාමට කලින්) භාවිත කෙරිණ. 1804 වසරේදී ප්‍රතිසංස්කරණය කර ‘බලකොටුවේ ශාන්ත පීතර ඉංගිරිසි
දේවස්ථානය’ සේ නම්කර ආගමික කටයුතු සඳහා යොදා ගන්නා ලදී.
මුල් කාලයේ පෘතුගීසීන් කොළඹ කොටුවේ ඉදිකළ,
භාවිතා කළ, ශාන්ත ෆ්‍රැන්සිස්
දෙව්මැදුර සහ සොහොන්බිම සහිත වරායට යාබද අක්කර 5.75ක භූමියෙහි
අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ ජොහාන් ජෙරල්ඩ් ෆන් ඇංගල්බීක් විසින් ‘කොනිංස්හවුස්’
නමින් ඉඳිකළ දෙමහල් ගොඩනැගිල්ල ඇන්ගල් බීක්ගෙන් පසුව ඔහුගේ පරපුරට අයිති වීම අනුව,
මිනිබිරියක වූ ජැකෙමිනා ගර්ටෘඩ් වැන්ඩග්‍රාෆ්
නමැත්තියකට උරුම විය. ඕ විවාහ වූයේ ඉංගීරිසි සිවිල් නිලධාරියකුව සිටි ජෝර්ජ්
මෙල්වින් ලෙස්ලි සමගය. ඔහු ප්‍රධාන වැටුප් ගෙවුම් නිලධාරි ධූරය දැරූ අවදියේ ගිණුම්
පියවීමේදී පවුම් දස දහසක මුදල් අක‍්‍රමිකතාවයක් සිදුවූ බැව් දැක්වුනෙන්, ආණ්ඩුව
තක්සේරු කර තිබූ රික්ස්ඩොලර් 35,000 ක මුදල ගෙවන්නට වත්කම වූයේ ලන්දේසි පරපුරෙන් බිරිඳට
උරුම වූ මේ දේපලයි. එය 1804 ජනවාරි මාසයේ 17 වැනිදා ආණ්ඩුවට පවරා දෙනු ලැබීය. [ආණ්ඩුකාර ප්‍රෙඩ්රික් නෝත් මන්දිරය ලබාගැනීමට ලෙස්ලි
නමැත්තා වංචාවකට පැටලවූ වගටද කරුණු කියැවේ.] ආණ්ඩුවට හිමි
වූ පසු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ප්‍රෙඩ්රික් නෝත් මෙම මන්දිරයේ පදිංචියට පැමිණියේය.
නෝත්ගෙන් පසු තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා මෙහි වාසයට පැමිණි අතර හේ මෙතැන වඩාත්
පරිපූර්ණකර ආණ්ඩුකාර නිල නිවසක් පිහිටු විමට කටයුතු කලේය. මෙතැන් සිට ‘රජ ගෙදර (King’s
House)’ යන නමද ව්‍යවහාර වීමට පටන් ගැනින. අනතුරුව කොටුවේ ශාන්ත ෆ්‍රැන්සිස් දේවස්‌ථානයද වූ මේ ස්ථානයෙහි
ගොඩනැගිල්ලක් ඉදිකරන්නට සැලසුම් විය. එනිසා 1813දී එම දෙව්මැදුර කඩා දමනලදී. ඒවනවිටත් එම දෙව් මැදුරු
බිමෙහි දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර (‘ධර්‍මපාල රජ
මළකඳ ගෙන ප්‍රතිකානුන්ගේ පල්ලියේ වැළලුවාහ.’-රාජාවලිය) මෙන්ම
ලන්දේසී ආණ්‌ඩුකාරවරු පස් දෙනෙකුගේ සහ තවත් ලන්දේසි ප්‍රභූන් කීප දෙනෙකුගේම
සිරුරු මිහිදන් කර තිබිණ. මෙනිසා එකල සිටි එම අයගේ ජීවත්ව සිටින ඥාතීන්ගේ අවසරය මත
එම සිරුරු ඇටකටු කොටස් සහ පැරැණි සොහොන් ගල් 1813 සැප්තැම්බර්
මස 4වන දින රාජකීය 19වැනි සේනාංකයේ
නිල රැකවරණය සහිතව පන්දම් ආලෝකයෙන් ආදුරුප්පුවීදිය රෙපරමාදු පල්ලිය වෙත ගෙන යනු ලැබීය.
[දොන් ජුවන් ධර්මපාල රජු 1597 කොළඹ දී මියගිය බව කියැවෙයි. ඒ අනුව කොළඹ කොටුවේ භූමදාන
කල දොන් ජුවන් ධර්මපාල රජුගේ ස්‌මාරකයද මෙහි ගෙනැවිත් තිබෙන්නට ඇති බව සිතිය හැක.
නමුත් දැනට ඒවැනි සිහිවටනයක් දක්නට නැත. ඉංගිරිසීන් කොළඹ නගරය අත්පත්කර ගන්නා
අවස්ථාවේ, ගෝඩ්න් උද්‍යානය ලෙස පසුව නම් වූ ස්ථානයේ තිබූ මෙම සොහොන විනාශවූ වගක්ද
කියනු ලැබේ.]
රජගෙදර ගොඩනැගිල්ල විශාල කර ඉදි
කරමින් ඉංගිරිසි පාලන සමයේ දී, 1831,මෙන්ම 1838, සහ 1852,ත් 1928,නැවත සකසමින්ද
තවදුරටත් එයට විවිධ එක්කිරීම් සිදු කෙරින. මේ හේතුවෙන් ලන්දේසි
ආණ්ඩුකාර එංගල් බීක් විසින් මුලින් ඉඳිකළ පැරණි ඕලන්ද ගොඩනැගිල්ල වෙනස්ව, ආරුක්කු සමඟ
පිටත බිත්ති සහිත පහත මාලය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව සැකසුනු, දැව සොල්දරයක් සහිත
ඉහළ මාලයක් ඇති බි‍්‍රතාන්‍ය ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්නුම් කරන මන්දිරයක් ලෙස දැන් දැකිය
හැක. එංගලන්තයේ වික්ටෝරියා රැජිනගේ (1837-1901) පාලනය ඇරඹූණු පසු මෙම මන්දිරය Queen’s House
ලෙස හඳුන්වන්නට විය. ජෝර්ජ් රජ සමයේ යළිත් රජගෙදර වී එළිසබෙත් රැජිනගේ පාලනය
පටන් ගත් විට නැවතත් එය ක්වීන්ස් හවුස් බවට පත්විය. [1972 මැයි 22 දා ශ්‍රී ලංකාව ජනරජයක් වූ දා පටන් මෙය හඳුන්වන්නේ
ජනාධිපති මන්දිරය ලෙසයි.]
1815දී ශ්‍රී වික්‍රම
රාජසිංහ රජතුමා අත්අඩංගුවටගෙන වෙල්ලෝරයට යවනතෙක් රඳවා තබනු ලැබ ඇත්තේ කොටුවේ රජගෙදර සිට ගාලුමුවදොර දෙසට යනවිට මාර්ගයේ වම්පසින් වූ ගොඩනැඟිල්ලකය. [මේ වනවිට එය හැඟවෙන
කුඩා කුටියක් ඉඳිකර ඇතත්, ඒ ආසන්නව එකළ පැවැති ඉඩකඩ සහිත ගොඩනැඟිල්ලක් මීට භාවිතකර තිබේ. එහි වසරකට
මඳක් අඩු කලක් රඳවා තිබිණ.]
1827 වර්ෂයේදී කළ ජන
සංගණනයේ දී කොළඹ කොටුවේ ජනගහනය 854 දෙනෙකුගෙන් යුක්ත වූ අතර, නිවෙස් 205 ක් විය. කොටුව තුළ වැඩිම ජන සංඛ්‍යාවක් වාසය කළේ පිළිවෙලින්, රෝහල් වීදිය, බේලි වීදිය, හා චැතැම් වීදියෙහිය.
අධික සංඛ්‍යාවක් නිවෙස්
පිහිටා තිබුණේ චැතැම් වීදියෙහිය.
රැජින
වීදිය, යෝර්ක් වීදිය, චැතැම් වීදිය,
අඩි 16ක් පළල් වූ
අතර යුනියන් පෙදෙස මල්
ගස්වලින් පිරී තිබූ බව වාර්තා වේ. ගාලු පාරද එකලපටු මාර්ගයකි. ඩාර්ලි පාර
අඩි 20කි. 20වනසියවස මුලකාලය දක්වාද කොළඹ බොහෝ
මාර්ග බොරළු දමා තලා පදම්කර තිබූ ඒවා හෝ වැලි පාරවල් විය.
කොළඹ කොටුවහෝරා ප්‍රදීප ස්ථම්භයෙහි සිට දකුණු දෙසින් හමුදා නිවස්න ඉදිකිරීමෙන් පසු දර්ශනය
ගාලුමුවදොර පිටියට
උතුරින් බේරේ වැවේ බේසමින් උඩහින් කොළඹ කොටුව භූමියතුල පෙර කළ කෆීර්ස් වෙල්ඩ් ලෙස හඳුන්වමින් තිබූ ස්ථානයෙහි ඉංගිරිසි ආණ්ඩුව විසින් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සඳහා සමූහ වාසස්ථාන (Etchelen-barracks) ඉඳිකරනු ලැබීය[දැන් ගලධාරි හෝටලය ලෝක වෙළඳ මධ්‍යස්ථානය ද්විත්වකුළුණ ඉඳිව ඇත්තේ මෙහිය].
බ්‍රිතාන්‍ය
අවධියේ මුල කොටුවේ ඩබ්ලිව්.සී. ගිබ්සන් නමින් සමාගමක් පිහිටුවා ඇත. කොටුවේ කුමාර
වීදියේ අංක 05 දරන තැන 1817දී මොන්ටේකර්
නමැති අයෙකු භාණ්ඩ විකුණූ වෙළෙඳසැලක් පැවැති වග කියැවෙයි.
1832 වසරේදී
පටන්ගත් වාණිජ නොවූ, සිලෝන් සේවින්ග්ස් බැංකුව ඉතිරිකිරීම් කටයුතු සංවර්ධනය
වෙනුවෙන්වූ බැංකුවක් වශයෙන් පැවැතියේය. මෙය කොටුවේ අද හිල්ටන්හෝටලය පවත්නා භූමියේ
විය. 1885දී වඩා පුළුල් කර
සිලෝන් සේවින්ග්ස් පෝස්ට්ඔෆිස් බැංකුව ලෙසද ව්‍යාප්ත කෙරිණ.
1836 සිට විවිධ සමාගම්
සඳහා කොළඹ නගරයේ ඉඩම් විකිණීම ආරම්භ කර ඇත. බ්‍රිතාන්‍ය යුද නිලධාරියකුට අයත්ව
තිබූ ගොඩනැඟිල්ලක් 1844දී මිලට ගත් විලියම් විල්ගෝ නම් බ්‍රිතාන්‍ය
ජාතිකයා ඇරඹූ ව්‍යාපාරය සහිත දේපළ ඩී.එස්.
කාගිල්ස් විසින් මිලදී ගැනින. (1902දී දැනට තිබෙන
කාගිල්ස් ගොඩනැඟිල්ල ඉදිකරණ ලදී. ලංකාවේ මුල්වරට විදුලි සෝපාන සහ විදුලි පංකා සවි
කරන ලද්දේ මෙම ගොඩනැඟිල්ලෙහිය.) 1857 වසරේදී
කාර්සන් සමාගමද, 1860 වසරේ මිලර්ස් සමාගමද, 1870 වසරේ එයිට්කන් ස්පෙන්ස්
සමාගමද, ලෙස ඈ වශයෙන් මේ අයුරින් විදේශීය,
බහුජාතික සමාගම්වලින් කොළඹ කොටුව පිරී ගියේය. ගෆූර් ගොඩනැඟිල්ලද මෙම සමකාලීනව
ඉඳිවූ වාණිජ ගොඩනැඟිල්ලකි.
කොළඹ කොටුවේ
චැතම් වීදිය හා ජනාධිපති මාවත සබැඳි හන්දියෙහි පිහිටුවා ඇති කුළුණ 1857 වසරේදී
මුලින්ම ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනීම උදෙසා ඉදිකලද, පසුව 1865 වසරේදී ඊට ප්‍රදීපාගාර
ලාම්පුවක් සවි කල බව කියැවේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඔරලෝසුවක් සවිකරන ලද එකම ප්‍රදීපාගාරය
මෙය වේ. උස මීටර 29 ක් හෙවත් අඩි 95 කි. එසේම කොළඹ සිට පිට පළාත්වලට ප්‍රධාන මාර්ගවල සැතපුම් දුර මනිනු ලැබ ඇත්තේද[ගාලුමුවදොරපිටිය
අනෙක් පස ටාජ්සමුද්‍රහෝටල පිවිසුම අසල සැතැපුම් කණුවේ ඇත්තේ රජගෙදරට සැතපුම් එකයි
යනුවෙනි.] මෙහි සිට (Center
point) බැව් පැවසෙයි.මෙය කොළඹ ත්‍රිකෝණමිතික මැනුම් කුළුණ ලෙසද, යොදා ගෙන ඇත. [පසුකාලීනව කණුව
අවට ඉදිකරන ලද උස් ගොඩනැගිලි හේතුවෙන්, ප්‍රදීපාගාර ආලෝකයට බාධා පැමිණීම නිසා, 1952 වර්ෂයේදී
කණුවෙහි වූ ප්‍රදීපාගාර පහන භාවිතා කිරීම නවත්වා දමන ලද නමුදු, එය ඔරලෝසු කණුවක්
ලෙස පමණක් ප්‍රයෝජනයට ගැනේ. ඒ වෙනුවට කොටුව ගල්බොක්ක
ස්ථානයේ නව ප්‍රදීපාගාරයක් පිහිටුවන ලද අතර මෙය 1952 දී සිට ක්‍රියාත්මක කරමින් ඇත. මෙහි සංඥාව තත්පර දහයකට වරක් සුදු එලි තුනක් දර්ශණය වීමයි. මීටර 15 ක් හෙවත් අඩි 49 ක් උස වන මෙහි මුහුදට මුහුණලා ඇති පැත්ත සුදු හා කලු පාට වලින් දාම් ලෑල්ලක ආකාරයට වර්ණ ගන්වා තිබේ. මෙම නව ප්‍රදීපාගාරය පිහිටි ස්ථානය දිවයිනේ නැඟෙනහිර අන්තය වශයෙන්ද සළකනු ලැබීය.]
රජගෙදර
ඉදිරිපස තිබූ පැරණි ඕලන්ද ගොඩනැඟිල්ලක් ඉවත්කර 1860 කාලයේ තනනුලැබූ
ව්‍යවස්ථාදායක ගොඩනැඟිල්ල (Legislative Building) ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පිණිස මෙන්ම යටත් විජිත ලේකම් කාර්යයාලයේ
කාර්යයන් සඳහාද භාවිත කෙරිණ. ව්‍යවස්ථාදායක සභා කටයුතු 1930 දී රාජ්‍ය මන්ත්‍රණ සභා ගොඩනැඟිල්ලට ගෙන යන ලද නමුත්, 1972 තෙක් උත්තර මන්ත්‍රී(Senate) මණ්ඩලය රැස්වූයේ මෙහිදීය. [1972 න් පසු මෙය හා ගෝඩ්න් උද්‍යානය ප්‍රදේශය, ජනරජ ගොඩනැඟිල්ල හා ජනරජ චතුරශ්‍රය
ලෙස යලි නම්කැර තිබේ.]
පෙර 1871 කාලය වනවිට බෙහෙවින් ජනාවාසවූ කොළඹ නගරය තුල පැරණි ඕලන්ද කොටුවේ ඝනකම් බිත්ති සහිත දිගු උස ප්රාකාරවලින් සමන්විතව තිබූ පළල් බළකොටු තාප්ප නිසා විශාල ඉඩ ප්‍රමාණයක් ඇහිරී තිබිණ.
මීට පිළියමක් වශයෙන් ප්‍රධාන විසඳුමක් ලෙස පෙනීගියේ කොළඹ ඕලන්ද කොටුව කඩා දැමීමයි. මේ තත්වය
නිසා එවක බ්රිතාන්ය ආණ්ඩුකාර හර්ක්යුලස් රොබින්සන් විසින් බ්‍රිතාන්‍යයේ මහ ආණ්ඩුවේද නිර්දේශය ලබා
1872 දී කොළඹ ඕලන්ද කොටුව බිමට සමතලා කලේය. චැතැම් වීදියෙහි තිබූ පැරැණි වෙඩි බෙහෙත් ගබඩාව මෙහිදී නොකැඩූ වග පැවසේ. 1551 පෘතුගීසින් ඉඳිකර, ලන්දේශීන්ගේ පහර දීමෙන් විනාශවී, ඉක්බිතිව ලන්දේසින් යළිගොඩනඟා, ලන්දේශීන්
ඉංගිරිසින්ට යටත්වී භාරදීමනිසා හානියකට පත් නොවී පැවති, කොළඹ ලන්දේසි කොටුවට අත්පත්
ඉරණම මෙය විය. පෘතුගීසින්ගේ සිට අනවරතව වසර තුන්සියයක් පමණ කොළඹ බලකොටුවක් ලෙස පැවැත්ම
සිදුව තිබිණ. කැඩීම සඳහා එක් දහස් හයසියයක කම්කරු පිරිසක් යොදන ලදැයි කියැවේ. මුර අට්ටාල බිඳ හෙළා එහි බිත්ති කොටස් වලින් ඒ ආසන්නයේ පැවතී දිය අගල් ආදිය පිරවූ බවද පැවසේ. කොටුපවුර
බිඳ දමා නගරය පුළුල් කිරීමේදී මනාසේ වැඩී තිබූ රටදෙල් ගස්ද මල් පඳුරු ඈ දේ ඉවත්කොට
මාර්ගයන් වඩාත් පළල් කර එළිපෙහෙලි කෙරිණ. කොටුපවුරේ හා සමහර දොරටු පැවැති ස්ථාන,
කොටස් කිහිපයක් තවමත් නටඹුන් මෙන් ඉතිරිව තිබෙනු දැකිය හැක. වීථි සඳහා යොදා තිබූ
ලන්දේසි නම් වෙනුවට ඉංගිරිසි නම් ආදේශ වීමද මෙහිදී
සිදුවිය. ‘හර්න් ස්ට්‍රාට් (Heern Streat)’ රජ වීදිය වීම එවැන්නකි [පසුව රැජින වීදිය - අද
ජනාධිපති මාවත]. රජගෙදර, ජනරජ
ගොඩනැඟිල්ල, හා මහ තැපැල්හල, පිහිටියේ මෙහිය.
වාණිජ මණ්‌ඩල කාර්යාලය, පොලිස් මූලස්‌ථාන
ගොඩනැඟිල්ල, ට්‍රාන්ස්‌වර්ක්
මන්දිරය රජයේ වැඩ දෙපාර්තමේන්තුව මිනින්දෝරු
දෙපාර්තමේන්තුව,
ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, බ්‍රිස්‌ටල්
හෝටලය, ටෛම්ස් මන්දිරය, ඇතුළු වැදගත් පරිපාලන, දෙපාර්තමේන්තුමය
හා වාණිජ අංශවලට අයත්
ගොඩනැඟිලි පිහිටා තිබූ රෝහල් වීදිය, චැතැම් විදිය, යෝක් වීදිය,
හා බ්‍රිස්‌ටල් වීදිය, කොටුවේ කුමාර වීදිය[දැන් ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත], ආදී වූ වීදි ප්‍රයෝජන
වශයෙනුත්, අලංකාර පෙනුම හේතුවෙනුත් වඩාත් අවධානයට ලක්‌ව තිබුණි
1883 දී මෙරට ආණ්ඩුකාරයා වශයෙන් පැමිණි ආතර් ගෝර්ඩ්න් කොළඹ කොටුව රජගෙදරට නුදුරුව වරාය දෙසින් වන වදුලක් වශයෙන් පැවති අක්කර හතරක් විශාල බිම්කඩ එළිකොට, සකස්කොට මල් වර්ග, ගස් වර්ග, සිටුවා උද්‍යානයක් නිර්මාණය කලේය. ඒ සඳහා ඔහු වැය කළේ තම පෞද්ගලික ධනයයි. 1887 දී පැවති වික්ටෝරියා රැජනගේ ස්වර්ණ ජයන්තියේ දී එය මහජනතාවට විවෘත වූයේ වික්ටෝරියා රැජිනගේ පිළිරුවක්ද සහිතවයි. ගෝර්ඩ්න් උද්‍යානය මෙයයි. (පසුකාලීනව වික්ටෝරියා පිළිරුව ඉවත් කරන ලදී.)
කොළඹ කොටුව
නව පහන් ටැඹ (ගල්බොක්ක ප්‍රදීපාගාරය) ඉදිකරණ ලද්දේ මුහුදු ඉමේ දැනට නටබුන්ව පවතින
එකල ආණ්ඩුකාරවරයාගේ නාන තටාකය (Governor’s
Barth) පවත්නා
ස්ථානය අද්දරය. මේ තැනින් බටහිරින් මුහුද ගොඩකර අද වරාය නගරය වෙයි.
දැක්වූ පරිදි කොළඹ කොටුවේ, වරායට අදාල කොටස්, හමුදා කාර්යාල හා ගොඩනැඟිලි, ආණ්ඩුවේ කාර්යාල, පැවැතියේය. කොළඹදී ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රය මුලින්ම ප්‍රකාශයට පත්කරණු ලැබූයේ 1802 අවුරුද්දේදීය. මුලදී මෙහි ආණ්ඩුවේ දැනුම්දීම් මෙන්ම වෙනත් ලිපිද ප්‍රමාණයක් ඇතුලත්ව තිබිණි. ලංකාවේ ඇරැඹි මුල්ම පුවත්පත වන්නේ 1832දී පලවූ ‘ද කළම්බු ජර්නල්’’ ඉංග්‍රීසි පත්තරයයි. පළමු නිදහස් මතධාරි පුවත්පත ‘ද ඔබ්සර්වර් ඇන්ඞ් කොමර්ෂල් ඇඞ්වර්ටයිසර්’1834පෙබරවාරි 04 නිකුත්විය. පුවත්පත් ආයතනයක් ලෙස කොළඹ කොටුවේ ටයිම්ස් ඔෆ් සිලෝන් ගොඩනැගිල්ල ඉඳිකෙරුණු අතර 1846දී එනමින් ඉංග්‍රීසි පුවත්පත පලකෙරිණ. ලංකාණ්ඩුවේ ලියාපදිංචි පළමු හා පැරණිතම සිංහල පත්‍රය වන්නේ1862 සැප්තැම්බර් 11පළවූ ‘ලක්මිණි පහණ’යි. 'දිනමිණ' පත්‍රය 1909 දෙසැම්බර් 17 එච්. එස්. පෙරේරාගේ කතෲත්වයෙන් නිකුත් විය. ලේක්හවුස් ගොඩනැගිල්ල ඉඳිවූයේ මින් කළකට පසුවය.
1862 කාලයේදී
ඇරැඹි, ඩබ්ලිව්.එල්.එච්.ස්කීන්, ප්ලාටේ, කොලෝනියල්ඵොටෝග්‍රැඵි, ඇපොතිකරිස්,
ජොනතන්ස්, චාල්ස් ටී ස්කොවන්, ඇතුලු ඡායාරූපාගාර ඒ යුගයේ සිට පැවැති අතර, ඒවා විසින් හා මගින් ලබාගත් ඡායාරූප,
අද අපට දක්නට ලැබෙන බොහෝ පැරණි ඡායාරූප අතර වේ.
කොළඹ - මහනුවර අශ්ව කෝච්චි සේවය 1832දී ඇරැඹින. කොළඹ සිට මහනුවර දක්වා තැපැල්මලු එකතු කිරීම හා බෙදීම මෙහි මූලික කාර්යය විය. [ආසියාතික රටක තැපැල් කටයුතු පිණිස රථයක් මුලින්ම යෙදූ අවස්ථාව මෙයසේ සැලකේ.] 1858 ජනවාරි මස පළමුවනදා වනවිට කොළඹ නගරය සහ ගාල්ල නගරය යා කරමින් ලංකාවේ පළමු ටෙලෙග්රාෆ් සන්නිවේදන රැහැන් පද්ධතිය අදිනු ලැබ තිබුනි. පළමුවරට විදුලි පුවතක් කොළඹ සිට ගාල්ලට යවනු ලැබ ඇත්තේ 1858 ජනවාරි 01 වැනිදාය. ජෝර්ජ් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයාගේ කාලයේ රජගෙදර කොටසක පටන්ගත් මහ තැපැල් කාර්යාලයය සඳහා රජගෙදර ඉදිරිපස පවත්නා මධ්‍යම තැපැල් ගොඩනැඟිල්ල වර්ෂ 1895 දී ඉඳිකැර තිබේ (මීට යෙදූ පැහැයන් දෙකකින් යුත් කලුගල් පාරුමඟින් ගෙනෙනු ලැබූයේ රත්නපුරයෙන් හා රුවන්වැල්ලෙනි ). [2001දී මෙහි කටයුතු පිටතට ගෙනයනු ලැබීය.]
ඉන්දියානු යටත් විජිත ආණ්ඩුව භාරයේ තිබූ දුරකථන පාලනය 1880 ජූලිමස 01 වැනිදා ලංකා යටත් විජිත ආණ්ඩුවට පැවරුනි. මේ අනුව ඉංග්‍රීසි දුරකථන කාර්මිකයෙකු සේවයට යොදවමින්, දුරකථන දෙපාර්තමේන්තුව තැපැල්පති යටතේ පාලනයට නතු කෙරිණ. කොටුව කෝපි ව්‍යාපාරික සමාගමක්වූ ඇල්ස්ටන් ස්කොට් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ සිට සැතපුම් දෙක හමාරක් ඔබ්බෙන් පිහිටා තිබූ සිය කෝපි ගබඩාවට දුරකථන ඇමතුමක් ලබාදීම විදුලි බලය උපයෝගී කරගත් මෙරට මුල්ම ක්‍රියාකාරී දුරඇමතුම ලෙස වාර්තාවේ. විසි වන සියවස මුල් කාර්තුවේදී කොළඹ කොටුවේ පිහිටුවා තිබූ මෙරට විදුලි සංදේශ පද්ධතියට එංගලන්තයේ සිට ඉන්දීය සාගරයෙහි එලන ලද රැහැන ඔස්සේ කේබල් ටෙලිග්‍රාෆ් පණිවුඩ හුවමාරු සම්බන්ධතාවය [සමූද්‍ර රැහැන ගොඩබිමට සම්බන්ධවූයේ ගල්කිස්සෙනි.] ලැබීමත් සමඟ ජාත්‍යන්තර සන්නිවේදන කටයුතු විධිමත්වීම සිදුවිය. විද්‍යුත් සංදේශ කටයුතු සඳහා භාවිතය අරමුණුකර ගනිමින් කුරුඳුවත්තෙහි ගොඩනැඟිල්ලක් ඉඳිකරණලද මුත්, අනතුරුව තැපැල් කාර්යාලය ලෙස යොදාගනු ලැබිණ.
විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙහි ඉංජිනේරුවන්
විසින් සකසන ලද සම්ප්රේෂකයක ආධාරයෙන්, කොළඹින්
කථා කරමි ‘කොළඹ ගුවන්විදුලිය’ යන නාමයෙන්, ලංකා විදුලි සංදේශ කාර්යාලයයෙහි වූ කුඩා
කාමරයක සිට, පර්යේෂණ පදනමින් වූ ප්‍රථම සම්ප්රේෂණය 1923 දී සිදු කර, ග්රැමෆෝන්
සංගීතය විසුරුවා හරිමින්, 1925 දී ආරම්භ කරන ලද, අද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
දකුණු ආසියාවේ ඇති පැරණිම ගුවන් විදුලි ආයතනය වන අතර, මුල් කාලයේදී රේඩියෝ සිලෝන්
ලෙස හැඳින්වීය. අන්තර්ජාතික ගුවන් විදුලි සම්ප්රේෂණ ඉතිහාසය තුල, ගුවන් විදුලි
සම්ප්රේෂණ සම්ප්රාප්තිය අනුව මහා බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය
යන රටවල් සමඟ ශ්‍රී ලංකාව සමතත්ත්වයෙහි ලා සලකනුයේ ගුවන් විදුලි සම්ප්රේෂණ ලෝකයේ
පෙරමුණ ගත් රටක් වශයෙනි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් සාමිවරයා 1925 වසරේ
දෙසැම්බර් 16 වැනිදා ප්‍රථම
වරට කලම්බෝ රේඩියෝවෙන් ජාතිය අමතා කතා කලේය. මධ්‍යමතරංග හා කෙටිතරංග සංඛ්‍යාත
(විස්තාර මූර්ජනයන්) ඔස්සේ මෙහි සේවාවන් ලොව පුරා විසුරුවා හැරින. [දෙවන ලෝක යුදසමයේ ඉන්දියාව,
බුරුමය, රටවල් කරා ලංකා ගුවන් විදුලිය යොදාගනිමින් කොළඹ සිට විකාශනයන් කිරීම
සිදුවිය. එවරස්ට් මුදුන ප්‍රථම වරට තරණයකළ සර් එඩ්මන්ඩ් හිලරිහට එහිදී මුලින්ම ශ්‍රවනයකළ
හැකිවූයේ ලංකා ගුවන්විදුලියටයි]. මුල්කාලයේ කොටාපාරේ
පවත්වා ගෙන යන ලද ආයතනය 1950දී බෞඬාලෝකමාවතට ගෙන එනු ලැබීය. අමතරව 50 දශකයේ අග
භාගයේ සිට 60 දශකයතුල ගුවන්විදුලියෙන් විකාශනයවන වැඩසටහන් සිලෝන්රෙඩිෆියුෂන් නමැති
සමාගමක් මිලටගෙන රැහැන් ඔස්සේ කොළඹ හා තදාසන්න නගර ප්‍රදේශකරා විසුරුවා හරිනු ලැබ
ජනප්‍රිය තත්වයට පත්විය.
ඛාන් ඔරලෝසුකණුව කොටුව සිට පිටකොටුවට ඇතුළුවන ප්‍රවේශයක පිහිටුවා තිබේ. කොළඹ තෙල්මෝල් හිමි ව්‍යාපාරිකයෙක්ව මියගිය පර්සියන්ජාතික ප්‍රේම්ජී බිඛාන්ජී ඛාන් වෙනුවෙන් ඔහුගේ පුතුන් විසින් 1923 වසරේදී නිමවා ඇති මෙය සිව්මහල් ගොඩනැගිල්ලක උසකින් යුතුය.
බේරේ සිට කයිමන්දොරකඩ අසලින් ගොස් මුහුදට
සම්බන්ධව තිබූ සාන්ත ජෝන් ඇළ ගොඩ කරණ ලද අතර, ඉක්බිතිව එහි හතරවැනි හරස්වීදිය සහ පස්වැනි
හරස්වීදියත්, එම උතුරු පැත්ත කෙළින්වීදියත් මුහුදත් අතර ගොඩකළ කොටසේ සාන්ත ජෝන් වීදිය
සහිත ඉඩකඩත් සැකසුනි. පිටකොටුවේ නගර ශාලාව මෙම පස්වැනි හරස්වීදිය, කෙළින්වීදියට සම්බන්ධවන ස්ථානයේ
ඉදිකිරීමට කටයුතු කෙරිණ. 1866 පිහිටවූ කොළඹ මහානගර සභාව දිවයිනෙහි ප්‍රථම නගරසභාව වේ. මේ සඳහා මුලින්ම 1873 ඉඳිවූ නගර
ශාලාව පිටකොටුවේ ඇති පැරණි නගර ශාලාව වශයෙන් හඳුන්වන ගොඩනැඟිල්ලයි. [මෙය අද නගරසභා
ඉතිහාස කෞතුකාගාරයයි.] මෙහි පසුපස ශාලාව එඩින්බරෝ
නොහොත් බැසට් වෙළෙඳපොලයි. සාන්තජෝන් මාළූ වෙළෙඳසැල 1893දී ඉඳිකෙරිණ. විහාර මහාදේවී උද්‍යානය අභිමුඛයේ වත්මන් නගර ශාලාව(පුරහල) ඉඳිකැර විවෘත
කෙරුණේ 1928 දීය.
කොළඹ පරිපාලන ලේකම් කාර්යාලය දඹ වීදිය හෙවත් වේල්ලවීදියේ විවෘත කෙරුණේ 1929දීය. කොළඹ කච්චේරිය ලෙස ප්‍රකටවූ මෙම ස්ථානයේ පරිපාලන රාජකාරි මෙන්ම, ඕලන්ද යුගයේ සිට පවත්වාගෙන ආ ලියකියවිලි හා කටයුතුද, මහජන සේවාවන්ද, ඉටුකරණු ලැබීය. මෙහි කොළඹ කච්චේරිය ලෙස පොලිස් ස්ථානයක්ද පිහිටවනු ලැබ තිබිණ. දැන් වේල්ලවීදිය පොලිසිය බවට පත්ව තිබෙනුයේ මෙම කච්චේරි පොලිසියයි. [කොළඹ කච්චේරියෙහි මුල් දෙමහල් ගොඩනැඟිල්ල 2012දී ගින්නෙන් විනාශවිය. අද කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් පවතින්නේ මෙම ස්ථානයයි. 1999දී මින් පාලනයවූ කොළඹ නැගෙනහිරදෙසට සහ දකුණු දෙසට වන ග්‍රාම නිලධාරි කොට්ටාස විස්සක් වෙන්කර තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය පිහිටුවා කාර්යාලය නාරාහේන්පිටට ගෙනයන ලදී. කොළඹ දිසා ලේකම් කාර්යාලයද නාරාහේන්පිට ස්ථාපනය කෙරිණ.]
1815-1850 කාලයේ පිටකොටුව මහා වෙළෙඳ මධ්‍යස්ථානයක්
නොවූවද, රජයේ සේවකයින්, හා විදේශීය වෙළෙඳුන්ගේත්,
සිංහලයින් කුඩා
පිරිසකගේත්, ජනාවාසයක් විය. (1895 වන විටද පිටකොටුව ස්වදේශිකයන්ගේ
මූලස්ථානයක්ව පැවති බවද, පිටකොටුවේ කඩසාප්පු බොහොමයක් පොල් අතු මඩු බවත් භාණ්ඩතබා
තිබුණේ එළිමහනේ බවද මහාචාර්ය ගයිගර් සඳහන් කර තිබේ.) වෙළෙඳාම
තවදුරටත් පුළුල් වෙමින් පැවැති මේ කාලය වන විට, ප්රදේශයේ පැවතියේ සිංහලයන්ට අමතරව, මළබාර(දෙමළ), මුස්ලිම්, අරාබි, පාර්සි, පට්ටානි(ඇෆ්ගන්), බෝරා, බර්ගර්, කාපිරි, හෙට්ටි, පරවර, මුක්කර, කොච්චි(මලයාලි), ජා, මැලේ, චීන, මාලදිවයින් ආදී සංක්‍රමණික
ජනයා බහුල පරිසරයකි. පිටකොටුවට
උතුරින් පිහිටි කොටහේන නම් ප්‍රදේශයට අයත් භූමි ප්‍රමාණය අක්කර 1649කි. මරදාන ප්‍රදේශයේ
භූමි ප්‍රමාණය අක්කර 1297 කි. සන්තබස්තියම ප්‍රදේශය අක්කර 116 ක් විය. ශාන්ත පාවුළු ප්‍රදේශය අක්කර 143කි. අලුත්කඩේ(NewBazaar) ප්‍රදේශය
අක්කර 289 කි.
වඩු කාර්මිකයෝද, පට්ටල්කරුවෝද, කාර්මික
ශිල්පීහු ද, මුතු මැණික්ද වෙළෙඳාමේ නියුතු වෙළෙන්දෝ මැලිබන් වීදිය හා
කෙයිසර් වීදිය යන ප්‍රදේශ වල වාසය කළහ. බඩල් වීදිය(Black smith st.), මස්කඩ වීදිය(Butcher st.), හෙවත් පසුව අලකඩ වීදිය, පනික්කි වීදිය(Barber st.), සෙක්කු වීදිය(Chekku st.), ඔයිල්මන් වීදිය(Oilman st.), පිත්තල කර්‍මාන්ත වීදිය(Brassfounder st.), ආදිය ඒ ඒ වෙළෙඳාම්, කර්මාන්ත සහ සේවා සපයන වෙළෙඳ ස්ථාන පිහිටිම අනුව භාවිතා වූ නම් ය. කුරුවේ වීදිය අලි ඇතුන් බැඳ තබන ලද වීදියයි. ලැස්කරීන් වීදිය(Lascoreen st.), රයිෆල් වීදිය(Rifle st.), හමුදා සේවා වාසස්ථාන විය. පිටකොටුවෙහි දකුණු
ඉන්දියාවෙන් පැමිණි චෙට්ටියාර්වරුන්ගේ පොලියට මුදල් ලබාදෙන කාර්යාල පිහිටා තිබුණේ
හෙට්ටි වීදියේය. කොච්චිකඩේ, මෙන්ම පැරණි යෝන් වීදිය, අලුත් යෝන්
වීදිය, අලුත් හෙට්ටි
වීදිය, මැලේ වීදිය, ජාවා ලේන්, ජාවත්ත, කාපිරි පටුමඟ(දැන් කීර්ති පටුමඟ),
කාපිරිමුඩුක්කුව(මෙහි කාපිරි
ජාතිකයින් අප්‍රිකාවේ මොසැම්බික් රටෙන් ගෙනෙනු ලැබූ බව පැවසේ), යන වීදි සහ වතු
ආදී නාමයන්ගෙන් පැහැදිලි වන්නේ ඒ ඒ ජාතින් එම ස්ථාන වල විසූ බවයි. හිල් වීදිය, නිල් වීදිය, කුරුවේ වීදිය, මසංගස් වීදිය, ජම්බුගස්වීදිය
කෙහෙල්වත්ත, සිංහලයන්ගේ පදිංචි ප්‍රදේශ විය. මුදලිවරු වාසය කලේ
ආදුරුප්පු වීදියේ ය. ඇහැලේපොළ නිලමේ කොළඹ පැමිණි විට වාසය කළේ ආදුරුප්පු වීදිය
ආසන්න බඩල් වීදියෙහි පිහිටි නිවාසයෙහි ය. ජේම්ස් ද අල්විස්, ක්‍රිස්ටෝපර්
ඔබේසේකර, උඩුගහ මුදලි බණ්ඩාරනායක (අගමැති බණ්ඩාරනායකගේ පියා, - වාසයකළ අංක42වලව්ව 1946දී විකුණා රොස්මිඩ්පෙදෙසේ අංක65 ටින්ටගෙල්මන්දිරය ඉඩම පසුව මිලට
ගන්නා ලදී), යන අයද වාසය
කර ඇත්තේ මෙම
වීදියෙහිය.
අමෙරිකානු ජාතිකයෙක් වූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා විසින් පිහිටුවාලූ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ මූලස්ථානය වූයේ නොරිස්පාර(ඕල්කට් මාවත)ට උතුරු දෙසින්, මැලිබන් වීදිය අතර, එකළ සැල්වේෂන් වත්ත නම්වූ ඉඩමේ පිහිටි වර්ෂ 1880-85 අතර ඉදිව තිබූ ව්‍යාපාරික සී.දොන් බස්තියන් ජයවීර බණ්ඩාරට අයත් සොල්දර නිවසයි. දෙවැනි හරස්වීදියෙන් ද මෙම ස්ථානයට ළඟා විය හැකි විය. එවක ඕල්කට්තුමන් වාසයකර ඇත්තේද මෙහිය. මෙම නිවාස ගොඩනැගිල්ලෙහි උඩු මහල දැව සොල්දරයක් ලෙස නිමවා තිබී ඇත. ඊට ප්‍රවේශ වීමට වූයේ දැවමය පියගැටපෙළකි. පසු කලෙක ‘පිටකොටුව ඉංග්‍රීසි බෞද්ධ පාසල’ ආරම්භ කළේ මෙහි උඩුමහලේ ය. [ළමයින් 20 කගෙන් ආරම්භ වූ පාසල පසුව ‘කොළඹ ආනන්ද ශාස්ත්‍ර ශාලාව (විද්‍යාලය)’ නමින් සැම්සන් ද ආබෲ රාජපක්ෂ මුදලිතුමා ලබාදුන් මරදානේ වාඩියවත්ත හෙවත් පරණවාඩිය ඉඩමෙහි ස්ථාපනය විය.] පාඨශාලාව පවත්වා ගෙන ගිය විසල් ශාලා කාමරය හැර පහත මහලේ ඊට කුඩා කාමර සමාගමේ මුද්‍රණාලය ලෙස භාවිත විය. ‘සරසවිසඳරැස’ සිංහල පුවත්පත 1880 මින් බිහිවිය. වර්ෂ 1929 දී පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ හා අවට ප්‍රදේශ වාසීන්ගේ ආගමික කටයුතු සඳහා ‘බෞද්ධ මන්දිරය’ නමින් මහල් ගොඩනැගිල්ලක් මෙයට ම ඈඳා ඉදි විය.
බෝධිය, පිටකොටුව දුම්රියපොළ (පෙර පැවැති), සහ පිලිප් නේරි දේවස්ථානය, වම් පසින් බේරේ ජලාශය, කොටුව දෙසට දුම්රිය මාර්ගය සහ ඊට දකුණු පසින් නොරිස් පාර (දැන්-ඕල්කට් මාවත) හි ද්විත්ව ට්‍රෑම් රථ මාර්ගයත් මෙහි පෙනෙයි.
ඉංගිරිසින්ගේ මුල්කාලය වනවිට ගාලුමුවදොර ප්‍රදේශයද පැවැතී ඇත්තේ කැලෑබද, පඳුරු සහිත, දකුණු දිග යායට පැතිරි තැනිතලා භූමියක් වශයෙනි. ‘මෙහි දකුණු දිශාවෙන් ශ්‍රී පාද කන්ද නොහොත් ආදම් ගේ කඳු මුදුන පෙනෙයි. කොළඹ වැව ලෙසින් හඳුන්වනු ලබන නිහඬ නිශ්චල ජලාශය ඇත්තේ කොම්පඤ්ඤවීදිය පැත්තෙනි. මේ පෙදෙසේ අතරින් පතර ඇති නිවාස හා මන්දිර මනස්කාන්තය. ඉඳහිට දක්නට ලැබෙනා දෙල් ගස් මෙන්ම පොල් ගස් ද මෙතැනට ගෙන එන්නේ ඉතා සුන්දර බවකි. පසෙකින් සරඹ හා අවිපුහුණුව කරනා සෙබළ කන්ඩායම් දැකිය හැකිය. මේ තුල මාවතේ ගමන් කරනා බක්කි කරත්ත සමූහයන් අති මහත් අලංකාරයක් ගෙන දේ යැයි’ එකළ ලේඛකයන් වර්ණනාකර තිබේ. ගාලුමුවදොරපිටියේ වම්පස කෙළවර සුදු ජාතිකයින්ගේ සොහොන් පිටිය පිහිටා තිබුණි. ලැස්කිරිඤ්ඤ හමුදාවේ ආරක්ෂාව ලත් ඉංග්‍රීසි සහ ලන්දේසි ජාතිකයිගේ සුසානභූමිය ඝන උණ පඳුරු පෙල වැටකින් හා බඩවැටියකින් වෙන්ව විය.
1803 ජනවාරි මසදී ඉංග්‍රීසි හමුදාව විසින් කන්ද උඩරට රාජ්‍යය ආක්‍රමණයකළ නමුදු, ඉංග්‍රීසි හමුදාව පරාජයකරවිශාල හානියක් කිරීමට උඩරට රාජ්‍යය සමත්විය. (මෙම පරාජය ආණ්ඩුකාර පෙඩ්රික් නෝත්ගේ නාස්තිකාර සැළසුමක් ලෙස පිළිගැනුනි. 1805දී තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා වශයෙන් පත්කර එවීය.) යුද්ධයෙන් ඉංග්‍රීසීන් විශාල ප්‍රමාණයක් මළ අතර, පසුබසින හමුදාව මැලේරියාවට ගොදුරුවීමෙන්, තවත් විශාල පිරිසක් මිය ගියහ. මැලේරියාවෙන් මියගිය භටයන් මිහිදන් කිරීමට පැවැති සොහොන්පිටිය ඉඩ මදිවූ නිසා දැන් ගාලුමුවදොරපිටිය පිහිටා ඇති ප්‍රදේශය මළ සිරුරු වැලලීමට යොදා ගනු ලැබීය. එහෙත් පසුව ගාලුමුවදොරපිටිය (Galle face Esplanade) සකස්කිරීමට එමසොහොන් හාරා ශේෂ ගෙනගොස් කොළඹ කනත්තේ තැන්පත් කරණ ලදී. බොරැල්ල 'යුධ සුසානය' මෙයයි.
1828දී එඩ්වඩ් බාන්ස් ඉංගිරිසි ආණ්ඩුකාරයා විසින් මේ ප්‍රදේශය තුරඟ තරඟ පැවැත්වීමට පිටියක් සේ සකසන ලදී. හොඳින් පස් පුරවා මට්ටම් කර අසුන් එලවීම පිණිස සැතපුම් එකයි කාලක් දිග ධාවන පථයක් මෙහි නිර්මාණය විය. මෙය හඳුන්වනු ලැබූයේ කොල්ලුපිටිය තුරඟ තරඟපිටිය වශයෙනි. ක්‍රීඩා මණ්ඩපය ගඩොලින් තනනු ලැබූ අතර පොල් අතු සෙවිලි කර තිබිණ. රේස් කෝස් බංගලාව ලෙස හැඳින්වූ මෙය පසු කලෙක Colombo Club House (1871) ලෙස භාවිතා වුණි. [ටාජ්සමුද්‍ර හෝටලය අද මෙම ස්ථානයේ පිහිටා ඇත.] අශ්ව ධාවන තරඟ ඇරැඹූයේ එම Colombo Club House නම් ගොඩනැඟිල්ල ඉදිරිපිටිනි.
ගාලුමුවදොර තෘණ තලාවේ සිට කොළඹ කොටුව දෙස පෙනුනු අයුරු ජෝන් ඩෙෂොම්ස්ගේ චිත්‍රයක්.
ඉක්බිතිව 1850දී ගාලුමුවදොර පැවැති තුරඟ තරඟ පිටිය කුරුඳුවත්තේ කොටසකට ගෙන ගියෙන්, 1856දී ආණ්ඩුකාර ජෝර්ජ් හෙන්ඩ්‍රි වෝර්ඩ් විසින් කොළඹ වෙසෙන කාන්තාවන්ගේ සහ දරුවන්ගේ විවේකය සහ විනෝදාස්වාදය උදෙසා මහජනඋද්‍යානයක් ලෙස ගාලුමුවදොර තෘණපලස(Galle face Green) සකස් කිරීමට කටයුතු කර 1859දී නිම කලේය. මීට දකුණු කෙළවරේවූයේ හමුදා සහකාර නිලධාරියකුගේ නිවාසයකි. පසුව ගාලුමුවදොර හෝටලයවූයේ එයයි. ඇරැඹියේ 1864දීය.
පොදුවේ ගත් කල පළමු ලෝක යුද්ධය යුරෝපාකරයේ සිදුවුවද, එම කාලයේදී බ්‍රිතාන්‍යයේ පැවැති පසුබිම හා ආර්ථික බලපෑම් නිසා කොළඹ නගරය, නගරයක් වශයෙන් දියුණුවට සිදුවියයුතු සැලසුම්, ක්‍රියාත්මකවීම් නිසි පරිදි ඉටුනොවීය. මෙම යුද්ධය බ්‍රිතාන්‍ය පාර්ශවය ජයග්‍රහණය කලෙන්, ඉක්බිතිව ඒ සමරනුවස් ස්මාරක කුළුණක් ගාලුමුවදොර ඉඳිකරණ ලදී.[මෙම කුළුණ දෙවන ලෝක යුදසමයේ ආරක්ෂක හේතුමත ගලවනු ලැබ පසුව ජාතික පුස්තකාලය අසල සවිකෙරිණ.]
කොළඹ කොටුව හෝරා ප්‍රදීප ස්ථම්භයෙහි සිට කොම්පොඤ්ඤ වීදිය හා ගාලුමුවදොර දෙස පෙනුනු අයුරු.
ලන්දේසි යුගයේ හා ඉංග්‍රීසීන්ගේ
පාලනයේ මුල් කාලයේදී කොළඹවිල හෙවත් බේරේ වැව දැනට වඩා විශාල වූ අතර එය කොම්පඤ්ඤවීදියෙහි
තුල හයිඩ් පිටිය, වොක්ෂෝල් වීදිය, ඩාලි පාර ආදී
මාවත් ආසන්නයට පැමිණ තිබිණ. බ්‍රිතාන්‍යයන් ලංකාවේ පලමු උද්භිද උද්‍යානය 'කිව් ගාඩන්ස්'
නමින් මෙහි ඊසාන කොටසේ පිහිටුවන ලදී. (1843දී කොළඹ කිව්
ගාඩන්ස් උද්‍යානයෙන් ගෙන ගිය පැල රෝපණය කරමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය
නිළවශයෙන් ස්ථාපනය කෙරිණ.) මෙම බිම් ප්‍රදේශයේ වූයේ ඉතා අඩු ජනගහණයකි. දහනවවන
සියවස අගවනවිට භූමි ප්‍රමාණය අක්කර 313 ක්වූ මෙය සංවර්ධනයට
යොමුවන්නට පටන් ගැනින. කොම්පඤ්ඤ වීදියට කොටුවෙන් මාර්‍ග සම්බන්ධයක් හා ඉබ්බන්වල
දෙසින් යූනියන් පෙදෙස මීට සම්බන්ධ ප්‍රධාන පාරක් විය. ලිප්ටන් තේ කොළ අසුරන කර්මාන්ත ශාලාව
ආදිය පිහිටියේ මේ කොටසෙහිය. ඊට අමතරව ඉංජිනේරු කර්මාන්ත ශාලා,
මිනිරන් ගබඩා ආදිය හා කළම්බු අයිස් කම්පැනි(පසුව සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් හෙවත් එලිඵන්ට්හවුස්) වැනි නිෂ්පාදන ව්‍යාපාරික ස්ථාන ද මෙහි ස්ථාපිත කෙරින.
ගාලු මුවදොරින් දකුණට විහිදුණු කොල්ලුපිටිය නමින්
හැඳින්වූ ප්‍රදේශයහි භූමි ප්‍රමාණය අක්කර 2000කි. පෙර ලන්දේසි යුගයේ
අඹන්වෙලරාල වැවූ කොළඹ පොල්වත්තෙන්
කුරුඳු ද සහිත අක්කර 125ක් ව්‍යාපාරික
චාල්ස් එඩ්වඩ් ලයාඩ් මිලට ගෙන ‘බගතලේ’වලව්ව ලෙස ගෘහයක් ඉඳිකර තිබිණ. ('Bagatelle' නම් බිලියඩ් ආකාරයේ ඉතාලි ක්‍රීඩාව සඳහා ක්‍රීඩාශාලාවක් මෙහි වූ හෙයින් මෙසේ නම් කල වග පැවසේ.) පසුව එය මිලටගත් මොරටුවේ ජෙරෝනිස් ද සොයිසාගෙන්, ඔහු පුත් ඉඩම්හිමි
වැවිලිකරු චාල්ස් හෙන්රි ද සොයිසා වෙත
පසුකාලීනව හිමිවූ අතර, මෙම යුගයේ ඉහලම ධනවතෙකු හා එංගලන්තසභා කිතුනුවකුවූ හේ, බ්‍රිතාන්‍ය
රජපවුල සමඟද සමීප සබඳතා පැවැත්වූ වෙකි. බගතලේ ඉඩමේ ඉඳිකළ ‘ඇල්ෆ්‍රඩ්හවුස්’ ඔහු
විසින් නිමවූ කාමර සියයකින් යුත් මහා මන්දිරයයි. [ඩුප්ලිකේෂන් පාර සෑදීම
පිණිස මෙහි ගෙඋයනේ භූමියෙන් කොටසක් යොදාගත් අතර මන්දිරය ගරාවැටීමට ලක්ව 1980 කාලයේදී කඩා
ඉවත්කරණ ලදී බගතලේ, ඇල්ෆ්‍රඩ්හවුස්, චාල්ස්, නම් සහිත මාර්‍ග
හා පෙදෙස් මෙම මුල් ඉඩම සීමාව තුල පසුව
සැකැසිණ.] දහනවවන සියවස මුල්කාලයේදී(1805) පොල්වත්තෙන්
බෙදුනු අක්කර හයක භූමියක්තුල ඉඳි කෙරුණු De Brandery(බ්‍රැන්ඩරි)
ලෙස හඳුන්වනු ලැබූ ගොඬනැඟිල්ල පශ්චාත් හිමිකරුවන් අතින් නවීකරණය වෙමින්1856දී ‘Temple
Trees
(අරලියගහමැඳුර)’ ලෙස හැඳින්වීමට යෙදින. මෙය 1903දී ආණ්ඩුවට පවරා ගන්නාලදී. යටත්විජිත ලේකම්වරයාගේ නිවස සේ ප්‍රයෝජනයට ගෙන ඇති මේ මන්දිරය, 1948 නිදහසින් පසු
අග්‍රාමාත්‍ය නිල නිවාසය වශයෙන් භාවිතයට ගැනුනි.
කැලෑ රොදවල් ද
සහිත කුරුඳු වවා තිබූ භූමියක්වූ, කොළඹ කුරුඳුවත්ත පිළිබඳව එමර්සන් ටෙනන්ට්, ජෝන් ඩේවි, ගයිගර් වැනි
රචකයින් ගණනාවක් සිය පොත්වල සටහන් කොට තිබේ. කොළඹ කුරුඳුවත්ත 1833 පමණ කාලය
වනවිට වල්වැදී තිබූ අතර, ඉන්පසු කොටස් බෙදී විකිණී ගොස් ඇත. කුරුඳුවත්ත
මිලටගත් චාල්ස් හෙන්රි ද සොයිසා දේපලින් පසුකාලීනව බලපිටිය මහාකප්පින වලව්වේ
රාජපක්ෂ පවුලට හිමිව තිබිණ. මේ කුරුඳුවත්ත
නැගෙනහිර දෙසට වන්නට කොටසක් ‘කූඹිකැලේ’
ලෙස අධ්‍යහාරයේ විය.
බොරැල්ල සුසානභූමිය ලෙස 1866 කාලයේ වෙන්වූ කනත්තවත්ත නම්වූ අක්කර පනහක බිමද, ඊට ආසන්න කපුහේන්තුඩුව(ආදර්ශ ගොවිපල) කිතුල්වත්ත, රිජ්වේ
ගොල්ෆ් ක්‍රීඩාංගනය(1928න් පසු රෝයල් නම්වූ) ඉඩමද කූඹිකැලේ කොටසකි. වෝඩ් පෙදෙස සිට වත්මන් බණ්ඩාරනායක
සම්මන්ත්රණ ශාලාව ප්‍රදේශයද කූඹිකැලේය. එනමුත් එවක වසූරිය(වසංගත
රෝග) රෝහල ඉදිවූ ස්ථානය සඳහා [අද බණ්ඩාරනායක
සම්මන්ත්රණ ශාලාව පවත්නා භූමිය] ‘කූඹිකැලේ’ නම වඩාත් ප්‍රසිද්ධ විය. මානසික රෝහල ගුවන් විදුලි සංස්ථාව අද පවත්වාගෙන
යන ගොඩනැගිලි තුල පැවැතියේ ය.
කුරුඳුවත්ත බෙදීගිය ඉඩම්හි පසුකාලීනව නගරයේ
ධනවතුන්, බලවතුන්, පදිංචි
වූ ප්‍රදේශයක් වශයෙන්ද සැලැකෙයි.
1887දී ලකිසුරු විලියම් හෙන්රි ග්‍රෙගරි විසින් කොළඹ කෞතුකාගාරය විවෘත කරණු ලැබීය. ඉතාලියානු ගෘහ නිර්‍මාණ
සම්ප්‍රදායිකව මෙහි ගොඩනැඟිල්ල නිමවා ඇත.
කුරුඳුවත්තෙන් වෙන් කරණ ලදුව, ‘සර්ක්‍යුලර්
පාර්ක්’
ලෙස හඳුන්වා තිබූ එකළ සුපිරි පාන්තිකයින්හට පමණක් ඇවිදයාමට, ක්‍රීඩා කිරීමට, අශ්වයින් පිට යෑමට අවසර ලබා ඇතුළුවීමට ඉඩදී තිබූ අක්කර සියයක පමණ ප්‍රදේශයක පැතිරුනු බිමකින් යුත්, 1865 දක්වා අතීතය කට දිවයන 1887 වර්ෂයේ දී ‘වික්ටෝරියා පාර්ක්’
ලෙස නැවත නම් කර පොදු භාවිතයට ලබාදුන් උද්‍යානය දෙවන ලෝක මහා සංග්‍රාමය සමයේ දී යුධ කඳවුරක් ලෙසටද භාවිතයට ගැනුනි. උද්‍යානය කෙළවර අනෙක් පසින් ලිප්ටන්
තේ අසුරන කර්මාන්ත ශාලාව විය.[ලිප්ටන් කම්හල
අසලින්ම තිබෙන ද සොයිසා වට රවුමට ‘ලිප්ටන් වටරවුම’ ලෙස ප්‍රකට භාවිතයක් ඇත.] ඇස් රෝහල ,
මහාරෝහල, වෛද්‍ය විද්‍යාලය, රජයේ වෛද්‍ය
සැපයුම් ගොඩනැගිල්ල යන මේවා අද ද දකින්නට තිබේ. දකුණින් තුරඟ තරඟ පිටිය[මෙය නම්වූයේ 'හැව්ලොක් තුරඟ-තරඟ පිටිය' ලෙසය.]ද, පිහිටියේය.
ඉංගිරිසින් විසින් කොටුවේ කුමාර වීදිය(දැන්
බාරොන් ජයතිලක මාවත)හි 1810 සිට 1860 දශකයේ මුල් භාගය තෙක් පවත්වා ගෙන ගිය රෝහල 1864දී වාට්ටු 21ක් සහිතව මරදානේ අද ජාතික රෝහල පවත්නා ස්ථානයට(පෙර කුරුඳු වගාවක් පැවැති අක්කර32ක ඉඩමකට) ගෙනවුත් ස්ථාපිත කරණු ලැබීය.
කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ
වූයේ
1870දීය. මෙහි මුල් ගොඩනැඟිල්ල ඉඩම්හිමි වැවිලිකරු හෙන්රි චාල්ස් ද සොයිසා විසින් පරිත්‍යාග කරණ ලද්දකි. මේ සඳහා අක්කර තුනහමාරක් 1875දී මුදලි සැම්සන් ද ආබෲ රාජපක්ෂයන් පිරිනමනු ලැබීය.
කොළඹ දෙවන හෝරා ස්ථම්භය වෛද්‍ය විද්‍යාලයෙහි දෙවන වරට විදුහල්පතිධූරය
දැරූ එඩ්වින් ලෝසන් කොච් අනුස්මරණය කරමින්
1881දී කිංසි පාර අද්දර ඉඳිකැර තිබේ.
වැවිලිකරුවෙක් සහ පරහිතකාමියෙකු වූ ජෝර්ජ් වෝල් නමැති මහතා, හැව්ලොක් ආණ්ඩුකාරවරයාගේ (ඈන් ග්‍රේස්) ආර්යාව සමඟ සාකච්ඡා කර කාන්තාවන් සහ ළමයින් සඳහා වෙනම රෝහලක් අවශ්‍යතාවය පෙන්වා දුන් අතර, ඊට පරිත්‍යාගශීලීන්ගෙන් අරමුදල් රැස් කිරීම සඳහා වූ කමිටුවක් මෙහෙය වූ හැව්ලොක් ආර්යාව එයින් ලද රුපියල් 46,000 මුදලින් ඇඳන් 50 ක රෝහලක් ඉඳිකිරීමට කටයුතුකලාය. 1896, ඔක්තෝබර් 12 මෙම ‘හැව්ලොක් ආර්යා ආරෝග්‍යශාලාව’, ලීනා රිජ්වේ ආර්යාව විසින් විවෘත කළාය. 1909 පෙබරවාරි 26 ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි එඩ්වඩ් මැකලම්, මෙම භූමියේ ළමුන් සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය. ගොඩනැගිල්ල ඉදිකරනු ලැබුවේ පොදු දායකත්වයන්ගෙන් වන අතර හිටපු ආණ්ඩුකාරවරයාගේ ආර්යාව වූ රිජ්වේ(කැරොලිනා එලන් ලීනා) ආර්යාව මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් රැස් කිරීමේදී කැපවී කටයුතුකළ හෙයින්, 1910 සැප්තැම්බර් 27 වන දින ‘රිජ්වේ ආර්යා ළමා රෝහල’ නමින් නව කොටස චාරිත්‍රානුකූලව විවෘත කිරීම සිදුවිය. [ජනතාව විසින් ‘නෝන වාට්ටුව’ ලෙස හඳුන්වන මෙය අද ලෝකයේ විශාලතම ළමා රෝහලයි.]
|
ද සොයිසා මාතෘ රෝහල. |
කොළඹ ද සොයිසා සූතිකාගාරය
(De
Soysa lying-in-home), හා නයනරෝග්‍ය ශාලාව(Victoria Memorial Eye hospital) ඉඳි කරවා පරිත්‍යාග
කලේ ද දානපති හෙන්රි චාල්ස් ද සොයිසා විසිනි.[නයනාරෝග්‍යශාලාව යාබද ‘ලිප්ටන්’ වටරවුම පිළිරුවද සහිතව ද සොයිසා වට රවුම ලෙස නම් කරණු ලැබූයේ මෙතුමා වෙනුවෙනි.] (මෙතැනම ආසන්නව පිහිටි ජෝර්ජ් වෝල් ස්‌මාරක
ජලමල ඉදිකර ඇත්තේ ඉංගිරිසි පාලන සමයෙහි මෙරටට පැමිණි වැවිලිකරුවෙක් හා පරිත්‍යාගශීලියෙක්
වූ ජෝර්ජ් වෝල් නම්වූ ව්‍යාපාරිකයා සිහිකිරීම සඳහාය. මේ ස්‌මාරකයද වසර සියයකටත් ඉහතදී
ඉඳිකරණ ලද්දකැයි සැලකේ.)
කොළඹ වෛද්‍ය විද්‍යාලය පසුව 1921 වසරේදී සිලෝන් යුනිවර්සිටි කොලේජ්[ලන්ඩන් විශ්ව
විද්‍යාලයෙහි ශාඛාවක් ලෙස] ඇරැඹීමත් සමඟ එහි වෛද්‍ය
පීඨය බවට පත්විය.
මේ ලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ විද්‍යාල මන්දිරයවූයේ රෙජිනා වලව්වයි. හෙන්රි චාල්ස් ද සොයිසාගේ පුතෙකුවූ තෝමස් හෙන්රි ආතර් ද
සොයිසා විසින් බිරිඳ රෙජිනා පෙරේරා නමින්[මෙම ස්ථානයට යාබද දකුණු දෙස මාර්ගය රෙජිනා පාර ලෙස නම්වන්නේද මෙනිසාය.
නමුත් මෙය රැජිනපාර ලෙස වරදවා දැක්වේ.] 1912 ඉදිකල රෙජිනා
වලව්ව
1920දී ආණ්ඩුවට විකුණා දැමීමෙන් පසු ලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ ප්‍රයෝජනයට යොදාගැනිණ.
ජාවත්ත ට නම ලැබුණේ ජා ජාතිකයෙකුට අයත්ව තිබූ ඉඩමක් හේතුවෙන් පට බැඳුනු ජාවගෙ වත්ත යන්න කෙටි වීමෙනි. තෘණ වවා තිබූ මෙම ඉඩමෙන් එකල වරායේ ප්‍රවාහන කටයුතු සඳහා යෙදැවුන ගැල් වල ගොනුන් සඳහා තණ කොළ සැපැයීම සිදුකෙරිණ. දෙවන ලෝක යුද්ධ කාලයත් සමඟම මෙය මෙන්ම මෙවැනි වගා, වෙළෙඳාම්, සේවා, ආදී සියලු ආකාරයේ කටයුතු පසුබෑමට ලක්විය.
කුරුඳුවත්තට දකුණුදෙස තිඹිරිගස්යායයි. මෙය පෙරදී ජලගැලුම්වලට බඳුන්වන පහත්බිම් ස්වභාවයකින් යුතු විය. මෙහි නිරිතදිගව හැව්ලොක්ටවුම පෙදෙසයි. හැව්ලොක් ටවුන් සහ යාබද හැව්ලොක් උද්‍යානය 20වන සියවසේ මුල් වසරවල නිර්මාණය කිරීමට පෙර, මෙම භූමිය නේවාසිකත්වයෙන් බාහිර වූ, කලින් කුරුඳු වගා කර තිබී පසුව රබර් වවන ලද ඉඩමක් වූ අතර, එය බටහිර දෙසට ගාලු පාර දක්වා විහිද තිබිණ. 1890 සිට 1895 දක්වා ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලද ශ්‍රීමත් ආතර් හැව්ලොක්ට ගෞරව කිරීම සඳහා කොළඹ මහ නගර සභාව විසින් හැව්ලොක් ටවුන් සහ හැව්ලොක් උද්‍යානය ලෙස මෙම පෙදෙස නම් කරනු ලැබ, පදිංචිය සඳහා පහසුකම් සපයනු ලැබීය. මේ ඔස්සේ දිවෙන හැව්ලොක් පාර තුන්මුල්ල මංසන්ධියෙන් පටන්ගෙන කිරුළපන ඇළ හරහා වැල්ලවත්තට ඇතුළුව, කොහුවලට යන මාර්ගයේ වැල්ලවත්තේ පාමංකඩ පාලමෙන් අවසන් විය. ඩික්මන් පාර, මෙම හැව්ලොක් පාර හරහා ග්‍රීන්ලන්ඩ් පාරට පිවිසෙන සිව්මංසන්ධිය ශ්‍රී ලංකාවේ පළමු රථවාහන සංඥා පද්ධතිය සවි කරන ලද ස්ථානය වේ. විසිවන සියවස මැද පසුවන තෙක්ද අඩු ජනගහන ස්වභාවයකින් හැව්ලොක් ටවුන් පෙදෙස පැවතුණ අතර, මීට වසර පනහකට පෙර කොළඹ නගරයේ ජීවත් වූ බ්‍රිතාන්‍ය සහ බර්ගර් ප්‍රජාවේ වැඩි පිරිසක් පදිංචිව සිටියේ මෙම හැව්ලොක් ප්‍රදේශයේය. මෙහි ඇරැඹී පසු කාලීනව මහරගමට රැගෙන යන ලද රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලය පිහිටා තිබූ භූමියෙහි, පසුව දෙවන ලෝක යුද්ධ කාලයේදී රාජකීය විද්‍යාලයයේ ප්‍රාථමික අංශය පවත්වාගෙන යනු ලැබීය. අනතුරුව මෙය හැව්ලොක්ටවුන් ජ්‍යෙෂ්ඨ පාඨශාලාව ලෙස හැඳින්විණ. ඉන් පසුව ලුම්බිණි විද්‍යාලය බවට පත්වූයේ මෙයයි. පාසල ඉඩම උතුරු මායිමෙන් වූයේ ස්කෙල්ටන් උද්‍යානයයි. පොලිස් පිටිය, හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය, බී.ආර්.සී. පිටිය, හැව්ලොක්පිටිය, හෙන්රි පේද්‍රිස් ළමා උද්‍යානය, කෝල්ට්ස් පිටිය, ඉසිපතන විද්‍යාල ක්‍රීඩාංගනය, සා. පීතර විද්‍යාල ක්‍රීඩාංගනය, හින්දු විදුහල් ක්‍රීඩාංගනය, ආදී වශයෙන් ක්‍රීඩාංගන බොහෝ ප්‍රමාණයක් මෙහි වීමද විශේෂත්වයකි.
පෘතුගීසින්ගෙන්
පසුව ලන්දේසියුගයේද බම්බලපිටිය මිලාගිරිය කතෝලික, ක්‍රිස්තියානි සංස්කෘතිය
සහිත කලාපයක් විය. පල්ලිය හා සබැඳි මිලාගිරිය පාසල පිළිබඳව මෙන්ම ප්‍රදේශයේ විසූ තෝම්බු
රාජකාරිකළ පරපුර ගැනද, ගජමන්නෝනා මෙම පෙදෙසේ උපන්නියක වගද ප්‍රසිඬය. බම්බලපිටිය
‘නොසෙඤෝරාදොමිලාග්‍රෙස්’ කතෝලික පල්ලිය තිබී ඇති බිමෙහි, ඉංගිරිසි කාලයේ ශාන්ත පාවුළු
ඇංග්ලිකන් දේවස්ථානය හා විදුහල ස්ථාපනය කර ඇත. විසිවන සියවස මුල භාගය දක්වා කොළඹ
නාගරික පන්නයේ ස්වභාවයේ ආරෝපනය පැවතියේ මෙම බම්බලපිටිය දක්වායි. සීමාව අනුව තොටුපොළ රේන්ද ස්ථානයක් පැවැති හෙයින්, කිරුළපොනඇළ පාලම එගොඩ මෙගොඩ වීමේදී, කරත්ත, වාහන, ආදිය වෙනුවෙන් තොටුපොළ පාළම් බද්ද අයකරන
ලදී.
දහනවවන සියවස අග කාලය තෙක්, වැල්ලවත්ත කජු, දං, ඇඹුල්පේර ආදී ඇළබඩ කැලෑ ස්වභාවයෙන් යුත් තුන් පැත්තකින් ඔරු-පාරු ගමන් කෙරෙන පැහැදිලි දියෙන් පිරි ඇළවල් වලින්, හා බටහිරින් මුහුදින් වටවූ, වතුපිටි කුඹුරු පොකුණු වලවල්, සහිතවූ ග්‍රාමීය පෙදෙසක් විය. මේ හරහා මුහුදට සමාන්තර අයුරින් ගාලුපාර වැටී තිබිණ. [මෙහි දැන් දැකිය හැකි මහාමාර්‍ග පෙර කුඩා පාරවල්ය]. බෙලිකටු,ගල්මල් පුළුස්සා හුණු සෑදීම මෙහි වූවන්ගේ පාරම්පරික වෘත්තිය වීය [අදද කුඩා පිරිසක් මෙම ව්‍යාපාරයේ නියැලෙති]. පෙර කාලයේ අසල මුහුදින් අමුද්‍රව්‍ය ලබාගත්තද, පසු කාලීනව කළුතර ප්‍රදේශයේ මුහුදින් ඒවා ලබාගෙන, කළුගඟ බොල්ගොඩ වේරැස්ගඟ ඔස්සේ වැල්ලවත්ත ඇළ තෙක් පාරුවෙන් ගෙන ඒම[ඕලන්ද යුගයේ සිට භාවිතවූ මෙම ඇළමඟින් මොරටුවේ දැව කර්‍මාන්තයද දියුණුවට පත්විය.] සිදු කළහ. කොළඹට දියහුණු, අළුහුණු සැපැයූවෝ ඔවුහුය. වැල්ලවත්තේ, කිරුළපන ඇලෙන් දකුණු දෙසට වන්නට ඉඩම් සහ වර්තමානයේ සැවොයි සිනමා ප්‍රදේශානුගත ගාලු පාරින් බස්නාහිර දෙසට වන භූමිය ජොහාන් ඇඩම් ගවුඩර් නම් බර්ගර් ජාතිකයා හිමි කරගෙන සිටි අතර, එම ඉඩම් හි ව්‍යාපාරික අවස්ථා පුළුල් වෙමින් පැවතියේය. වැල්ලවත්තෙහි පරිසරය ශීඝ්‍ර වෙනස්වීම ඇරඹුනේ දහනවන සියවස අග කාලයේ, මෙහි කිරුළපන ඇළ යාබද අක්කර 15ක්වූ ඉඩමක වැල්ලවත්ත රෙදිමෝල (වැල්ලවත්ත ස්පිනින් ඇන් වීවින් මිල්ස්) පටන් ගැනීමත් සමඟය. [රෙදිමෝල ඇරඹුමත් සමඟ,කොළඹ ග්‍රාමීය පෙදෙසක් ලෙසවූ වැල්ලවත්ත නාගරීකරණයකට ලක්වීමද සිදුවන්නට විය.] මෙහි සේවයට යෙදවූ බොහෝ පිරිස ඉන්දියාවෙන් ගෙන්වාගත් කොච්චි(මලයාලි) හා දෙමල ජාතිකයන්ය. ප්‍රකට ගත්කතුවර ඩබ්ලිව්.ඒ.සිල්වා වැල්ලවත්තේ පදිංචිව සිටි අයෙකි. හැව්ලොක් පාර, වැල්ලවත්තෙන් සන්ධිකර පොල්හේන්ගොඩ ඔස්සේ බේස්ලයින් පාර සබැඳ නුගේගොඩ හරහා 1934 දී සෑදූ නව මාර්ග කොටස ‘ලින්ක් පාර’[පසුව මායා මාවත]විය. මෙය හයිලෙවල් මාර්ගයේ කොටසක් වශයෙන් එකතු විය.
වැල්ලවත්ත නැගෙනහිර ප්‍රදේශය පාමංකඩයි.
කෝට්ටේ සිට කොළඹ කොටුව දෙසට පාගමනින් ආ පැරණි මාර්ගය වූයේ පාමංකඩ ඔස්සේ බව ප්‍රකටය.
ඉන් එහා ග්‍රාමීය සාමාන්‍ය ජන වටපිටාවක් පැවති කිරිල්ලපොනේ, පොල්හේන්ගොඩ, තලකොටුවද සමඟ වැඩි බිම් ප්‍රමාණයක
වූයේ කුඹුරු යායක් ලෙස අස්වද්දනු ලැබ තිබූ පෙදෙසක් ඇතුලත් දෙනිපත්, කැලෑරොදවල්,
සහිත ඇළබඩ වැසිකළට යටවන ඉඩම් සහිත භූමියකි. මෙහි ප්‍රකටම ස්ථානය වූයේ කිරිල්ලපොනේ
දුම්රියපළයි. නවසියහැත්තෑව දශකය අගභාගය වනවිට මෙම ප්‍රදේශය ක්‍රමිකව නාගරීකරණයට ලක්විය.
මාලිගාකන්ද, පහළින් ඛෙත්තාරාම ප්‍රදේශය, මාලිගාවත්ත, හා නැගෙනහිර දෙසින් වූ දෙමටගොඩ, වනාතමුල්ල, වල්ඌරන් අඳුන් දිවියන්, ආදී වනසතුන් සහිත මඬිති, කෙත්, ඉඩම්, බඩවැටි, වලින්, යුත් ඇළමාර්‍ග අතර පැවැති බිම් පෙදෙසකි. මරදාන සිට දෙමටගොඩ මැදින් කොලොන්නාව දෙසට මාර්ගය හරහා බේස්ලයින්පාර සන්ධි විය. දෙමටගොඩ ප්‍රසිඬ ගෝඝාතකාගාරය වූයේද බේස්ලයින්පාරට යාවය. බ්‍රිතාන්‍ය පාලන කාලයතුල ඉදිකළ බේස්ලයින්පාර කොළඹ මාර්ග සංවර්ධනයෙහිලා ගත් වැදගත් පියවරකි. පංචිකාවත්ත සිට මාලිගාවත්ත පාර පසුව සකස් කෙරිණ. මෙහි දුම්රිය අංගනය ඇති වීම ඉක්මන් දියුණුවකට පත්වීමට හේතුවිය. බේස්ලයින් පාර හරහා සිවුමංසල වැටීමත් සමග, කෝට්ටේ දෙසින් පැමිණෙන කරත්ත ගාලක් වශයෙන් දියුණුවූ බොරැල්ල සශ්‍රීක ඉඩම්වලින් යුක්තව තිබූ පෙදෙසකි. වෝර්ඩ් පෙදෙස සන්ධි වීමෙන් පස්මංහන්දියක් බවට පත්විය. කෝට්ටේ දෙසින් බොරැල්ල ඔස්සේ කොළඹට පැමිණෙන කරත්ත, වාහන ආදිය වෙනුවෙන් රේන්ද බද්දක් අයකරන ලදී. මේ මඟෙහි රේන්ද ස්ථානය පැවැතී ඇත්තේ, අද ආයුර්වේද හන්දිය ප්‍රදේශයේය. එනිසා එකළ මෙතැනට ‘රේන්දපොල හන්දිය’ ලෙස හැඳින්වීමක් විය. [මෙහි බදු අයකිරීම 1886 මාර්තු 01 සිට අහෝසි කෙරිණ]. මෙතැන ඇළ කොළඹ නගර සීමාව අවසන් කරයි. හැව්ලොක් ආර්යා ආරෝග්‍යශාලාව ඉක්බිතිව, ‘කොර වාට්ටුව’ ලෙස මහජනයා හැඳින්වූ විකලාංග නේවාසික ඒකකය, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ තවත් ආයතන ඇතිවීමත්, ට්‍රෑම් රථ ගමනාගමනයත් වැඩිදුර සංවර්ධනයට තුඩුදෙනු ලැබිණ. වැලිකඩ බන්ධනාගාරය, කැම්බල්පිටිය, ඕවල්ක්‍රීඩාංගනය,ද ප්‍රදේශයේ ප්‍රසිඬියට තුඩුදුන් ස්ථානයන්ය.කාසල් වීදිය එලෙස නම් වූයේ, මුලදී බ්‍රිතාන්‍ය ප්‍රභූන් එහි වාසය නිසායි. ඉන් උතුරු දෙසට ටිකල් පාර යාවන බිමෙහි මහජනයා ‘කුණු මෝල’ ලෙස හැඳින්වූ කසල නිශ්කාෂණ ස්ථානය විය. කාසල් වීදිය හා බුලර්ස් පාර කැපෙන තැනට එක්වන කපුහේන්තුඩුව පාරද යන පස් මං හන්දිය අසල වූ මහ නුගය හේතුවෙන් ‘නුගගහ ළඟ හන්දිය’ ලෙස හැඳින්වූ ස්ථානයට නැගෙනහිර දෙසින්, දුම්රියමඟ කාසල් වීදිය හරහා යන ස්ථානය දකුණු දෙස මෙම දුම්රිය මඟ නිසා දෙකට වෙන්වී තිබූ වගුර බස්නාහිර පැත්ත ගොඩකර 1953දී දේවී බාලිකාවත්, නැගෙනහිර පැත්ත ගොඩකර කාසල් වීදිය කාන්තා රෝහලත් ඉදිකෙරිණ. මෙම දේවී බාලිකාව පසුපස, අක්කර අටක පමණ වූ කපුහේන්තුඩුව(දැන් ආදර්ශ ගොවිපල ලෙස කියැවෙන) නම් ගම වෙයි.(ගොල්ෆ් පිටිය ඊට පෙර කපු වගා ඉඩමක්ව පැවැතී ඇති හෙයින් ඉන් මුලු ගැන්වී තිබූ බිම කපුහේන්තුඩුව වී ඇත.) මේ ගමට බටහිරින් කොළඹ කනත්තත්, අනෙක් පැති රාජකීය ගොල්ෆ් පිටියෙන්ද වටව පිහිටයි. ගොල්ෆ් පිටියට ප්‍රවේශයද ආදර්ශ ගොවිපල මඟම දිගුවකි. කාසල් වීදිය කාන්තා රෝහල ඉදිකළ ස්ථානයත්, ගොල්ෆ් පිටියත්, දුන්වත්ත නම් ගමත් අතර සැඩොල් කුල ජනයා අද දක්වාත් වසන භූමිය ‘රොඩී ගුබ්බෑයම’(රොඩී කුප්පායම) ලෙස හඳුන්වනු ලැබීය. ගොල්ෆ් පිටිය අනෙක් පසින් වූ කිතුල්වත්ත නම් ගම් ප්‍රදේශයෙහි කොතලාවල පරපුරට අයත් බෝගල පතලෙන් ගෙනෙන මිනිරන් තෝරන වැඩපොලද විය. ‘මිනිරන් මඩුව’ යනුවෙන් එදා හැඳින්වූ මෙහි ජනයා පදිංචි ප්‍රදේශය වත්මනෙහි හඳුන්වනුයේද එනමිනි. කොස්ගස්හන්දිය සිට වැල්ලම්පිටිය හරහා අවිස්සාවේල්ලට දිවෙන පහත් මට්ටම පාර තෙක් පමණක්, කොළඹ බේස්ලයින්පාර උතුරු කෙළවර නිමවී තිබිණ. මේ බේස්ලයින්පාර උතුරු කෙළවර කොලොන්නාවට අයත් ඔරුගොඩවත්ත, වදුල්ල, සේදවත්ත, හරහා පෑලියගොඩට සම්බන්ධවන්නේ 1950 දශකයේදී නවකැලණිපාළම ඉඳිකිරීමත් සමඟය.
නාගලගම කැලණි ගඟ තොටළඟ අද්දර භූමිය සහ ප්‍රදේශය වර්ෂා කාලයන්හිදී ගංවතුරට යටවන සාරවත් නිම්නයකි. වැලි ගොඩ දැමීමද මෙහි බහුලව සිදුවූ වාණිජ කාර්යයකි. දියේ ගිලී වැලි කූඩය පුරවා ගොඩගෙන ඒමෙන්ද, අඟුළු පහුරු යොදා ගනිමින්ද, වැලි ගොඩ දැමීම කරණලදී.
මෙම තොටළඟ පෙරමුණ ගත් වෙසක් සංදර්ශන වැඩ සටහනක් වූයේ තොරණ ඉඳි කිරීමයි. 1955 වර්‍ෂයේදී විදුලි බුබුළු 25000ක් යොදා ගනිමින් විදුලි ජනකයකින් බලය සපයා ලංකාවේ මුල්ම විදුලි ආලෝකකරණයෙන් යුත් තොරණ තොටළඟ ඉඳිකර ප්‍රදර් ශනය කරණ ලදී.
මෝදර ප්‍රදේශය ලන්දේසීන්ගෙන් පසුව බ්‍රිතාන්‍ය යුගයේ මුල් කාලය වන විටද යුරෝපීය
ගති සිරිත් විරිත් වලට අනුව ජීවත් වූ ඉහල පන්තියේ ජනතාව, වාසය කළ ප්‍රදේශයක් විය.
අයකැමි ගාවින් හැමිල්ටන්, විගණකාධිපති එච්. ඒ. මාර්ෂල්, අගවිනිසුරු ශ්‍රීමත්
විලියම් කොක් යන ප්‍රභූවරු මෙහි වාසය කළහ. විජිත ලේකම් වූ පී. ඒ. ඇන්ස්ටෲදර් ද, ශ්‍රීමත්
සැමුවෙල් ග්රේනියර්, හා ඩිංගිෆඩ්, ඩේවිඩ් ද සේරම්, සිසිල් මෝර්ගන්, ඒ.ද.එස්.
සෙනෙවිරත්න, සී. ඒ. ලෝරන්ස්, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම්
අරුණාචලම්, හා පී. කුමාරස්වාමි යන ප්‍රසිද්ධ පුද්ගලයෝ රොක් හවුස් මන්දිරය ප්‍රදේශයෙහි
මන්දිරවල පදිංචිව සිටියහ.
පැරණි ‘විස්ට්බංගලාව ’මෝදර ප්‍රදීපාමන්දිරය ලෙස නවීකරණයවීමෙන් අනතුරුව.
කාකදූපත කිරළකැලේ ප්‍රදේශය කැරැං,
බෙරු පන්, කඩොලාන,වල් අනෝදා, වැවුනු වැලි සහිත භූමියක් විය. මෝදර වැල්ලේ වූ ධීවර
වරායත්, කැලණි ගඟේ පාද තොටුපලත්, මෙහි වැදගත් ස්ථාන වේ. පසුකාලීනව මෙහි බොහෝ පහත්
ප්‍රදේශ ගොඩකිරීම සිදු කෙරිණ. (ආගමික ස්ථාන, හමුදාකඳවුරු, පදිංචිකරුවන් සහිත
සාමාන්‍ය වටපිටාවක්ව පිහිටි මෝදර ප්‍රදේශයේ, 1950දශකයෙන් ඉක්බිතිව,
ක්‍රමිකව, වරාය සංයුක්ත මණ්ඩලය, නැව්තටාකාංගනය, ධීවර සංස්ථාව, පිටි සංස්ථාව,
සම්භාණ්ඩ සංස්ථාව, ඔක්සිජන් සමාගම, ලංගම බස්ගාල, උසස් ජාතික ඩිප්ලෝමා පාසල, ඇතුළු
ආයතන ඇතිවීම හේතුකොටද, 1976 නොබැඳිසමුළු අවස්ථාවේ පදිංචිකිරීම්වලින්ද,
ඝනාවාසබව වැඩිවිය.) මාදම්පිටිය සුසානභූමියට නිරිතදිගින් කිඹුලාවල සහ ඉන් එහා
කොරලියාවල ලෙස හඳුන්වන ජලාශ ප්‍රදේශයන්ද, ඉන් නැගෙනහිරට ඉඟුරුකඩේ ප්‍රදේශය තෙක්
පැතිරීතිබූ ඇළ මාර්ග සහිත බ්ලූමැන්ඩල් වගුරුබිමද[සුගතදාස ක්‍රීඩාංගන,
වරායේ බහාලුම් මඟ, කසලකන්ද අද මෙම පෙදෙසතුල දැකිය හැක.] පැවතිණ.
මෙලෙස මෝදර, මට්ටක්කුලිය, ලුණුපොකුණ, හේනමුල්ල, මාදංපිටිය, දෙමටගොඩ, මාලිගාවත්ත, මාලිගාකන්ද, බොරැල්ල, නාරාහේන්පිට, තිඹිරිගස්යාය, වැල්ලවත්ත, හුණුපිටිය, ඉබ්බංවල, සුදුවැල්ල, වනාතමුල්ල, මෙන්ම පංචිකාවත්ත, කුප්පියවත්ත, මහවත්ත, හෙට්ටියාවත්ත, ජාවත්ත, ආදී වතු නාමකරණයෙන් යුත් ප්රදේශයන්ද, නවනාමකරණයන්ගෙන් සැදි ගල්වල, අළුත්කඩේ, කොච්චිකඩේ, සිරිපිනාමුඩුක්කුව, ජනාවාස ප්රදේශ මෙන්ම ඉඟුරුකඩේ, මරියකඩේ, ඈ වෙළෙඳාම් ස්ථාන සහිත ප්රදේශද කොස්ගස්හන්දිය, දිවුල්ගස්හන්දිය, වැනි ජනාකීර්ණ මංසන්ධි ප්රදේශයන්ද ශීඝ්‍රයෙන් ජනාවාසවෙමින්ද, නාගරීකරණයවෙමින්ද පැවතින. මේ සමඟ පන්සල්ද ඇතිවී දියුණුවට පත් විය. පාමංකඩ බලපොකුණ රජමහා විහාරය පැරණි විහාරස්ථානයකි. 1785 සිට සවියෙල් තාබෲ උභයකුලතුංග විජයසිරිවර්‍ධන මුදලිඳුගේ වලව්බිමෙහි බුදුමැදුරක් ලෙස පැවැති කොටහේන ‘වලව්වේ පන්සල’, ‘දීපදුත්තාරාම විහාරස්‌ථානය’ ලෙසින් ඉදි කැර ඇත්තේ වර්ෂ 1835 දී පමණය.
කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේ ‘රතනචෛත්‍යය’
හුණුපිටිය ගංගාරාමයද දහනවවන සියවසේදී දොන් බැස්ටියන් මුදලිතුමන් ඉඳිකරවූවකි. මෙසේ අභිනවයෙන් ඇරැඹි විහාරාරාමයන් වශයෙන්, වැල්ලවත්ත සුවිශුද්ධාරාමය, බම්බලපිටිය වජිරාරාමය, කුප්පියාවත්ත ජයසේකරාරාමය, පොල්වත්ත ධර්මකීර්ත්‍යාරාමය, කොල්ලුපිටිය වාලුකාරාමය,මෝදර මිලින්දාරාමය, පාමංකඩ ධර්මෝදයාරාමය, වැල්ලවත්ත බෝධිරුක්ඛාරාමය, තිඹිරිගස්යාය ඉසිපතනාරාමය,හා අසෝකාරාමය, බොරැල්ල තිලකරත්නාරාමය, කොටහේන පරමානන්ද විහාරය, දෙමටගොඩ වේළුවනවිහාරය, වැල්ලවත්ත වේළුවනාරාමය, ඩයස්පෙදෙස බෝධිරුක්ඛාරාමය, දිවුල්ගස්හන්දිය ජේතවනාරාමය, මට්ටක්කුලිය ධවලසිංහාරාමය, මාලිගාකන්ද මහාබෝධි (පසුව අග්‍රශ්‍රාවක) මහා විහාරය, මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙන, බොරැල්ල ගෝතමී විහාරය, මරදාන ශ්‍රීලංකාවිද්‍යාල පිරිවෙන් විහාරය(ඕඩෙ පන්සල), නාලන්දාරාම පන්සල, පංචිකාවත්ත අභයසිංහාරාමය, කුරුඳුවත්ත සම්බෝධි විහාරය, මාලිගාවත්ත ඛෙත්තාරාමය, මෙහිලා දැක්විය හැකිය.
මෙහි ඉහතකී විහාරස්ථාන ඇතිවීම මෙන්ම අනතුරුව ඒවාට සම්බන්ධව කොළඹ ප්‍රධාන පෙලේ පාසල් ගණනාවක් බිහිවීමද විශේෂත්වයකි. ඕල්කොට් තුමන්ගේ පරම විඥානාර්‍ත සමාගම, කොළඹ තරුණ බෞඬ සමිතිය, ශ්‍රී ලංකා මහාබෝධි සංගමය, ඇතුලු ආයතන හා පෞද්ගලික දානපතීහු මීට මුල්වූහ. ආනන්ද(පෙර දක්වා ඇති පරිදි මුලින් ඇරැඹියේ පිටකොටුව ඕල්කට්තුමා විසූ නිවහනේ ඉංගිරිසි පාසලක් ලෙසිනි. මරදාන, පරණවාඩියේ පිහිටුවන ලද ආනන්ද ශාස්ත්‍ර ශාලාව හෙවත් 'ආනන්ද කොලීජිය' තම 'විද්යාල' ශාඛාව සැලසුම් කරන්නේ ජනාකීර්ණ මරියකඩේ ප්‍රදේශයට නුදුරින් පිහිටි සුන්දර නිස්කලංක භූමියක් වන කැම්බල් උද්‍යානයට යාබදවයි. එය 'නාලන්දා විද්‍යාලය' යනුවෙන් වෙනම පාසලක් ලෙස ආනන්ද පරිපාලනයෙන් වෙන්ව රජයේ ලියාපදිංචි කරන්නේ 1925 වර්ෂයේදීය. මෙම නාලන්දා විද්‍යාලය පිහිටවූයේ තරමක් ඇතුළට වන්නට පිහිටි උද්‍යාන ආකාර භූමියකය.), මහානාම, ඉසිපතන (පෙර.ග්‍රීන්ලන්ඩ්ස්.විද්‍යාලය),.කුමාර, මහාබෝධි, ගෝතමී, වේළුවන, සංඝමිත්තා, මීයුසියස්, හේමමාලි, විශාඛා, බෞඬකාන්තා,ඇතුළු පාසල් මින් කිහිපයකි.
ඉහතදී ඇරැඹී 1937 දී පමණ නිමවූ ආගමික ගොඩනැඟිලි අතර කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුරු ගොඩනැඟිල්ල කැපීපෙනේ. ද සොයිසා වටරවුමට දකුණින් කොළඹ ඇති පැරණිතම ඉස්ලාම් දේවස්ථානයක් මෙන්ම පැරණිතම ගොඩකැඟිල්ලකින්ද යුත් දවටගහපල්ලිය පිහිටා තිබේ. මේ ආසන්න ජෝර්ජ්වෝල් ස්මාරක වතුරමලට දකුණින්වන කුරුඳුවත්තේ බැප්ටිස් පල්ලියද පැරණි ගොඩනැඟිල්ලකි. කොටහේන පොන්නම්බලවානේශ්වරම් කෝවිල 1857දී ඉදිව පසුව කළුගලින් නවීකරණය වී ඇත. කොළඹ පිහිටි තවත් වැදගත් ස්ලාමීය ආගමික ගොඩනැඟිල්ලක් වන්නේ 1909දී ඉදිවූ පිටකොටුවේ රතු පල්ලියයි. හෙට්ටිවීදිය පරණ කදිරේෂන් කෝවිල, බම්බලපිටිය කෝවිල, වැනි කෝවිල් හෙට්ටි ජාතිකයින් විසින් ඉඳිකරණු ලැබූ අතර කොච්චිකඩේ, මෝදර, වැල්ලවත්ත, කප්පිත්තාවත්ත, හින්දු කෝවිල්ද ඇරඹෙමින් දියුණුවට පත්වීම මෙකළ සිදුවිය.
ක්‍රිස්තියානි සම්භවයකින් පටන් ගැනුනු, කොළඹ ඇකඩමිය ලෙස 1935 කාලයේ දී සන්ත බස්තියම පෙදෙසෙහි ඇරැඹී එඩ්වින් ලයනල් ෆ්‍රෙඩ්‍රික් ද සොයිසාගේ ඉඩම් පිරිනැමුමෙන් පසුව කුරුඳුවත්තට ගෙනගිය රාජකීය විදුහල, මෝදර සාන්ත තෝමස් විදුහල, මරදාන සාන්ත ජෝසප් විදුහල, වේල්ල වීදියේ පටන්ගෙන බොරැල්ලට ගෙනගිය වෙස්ලි විදුහල, කේරි විදුහල, මිලාගිරිය ශාන්ත පාවුළු විදුහල, ආදී පාසල් ගණනාවක් විය. දෙමළ හින්දු, ස්ලාම් සහිරා, ඈ විද්‍යාස්ථානයන්ද ඒ ඒ ආගමික දේවස්ථාන, මූලිකව ආරම්භව තිබුණි.
කොළඹවිලෙහි ඔරු පැදීම් පුහුණු සමාජය (Colombo Rowing Club) ඇරැඹියේ 1864දීය [මෙය ආසියාවේ පැරණිතම ක්‍රීඩා සමාජය වෙයි].
එසේම විසිවන සියවසෙහි මුල්කාලය වනවිට කොළඹ නගරයෙහි හා කේන්ද්‍රගතව විවිධ අරමුණු, ආගම්, සහ ජාතිකත්වයන්, වෙනුවෙන් සංවිධාන රැසක් බිහිවෙමින් තිබිණ. වික්ටෝරියා ප්‍රිමැසොනික් ටෙම්පල්, රාමක්‍රිෂ්ණශාලාව, මලයාලි නාරායනගුරුශාලාව, ඇතුළු බොහොමයක් ගොඩනැඟිලිද මෙනයින් ඉඳිවූ ඒවාය.
කොළඹ කොටුව හා වරාය මුතුවැල්ල සිට පෙනුනු
අයුරු 1864දී ඇඳි සිතුවමක.
පැරණි කෝපි ගබඩාවක් අලුත්වැඩියාකර සකසා 1893 වසරේදී
පටන්ගත් ‘රජයේ කාර්මික පාසල’ තාක්ෂණ අධ්‍යාපනය මෙන්ම එම යුගයේ ගුරු පුහුණුව
ලබාදුන් ආයතනයද විය. ලන්ඩන් විශ්වවිද්‍යාලයීය ඉහල අධ්‍යාපනය ලැබීමටද මෙයින් මූලික
සුදුසුකම් සැපිරිණ. පසුකාලීනව 1906 වසරෙහි සිට ලංකා කාර්මික විද්‍යාලය බවට පත්විය.
ශ්‍රී ලංකාවේ දුම්රිය මඟක් ඉඳිකිරීමට ප්‍රථම පස් පිඩැල්ල හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා විසින් කැපුනේ 1858 වසරේදී, අද ලොකෝ හන්දිය ලෙස හඳුන්‍වන, ප්‍රධාන දුම්රිය මාර්‍ගයේ සිට මාලිගාවත්ත දුම්රිය අංගනයට හා කැලණිනිම්න දුම්රිය මඟටද හැරෙන තැනදීය. එදා මුල්ම දුම්රියපොළ(අත්‍යන්ත්‍ය දුම්රිය ස්ථානය), අද මරදාන කාර්මික විදුහල ඉදිරිපස පාරෙන් එහාපැත්තේ දකුණට වන්නට පිහිටි ස්‌ථානයේ ඉදිකරණ ලදී.[අභිමුව පාරෙන් එහා වූයේ පැරණි ගබඩා ගොඩනැඟිලි සංකීර්ණයකි. පසුව මෙහි ට්‍රිපොලි වෙළෙඳශාලාව පවත්වාගෙන යාමත්, තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතුත්, සිදුකෙරිණ.] අත්‍යන්ත්‍ය දුම්රියපොළ ඉදිකිරීමෙන් අවුරුදු හතකට පමණ පසුව 1864 දෙසැම්බරයේ දී අඹේපුස්‌ස දක්‌වා ශ්‍රී ලංකාවේ ප්‍රථම දුම්රිය ගමන මෙම කොළඹ දුම්රියපළින් ඇරැඹූ බව සඳහන්වෙයි. [කැලණිගඟ දුම්රිය පාලම මෙම යුගයේකළ වැදගත් ඉඳිකිරීමකි.]
කොළඹ පැරණි දුම්රිය පොළ (අත්‍යන්ත්‍ය දුම්රිය ස්ථානය) නැගෙනහිර දෙසින් බැලූවිට. පොල්ඉඩම කප්පිත්තාගෙවත්ත ප්‍රදේශයවේ.
කාර්මික විද්‍යාලය අසල තිබූ කොළඹ මුල්ම දුම්රිය පොළ (අත්‍යන්ත්‍ය
දුම්රිය ස්ථානය)ත් ලෝටස් පාරේ පාලම අසල වූ කොටුවේ පැරණි දුම්රිය පොළත්(වත්මන් කොටුව
දුම්රියපොළ නොවේ) අතර වූ ‘අන්තර් මධ්‍ය නැවතුම’ ලෙස ද හැඳින්වූ එකළ පිටකොටුව
දුම්රිය පොළ, 1897 වන විට නොරිස් පාරේ [දැන් ඕල්කට් මාවතේ] වර්තමාන බෝධියට ප්‍රතිවිරුද්ධ
පැත්තේ පිහිටා තිබිණි.
එහෙත් පිටකොටුව දුම්රිය පොළ ඉතා අඩු කලකින් එනම්, 1917 මාර්තු 05 වන දින සිට වසා දැමීමට හේතු වූයේ ද පිටකොටුවේ පැවති අධික කලබලකාරීත්වයත්, වෙළඳාමත්, දුම්රිය කටයුතුවලට අවහිරයක් වූ බැවිනි. ඊට ආසන්නයේ ම කොටුව වත්මන් ප්‍රධාන දුම්රිය පොළ[කොළඹ කොටුව ලෙස දැක්වුවද වත්මන් දුම්රියපොල ඇති භූමිය අයත් වන්නේද පිටකොටුවටයි.] ඒ වන විට ඉදිවෙමින් තිබීමත් තවත් කරුණක් විය. වත්මන් කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ආරම්භ කිරීමත් සමඟ පිටකොටුව දුම්රියපොළ වසා දැමින. එම දුම්රියපළ තිබූ තැන පසුව මැනිං ආණ්ඩුකාර සමයේ ධාන්‍යාගාරය(අනතුරුව මැනිං වෙළෙඳපොල) ඉදි විය.
පෙර වූ කොළඹ කොටුව, පිටකොටුව, දුම්රියපොල ඇතුළුව මාදංපිටිය සිට කුරුඳුවත්ත තෙක්.
1902 දී පටුආමාන (පීලි දෙක අතර පරතරය පළලින් අඩු) කැලණිනිම්න දුම්රිය මඟ විවෘතකර ධාවනය කිරීම
පටන් ගැනින. මෙය එවක කෝට්ටේ[අද කෝට්ටෙපාර] දුම්රිය ස්ථානය, රිජ්වේ ගොල්ෆ්පිටිය හරහා නාරාහේන්පිට කිරිල්ලපොනේ ඔස්සේ
යටියන්තොට දක්වා දිවින. [ඉක්බිතිව අවිස්සාවේල්ලෙන්
හරවා ඕපනායක තෙක් දිගුකරණ ලදී. අසූව දශකයේදී අවිස්සාවේල්ලතෙක් පමණක් ධාවනයට යොදන
ලදුව, සම්මතආමාන මඟක් ලෙස සැකසින.]
එකළ වර්තමාන
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට
නුදුරුව මහලේකම් කාර්යාලය දුම්රිය නැවතුම්පල (වෙරළබඩ මඟෙහි පළමු දුම්රියපළ) අසලින් බෙදීගොස් පැරණි පාර්ලිමේන්තුව පිහිටි භූමිය
හරහා කොළඹ වරාය දක්වා ඉදිකර තිබූ ජැටිය
දුම්රිය මාර්ගය(1923 වනවිට ගලවා
ඉවත්කරණ ලදී.), හා වත්මන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපස සිට වරාය තුලට යැවුනු
දුම්රිය මාර්ගයද(චාමස් ධාන්‍යාගාරය මධ්‍ය ඔස්සේ යැවුනු කොළඹනැව්තොට දුම්රියස්ථානය සහිතව
ඛාන් ඔරලෝසුකණුව අසලින් වරාය දක්වා 1976තෙක්), පැවැති මුත් පසුව ගලවා ඉවත්කරණු
ලැබීය. ඉක්බිතිව 1923 වර්ෂයේදී ඔරුගොඩවත්තේ සිට කොළඹ වරායේ ඊසාන දිග දියකඩනය දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකෙරුණේ කොළඹ වරායේ ප්‍රවාහන සංවර්ධන කටයුතු උදෙසායි. මුතුවැල්ල දම්රිය මාර්ගය ලෙස හැඳින්වූ මෙකී දුම්රිය පාරෙහි 1927-29 කාලයේදී රේල්කාර් සේවාවක් ක්‍රියාත්මක කර තිබේ. ඉන් අනතුරුව දශක පහක් යන තෙක්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතාකරණ ලද මෙම දුම්රිය මාර්ගයෙහි ඔරුගොඩවත්ත සිට බ්ලූමැන්ඩල් දුම්රිය ස්ථානය දක්වා කොටස ලංකා
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත්වූ අතර
එතැන් සිට කොළඹ වරාය දක්වා දුම්රිය මාර්ග කොටස අයත්වූයේ පැවැති කොළඹ වරාය කොමිෂන් සභාවටය. [1979 වකවානුවේද මෙම
මාර්ගයේ කැලණිතිස්ස, ග්‍රෑන්ඩ්පාස්, අලුත්මාවත, වෝකර්ගේට්ටුව, වරායතුලින්පිටකොටුව
තෙක්, මගී දුම්රිය සේවාවක් ක්‍රියාත්මකකළ මුත් කෙටිකලකින් නවතා දැමින.] අදටද වරාය
අධිකාරිය දේපලක් ලෙස මෙම
සීමාව එසේම පවතී.
වෙරළබඩ දුම්රිය මාර්‍ගය මහලේකම් කාර්යාලය දුම්රිය නැවතුම්පල කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දුම්රිය ස්ථාන පසුකරමින් දකුණු දෙසට ඇදී යයි.
රජයේ වැඩ දෙපාර්තමේන්තුව මඟින් ඉදි කළ ගබඩාවල ස්වරූපය
ඇති ගොඩනැගිලි තුල 1868 වර්ෂයේ දී ආරම්භ කරන
ලද කොළඹ ගෑස් හා වතුර සමාගම (මෙහි වායු සැපයුම් කර්මාන්ත ශාලාව පැවතියේ පිටකොටුවේය. එය පිහිටි
මාර්‍ගය Gas work street ලෙස [අද බෝධිරාජ මාවත] හැඳින්වින. අඩක් දැවුණ ගල්අඟුරු දහනය
කර වායුව නිපදවා නල ඔස්සේ සැපයින.) සමඟ කොළඹ නගර සභාව
අත්සන් කොට තිබූ ගිවිසුමට අනුකූලව 1872 අගෝස්‌තු මස 05 වැනිදා ගෑස්
බලය උපයෝගී කොටගෙන කොටුව ප්‍රදේශයේ වීදි ආලෝකමත් කරනු ලැබීය. ඒ අනුව මුල් වර්ෂය තුල නගර සභාවට අයත් වීදිවල ගෑස්
ලාම්පු 870ක් සවිකර තිබූ
වග වාර්තාවේ.
බ්‍රිතාන්‍ය රාජකීයයන්ගේ නාමයන් වශයෙන් වික්ටෝරියා රැජිනගේ නමින් වික්ටෝරියා පාළම,ඇල්බට් කුමරුගේ නමින් ඇල්බට්ක්‍රෙසන්ට් හා ඇල්බට්පාර, පළමු එඩින්බරෝ ආදිපාදවරයා නමින් එඩින්බරෝක්‍රෙසන්ට්, ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය නමින් ඇලෙක්සැන්ඩ්‍රාපෙදෙස, වේල්ස්කුමාරමාවත ආදි වශයෙන් නම්වූ අතර 1927තෙක් ලංකාණ්ඩුකාර ධුරය දැරූ සියලුම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් හා වෙනත් බ්‍රිතාන්‍යයන් සිහිවීම පිණිසද මාවත්වලට නම් යොදා තිබුණි. ටොරින්ටන්පෙදෙස, බ්‍රවුන්ඩ්රිග්මාවත, ග්‍රෙගරිඇවනිව්, ක්ලිපර්ඩ්ඇවනිව්, බාන්ස්පෙදෙස, පැජට්පාර, මැකෙන්සිපාර, ඇන්ඩසන්පාර, මැකාතිපාර, ස්කිනර්පාර, හැව්ලොක්පාර, මැකලම්පාර, ෆර්ගියුසන්පාර, වෝර්ඩ්පෙදෙස, රොස්මිඩ්පෙදෙස(ශ්‍රීමත් හර් කියුලිස් රොබින්සන් රොස්මිඩ් සාමිවරයා බවට පත් වීමත් සමඟින් රොබින්සන්වීදිය රොස්මිඩ්පෙදෙස ලෙස නම් කරන ලදී), ලොන්ඩන්පෙදෙස, ඇන්ඩසන්පෙදෙස, හෝර්ටන්පෙදෙස, නිදසුන්ය. නමුත් අද වනවිට ඒවායෙහි නම්ද බොහොමයක් වෙනස්ව ඇත. කැම්බල්පාරට හා කැම්බල්උද්‍යානයට එම නම් තබන ලද්දේ කොලින් කැම්බල් ආණ්ඩුකාරයා සිහිවීමටය. රජගෙදර භූමියේ ඇති ගෝර්ඩන්උද්‍යානය ගෝර්ඩන් ආණ්ඩුකාරයා(ස්ටැන්මෝ) සිහිවීම පිණිස එසේ නම් කර තිබේ. චාර්මස්ධාන්‍යාගාරයට සහ මැනිංටවුන්, මැනිංපෙදෙස, මෙන්ම මැනිංවෙළෙඳපොලට නම් තබා ඇත්තේද එපරිද්දෙනි. ගිල්ෆර්ඩ්චන්ද්‍රවංකය(ශ්‍රී ලංකාවේ පළමු ආණ්ඩුකාරවරයාගේ නමින් ෆෙඩ්රික්නෝර්ත්පාර නම් කරන ලදී. පසුව නෝර්ත් ආණ්ඩුකාරවරයා ගිල්ඩ්ෆෝර්ඩ්හි අර්ල් බවට පත් වූ අතර, මාර්ගය ඒ අනුව ගිල්ඩ්ෆෝර්ඩ්ක්රෙරෙසන්ට් ලෙස නැවත නම් කරන ලදී.), හා මේට්ලන්ඩ්චන්ද්‍රවංකයද ආණ්ඩුකාරයන්ගේ නම්ය. එංගලන්තය හැඳින්වීමට අතීතයේ භාවිතා වූ නාමයක් වන ඇල්බියන් යන්න යෙදූ ඇල්බියන්පෙදෙස, ඇල්බියන්පාර, නම් වී ඇත. වෙනත් නම් අතර වෛද්‍ය විලියම් කින්සි නමින් කින්සිපාර, කොළඹ මුල්ම පුරපති චාල්ස් පීටර් ලයාර්ඩ්ස් නමින් කොස්ගස්හන්දිය ලයාර්ඩ්ස්බ්‍රෝඩ්වේ, හා බම්බලපිටිය ලයාර්ඩ්ස් පෙදෙස, කොළඹ පුරපතිවරයෙක් තැපැල්පතිවරයෙක් යටත් විජිත භාණ්ඩාගාරිකවරයෙක්වූ චාල්ස් එඩ්වඩ් පෙනික්වික් නමින් වැල්ලවත්ත පෙනික්වික්පාර, කොළඹ දිසාපති වරයෙක්වූ චාල්ස් ආර්. බුලර්ස් නමින් බුලර්ස්පාර, කොළඹ හමුදා ආඥාපතිධූරය දැරූ චාල්ස් බෙයිලි නමින් බේලිවීදිය, ඇංග්ලිකන් දේවගැති ඒ.ජේ.තර්ස්ටන් නමින් තර්ස්ටන්පාර, දේවගැති ඇන්ඩෲ ආමර් නමින් ආමර්වීදිය, නොරිස්පාර, නොරිස්ඇලපාර, රීඩ්මාවත, සන්තියාගොපාර, කේම්බ්‍රිජ්ටෙරස්, රිෆන්පාර, පාසන්ස්පාර, ටිකල්පාර, සෝන්ඩර්ස්පෙදෙස, කාසල්වීදිය, ෆෝබස්පාර, වොක්ෂෝල්වීදිය, ඩැනියෙල්ස්පාර, පර්ගියුසන්පාර, රිජන්ට්වීදිය, ටර්නර්පාර(ටරට්පාර), සර්පන්ටයින්පාර, ඩික්මන්පාර, ආදි වශයෙන් බ්‍රිතාන්‍යය යුගයේදී මෙලෙස නම් කෙරිණ.
මීට අමතරව කොළඹ සමහර මාර්ග, ප්‍රදේශ, හා ස්ථාන නාම ලියාපදිංචිව හෝ නොමැතිවද භාවිතයේ පැවැති, හා පවත්නා, අවස්ථාද තිබේ. බේස්ලයින්පාර, පලමුවන-මරදාන, දෙවන-මරදාන, කෙසෙල්වත්ත, ගල්වල, මරදාන පාර, වෑකන්ද, කිරිල්ලපොනේ, ගබෝස්ලේන්(එකළ ගබෝසිඤ්ඤො වෙළඳසැල පාර), සිරිපිනාමුඩුක්කුව[වත්මන් මධ්‍යමපාර], ඉඟුරුකඩේ, කපුහේන්තුඩුව, මරියකඩේ(මරදාන පොලිසිය ඉදිරිපස), වාසල පාර, දිවුල්ගස්හන්දිය, යුනියන් පෙදෙස, බලපොකුණ, වේල්ල වීදිය, කොස්ගස්හන්දිය, පිත්තලහන්දිය, වනාතමුල්ල, ඉබ්බගෙවත්ත, කැටවලමුල්ල, නිල්වීදිය, පුංචිබොරැල්ල, බිලිංවත්ත, තුංමුල්ල, ගෑස්පහ, කාපිරිපටුමඟ[අද කීර්තිපටුමඟ], කාපිරිමුඩුක්කුව[දැන් රෝහීණීපටුමඟ හා කෝසලපටුමඟ], ග්‍රීන්පාත්, ඩයස් පෙදෙස, මිලාගිරිය, කොටාපාර, හයිස්ට්‍රීට්, ජම්පෙටාවීදිය, දුන්වත්ත, පැරඩයිස්ෆෙරීපාර, කිතුල්වත්ත, ජේල්පාර, හල්ගහකුඹුර, සන්තබස්තියම, රොඩීගුබ්බෑයම, කන්නාරවීදිය, මවුන්ට්මේරි, කප්පිත්තාගෙවත්ත, මල්පාර, ගෑස්කර්‍මාන්තවීදිය, තලකොටුව, ෆිෂර්ස්හිල්, කාසල්වීදිය, වැවපාර, මුහන්දිරම් පටුමඟ, මෙන්ම වැල්ලවත්තේ, කිරුළපන ඇළෙන් දකුණු දෙසට වන්නට වැල්ලවත්ත ඇළතෙක් වන්නට ගාලුපාර දෙපස ඉඩම් හිමි කරගෙන සිටි ගෞඩර් පවුල තම පවුලේ නම් යෙදූ චාර්ලිමන්ට්පාර, ඇලෙක්සැන්ඩ්‍රාපාර, සහ ටෙරසය, ෆෙඩ්‍රිකාපාර, ෆ්‍රාන්සස්පාර සහ කොලින්වුඩ්පෙදෙස මාර්ග සහ ඉඩම් ආදිය මින් සමහරකි. (එසේම ...පුර ලෙස යොදන මහල් නිවාස පඞ්ක්තීන් බොහොමයක්ද කොළඹ තුල මේ වනවිට පවතී.)
කොළඹ නගරයට නල ජලය ලබාදීම වක් ඔය හරස් කර ලබුගම තැනූ ජලාශයෙන් මාලිගාකන්ද බෙදාහැරීම් ජලාශය හරහා 1886 ආරම්භ කරණ ලදී. 1905 වර්ෂයේදී මෝදර එලිහවුස්හි ඉදිකල භූගත ජලාශය පුරවා එමඟින් බෙදාහැරීම් කටයුතු සිදුකරණු ලැබූයේ කොළඹ මළ අපවහන ක්‍රමය ආරම්භවීමත් සමඟ ඉහත ජල සැපැයුම ප්‍රමාණවත් නොවුනු බැවිනි. මීට අමතරව දෙහිවල දෙසින් හා කෝට්ටේ ජුබිලි තටාකයෙන්ද කොළඹට ජලය සැපයීමට කටයුතු කරණු ලැබීය. [ආදුරුප්පුවීදිය කන්දේ ජල කුලුන පසුව ස්ථාපනය කරණ ලදී.]
බ්‍රිතාන්‍ය පාලකයන් පසුකාලීනව කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශයන්හි ඇළ මාර්ග සමහරක්ද, කොළඹ විල නමින් හඳුන්වනු ලැබූ බේරේ ජලාශයේ කොටස්, සහ වෙනත් වගුරු පෙදෙස්ද ගොඩ කර මාර්ග හා ගොඩනැගිලි ඉඳිකිරීම ද සිදුවිය. මේ අතරතුර පොදු කටයුතු පිණිස වෙන්කළ භූමියක් ලෙස කෙසෙල්වත්ත බද ප්‍රයිස්පිටිය, පිටකොටුව ආසන්නව විය. එසේම මහජන ක්‍රියාකාරකම් සඳහා පෙර කියැවුනු ගාලුමුවදොරපිටියද, බොරැල්ල කැම්බල්පිටියද, ඉබ්බන්වල හයිඩ්පිටියද, ආදීවූ ස්ථානයන් යොදාගැනීම කෙරිණ.
පෘතුගීසි සමයේ Grande Passar ('ග්‍රැන්ඩෙ පාසා') ලන්දේසි යුගයේදී Passo Grande(‘පාසෝ ග්‍රාන්දේ’) නැතහොත් Groote Pas ('ගෲටෙ පාස්') යනුවෙන්
හඳුන්වමින් තිබූ තොටුපළ වන, පසුව පාලම්
පාදය යොදා තිබුනු ඉක්බිතිව පාරුපාලම සකසනලද ස්ථානය සහිත කැලණි ගඟේ නාගලගම
තොට(තොටළඟ)
ඇතුලත් ප්‍රදේශය පසුව
Grandpass විය.
ආණ්ඩුව තොටුපොළ රේන්දයන්දී තිබූ
හෙයින් මෙහිදීද කරත්ත, වාහන ආදිය එගොඩ මෙගොඩ වීමේදී තොටුපොළ පාළම්බද්දක් අයකරන ලදී.
‘පාරුපාලම’ ලෙස හැඳින්වූ, නාගලගම
වීදිය කැලණි ගඟ හරහා පෑලියගොඩට යාවූ, ඔරු 21ක් පළල අතට එකට
සම්බන්ධ කරමින්, ඒමත දැවයෙන් පාලම කොටස්
තුනකට, අඩි499ක දිගකින් යුතුව සකසනලද, මෙය 1822දී නිමැවූ වග කියැවෙයි.
පාරුපාලම තැනීමට පෙර ගමනාගමනය පිණිස මෙන්ම භාණ්ඩ, ද්‍රව්‍ය, ප්‍රවාහනය සඳහාද ඔරු, පාරු, අඟුලු, පාද, ආදිය බහුලව භාවිතකෙරිණ. මෙනිසා මෙතැන පහලින් කැලණි ගඟෙහි පාරුපාලම අටවා තිබුනද දිනකට යම් කාලපරාසයක් ජලයාත්‍රා ගමන් සඳහා පාරුපාලම ඉවත් කර ඉඩදෙනු ලැබීය.
නාගලගමතොට සිට පෑලියගොඩ තෙක්වූ පාරු පාලම.
තොටළඟ කැලණි ගඟ හරහා පාරු පාලම යොදා තිබූ ස්ථානයට මඳක් බටහිරට වන්නට, යකඩින් ස්ථිර ලෙස ඉදිවූ වික්ටෝරියා පාලම 1894 වසරේදී විවෘත කරණු ලැබීය. අනතුරුව මෙම පාලම හා සම්බන්ධවීමට ඉඟුරුකඩේ සිට 'වික්ටෝරියා පාලම වීදිය' නව මාර්ගය සකසන ලදී.
කොළඹ නගරයට ස්ථිර පාලම් නිසා ඇති වූ බාහිර සබඳතාවය හේතුවෙන් වාණිජ ක්‍රියාකාරිත්වය සහ සමාජයීය කාර්යයන් වේගවත් වීම සිදු වූ අතර, මෙම තත්වය පිටකොටුව මූලිකව වෙළෙඳ ප්‍රමුඛත්වයක් සහිත වර්ධනය ඉහල නැංවීමටද තුඩු දීමක් විය. මේ නිසා ඒ ඒ වෙළෙඳාම් පිණිස වීදි, ප්‍රදේශ වෙන්ව ඇතිවීම පාරිභෝගික ජනයාටද පහසුවක් වූ බැව් පෙණින. [මේ අනුව පසුකාලීනව කෙලින් වීදිය ඇඳුම් පැළඳුම් වලටත්, හෙට්ටි වීදිය ස්වර්ණාභරණ සඳහාත්, පරණ යෝන් වීදිය ගොඩනැඟිලි ද්‍රව්‍යාදියටත්, මල්වත්ත පාර ඔරලෝසු බෑග් පාවහන් ආදිය සඳහාත්, පලමුවන හරස් වීදිය විද්‍යුත් ස්වයංවිද්‍යුත් උපකරණාදියටත්, මැලිබන් වීදිය මංගල ඇරයුම්පත් ආදියටත්, කෙයිසර්වීදිය දෙවන හා තුන්වන හරස්වීදි රෙදි නිෂ්පාදන වෙළෙඳාමටත්, මුද්‍රණ ද්‍රව්‍ය හා ලිපිද්‍රව්‍ය මිලදී ගැනීම පිණිස රෝහිණී පටුමඟත්, කුමාර වීදිය දර්පන(මුහුණ බලන කන්නාඩි) වීදුරු වර්ග සම්භාණ්ඩ සඳහාත්, දෙවන හරස්වීදියේ විදුලි උපකරණ සහ මැහුම් උපාංගයනුත්, තරාදි හා ආයුද ආම්පන්නමිලට ගැනීමට තුන්වන හරස්වීදියත්, ආහාරද්‍රව්‍ය තොග වෙළෙඳාම හතරවන හරස් වීදියේත්, බංසාලවීදිය රසායන ද්‍රව්‍ය කෘත්‍රිම මල් ආදී දේ සඳහාත්, පිඟන් බඩු විසිතුරු බඩු පොලිතීන් ලබාගැනීමට චයිනාවීදියත්, කරවල ආදියට පෙරේරා මාවතත්, එළවලු පලතුරු ඕල්කට් මාවතේ මැනිං වෙළඳ පොලත්, පාපැදි වායු රයිෆල් කේක් බඩු වැනි දේ වේල්ල වීදියේත්, සිංහල බෙහෙත්බඩු ගබොස් ලේන්හිත්, වශයෙන් පිටකොටුව තුල මෙන්ම, ග්‍රන්ථ සඟරා පාසල්උපකරණ සඳහා චීන කඩ, දත් බඳින ස්ථාන සඳහා මරදාන, සහ පංචිකාවත්ත වාහන අමතරකොටස් උදෙසාද, පරණ පොත් ලබාගැනීමට සුදුවැල්ල, වීදුරුඅල්මාරි ආමර්වීදියේ(ජෝර්ජ් ආර්ද සිල්වාමාවත)ද, ටයර් ටියුබ් වෙනුවෙන් වේල්ස් කුමාර(ජේතවන) මාවත, යකඩ ද්‍රව්‍ය විකිණීම ගල්වල පාර ප්‍රසිඬව පෙනෙයි. සුවඳ විලවුන් කාර්මික උපකරණ ඇතුලු බහුවිධ ද්‍රව්‍ය හා සේවාවන් රැසක් පිටකොටුවේ මාර්ග අභ්‍යන්තරයේ මහල් වෙළෙඳ සංකීර්ණයන්ගෙන්(Plaza) මෙන්ම, පොළව මට්ටමට යටින් දිවෙන උමං දෝනා වෙළෙඳසැල් මගින්ද වාණිජ කටයුතු වර්‍ධනය විය].
මෙරටදී විදුලිය පිළිබඳ ප්‍රථම පෙරහුරු භාවිතය 1882 ජූනි 26 වැනි දින කොටුව බ්‍රිස්ටල්හොටල ගොඩනැඟිල්ලෙහි පිහිටවූ කුඩා ඩීසල් ජනක යන්ත්‍රයකිත් ජනනයකරගත් විදුලියෙන්, විදුලි බුබුලු දල්වා ආරම්භ කරණ ලදී.
කොළඹ නාගරික ප්‍රදේශයට 1895 වර්ෂයේ දී කොළඹ නගර සභාව අත්සන් තැබූ එකඟතා ගිවිසුමක් මත ආලෝකය හා වෙනත් අරමුණු උදෙසා විදිලිබලය සපයා දෙනු ලැබීය. එන්ජින් විදුලි උත්පාදක යන්ත්‍ර වාෂ්ප යෙන් ක්‍රියාත්මක උපාංග සහිත මෙහි විදිලි උත්පාදනාගාරය ඉදිව තිබුනේ පිටකොටුව ගෑස් කර්මාන්ත ශාලාව පිහිටුවා තිබූ ස්ථානයට දකුණු පසින් සෝන්ඩර්ස් ප්ලේස් හි වූ අතර ට්‍රෑම් ධාවනය කිරීම සඳහා යොදාගත් වෝල්ට් 110 ක විභවයකින් යුත් සරල ධාරා විදුලියද ඉන් නිපදවන ලදී. ඉන්දියාවෙන් ආනයනය කළ ගල් අඟුරු දහනය කරන එන්ජින් කාමරය, විදුලි බලාගාරය, බොයිලේරුව හා ට්‍රෑම් රථ අංගණයද මේ සමඟ වූ අතර මෙතැන් සිට උතුරෙන් කෙළින්වීදියට සහ දකුණෙන් නොරිස් පාරට ට්‍රෑම්රථ සම්බන්ධීකරණය විය. බලාගාරයෙන් දිනකට ගල් අඟුරු ටොන් 16ක් දහනයකර කිලොවොට් පැය 4300ක් උත්පාදනය කෙරිණ. මේ අනුව බෞස්ටෙඩ් සහෝදරයන් වශයෙන් ලංකාවේ නියෝජනය කරන බ්රිතාන්ය සමාගමක් ලෙස Ceylon Electric Tramways & Lighting Co. Ltd. ස්ථාපනය කර, ඒ සමඟවූ එකඟතා ගිවිසුම තුලින්, කොළඹ නගරයේ ප්‍රවාහන සේවාවන් වශයෙන් පැවැති ගොන්කරත්ත, දුම්රිය, සහ 1884 එක්වූ රික්ෂෝ ධාවනයට අමතරව 1899 සැප්තැම්බර් 16 දින සිට විදුලියෙන් ක්‍රියාකරණ ට්‍රෑම් රථ සේවාව එකතු විය. ඉහලින් එල්ලා ඇති විදිලි කම්බි වලින් බලය ලබා මහාමාර්ගයේවූ ධාවන පථය අඩි 3 අඟල් 6 ක පරතරය සහිත පීලි මත කොටුව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය අසල සිට කෙලින්වීථිය, ගෑස්පහහන්දිය, මසංගස්වීදිය, කොස්ගස්හන්දිය, නාගලගම වීදිය, ඔස්සේ තොටලඟ දක්වා සහ චැතැම් වීදිය, නොරිස් පාර [දැන් ඕල්කොට් මාවත], මරදාන හරහා බොරැල්ල තෙක් මාර්‍ග දෙකෙහි ට්‍රෑම් රථ ධාවනය වූයේ මගී ප්‍රවාහනය උදෙසාය.
ඉංගිරිසි යුගයේ මැදි කාලයේ මහනුවරට සහ පුත්තලමට
යාමට ඒමට තිබූ ප්‍රකට පාර වූයේ (දුම්රිය මාර්‍ගය හැර) නාගලගමට යොමුවූ ග්‍රෑන්ඩ්පාස් ට්‍රෑම්
රථ යෙදවුනු මාර්ගයයි. පෙරද දක්වා තිබූ අයුරින් කොළඹ කොටුව සිට මෙහි දැක්වූ ප්‍රධාන මාර්ගවල සැතපුම් දුර මනිනු ලැබ ඇත්තේද මෙම පෑලියගොඩට එගොඩ වන මඟ ඔස්සේ වෙයි.
මුලින්ම එඩ්ගාර් මනී නම් විදේශීක අයෙකු විසින් 1899දී ගෙන්වූ තනි සිලින්ඩරයේ අශ්ව බල අටකින් යුත් වාෂ්ප බල එන්ජිමක් සහිත Rover Automobile මෝටර්රථයක් කොළඹ නගරයේ ධාවනයකළ වග පැවසේ. ලාංකිකයෙක්වූ එඩ්වින් ලයනල් පෙඩ්‍රික් ද සොයිසා(චාල්ස් හෙන්රි ද සොයිසා මහතාගේ තෙවැනි පුත්‍රයා) යන අය Oldsmobile වර්‍ගයේ අශ්වබල පහක පෙට්‍රල් මෝටර් රියක් මිලදී ගෙන, 1902දී කොළඹට ගෙන්වා පෞද්ගලික භාවිතයට යොදාගැනීමත් සමඟ, එම වාහන ගෙන්වීම ඇරැඹී තිබේ. වාහන සඳහා ඉන්ධන සැපයුම්හල වූයේ කොම්පඤ්ඤවීදියේය. පොදු ප්‍රවාහන කාර්යයක් වශයෙන් ප්‍රථමයෙන්ම බස් රථ ධාවනය පටන්ගෙන ඇත්තේ 1907දී කොළඹ සිට හලාවතටයි. මෙසේ මෝටර්රථ වාහන ධාවනය වර්‍ධනයත් සමඟ කොළඹ නාගරික මාර්‍ග සකසා තාර යෙදීමට කටයුතු යෙදින. කුලීගමන්මෝටර්රථද ක්‍රමිකව නගරයේ ගමනාගමනයට එක්වන්නට වූයේ විසිවන සියවසේ මුල් කාර්තුවෙන් පසුවය.
1943 අගෝස්තු31 සිට ට්‍රෑම්රථ
සේවය කොළඹ මහනගර සභාවට පවරා ගැනිණ. 1954දී තට්ටුදෙකේ,
සහ තනි තට්ටුවේ, බස්වලින් හෙබිවූ විදුලි ට්‍රොලිබස් සේවාව ඇරඹුමත් සමඟම බොහෝ කළක
සිට එතෙක් පීලිමත ධාවනයකළ විදුලි ට්‍රෑම්රථ සේවය නවතාදමන තත්වයට පත්වන්නට විය. එහෙත්
මේ ට්‍රොලිබස් සේවය පැවතියේ කෙටි කාලයකි.1960 ජුනි 30 වන දින කොළඹ මහ නගර සභාව මෙම ප්‍රවාහන සේවය වසා දැමීය.
කොළඹ
පැරණිම හෝටල්
අතර පෙරදැක්වූ පරිදි 1864දී පටන්ගත් ගෝල්ෆේස් හෝටලය මුලින්ම වේ. ග්‍රෑන්ඩ් ඔරියන්ටල්
හෝටලය ඇරැඹියේ 1875දීය. අප රට ගුවන් සේවා ව්‍යාප්තියට පෙර එනම් 1950 දශකයේ අග භාගය පමණ වනතුරු බොහෝ සංචාරකයන් නැව් මඟින් දිවයිනට පැමිණියහ. ඔවුන්හට කොළඹ වරාය ආසන්නයෙන්මවූ
ඉහළ පෙලේ පහසුකම් මේවායින් සැපයින. මුල් යුගයේ ඇරැඹි හෝටලයක්වූ
කොටුවේ බ්‍රිස්ටල් හෝටලයද මේ අතර විය. [තැප්‍රොබේන්,
ඉන්ටකොන්ටිනෙන්ටල් ඈ හෝටලද පසුකාලීනව ඉඳිවිය.]
කොටුවේ ඇරැඹි වෙළෙඳ සමාගම්වලට අමතරව, ඊට බාහිරව කළම්බු අයිස් කම්පැනි(පසුව සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්), බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන්, වැල්ලවත්ත ස්පිනින් ඇන් වීවින් මිල්ස්(වැල්ලවත්ත රෙදි මෝල), වැනි නිෂ්පාදන සැකැසුම් සමාගම් දහ නවවන සියවසේ මුල යුගය තුල කොළඹ නගරයේ විවිධ ස්ථානයන්හි පටන්ගැනින.
නගර ප්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් පොලිස් ස්ථාන ඇරඹීමට කටයුතු කරණ ලදුව දහනවවන සියවසේ දෙවන කාර්තුවේ පිහිටවූ මරදාන පොලිස් ස්ථානය ප්‍රථමයෙන් ස්ථාපනයකළ පොලිස් ස්ථානය සේ සැලකේ. පුද්ගලික පළහිලව්වක් හේතුකොට 1870දී මරදානේ හා දෙමටගොඩ මුස්ලිම්වරු ප්‍රහාරයක් එල්ල කලේ මෙම පොලිස් ස්ථානයටයි.
කොළඹ විසූ ජනතාව දිනදසුන ඇරඹෙන ජනවාරි පළමුවෙනදා ‘ජනේරුව’ ලෙස සැලකූ සංදර්නාත්මක තත්වයක් විය. මෙදින කලාකාමී පිරිස් එක්ව ගෙන් ගෙට යමින් බයිලා නැටුම් නමින් වීදි සංදර්ශන කළහ. 'රෝස නෝන-ජැන්ඩි සිංඤො' ප්‍රහසනය මෙහි එක් අංගයකි. මෙකල නර්තනයන්හි විශේෂ වූවක් නම් කාන්තා චරිත නිරූපණයද පිරිමින් විසින් සිදුකිරීමයි. වෙළෙඳ කටයුතු අතර මැදිව වුවද කොළඹ නගරයෙහි වර්‍ධනය වූ තවත් අංශයක් වූයේ නාට්‍යය ක්ෂේත්‍රයයි. සිංහල නාඩගම් කලාව ප්‍රකට කරමින් රඟදැක්වුනු පිලිප්පුසිංඤෝගේ ඇහැලෙපොල නාඩගම කොටහේන ප්‍රදේශයේදී ඇරැඹි මීට මුල්වූ පැරණිම නාඩගමකි. නෘත්‍ය කටයුතු සඳහා එදිනෙදා ඉදිකිරීම් මුලින් සිදුවුවද, තාවකාලික රඟහල්ද සැකසෙන්නට විය. රඟහල් නාටක ප්‍රදර්‍ශන කාර්යයට අමතරව ඉන්ද්‍රජාල හෙවත් විජ්ජා දර්‍ශන ආදියද මේවායෙහි ඉඳහිට පෙන්වනු ලැබූ අතර, පසු කළෙක චිත්‍රපටශාලා ලෙස සමහරක් වෙනස්වීමද සිදුවිය. සර්කස් හා රූකඩ සඳහා බොහෝවිටම තැනතැන ගෙනයන(ජංගම) මඩු කූඩාරම් භාවිතයට ගැනිණ. ඉහතදී සඳහන් පරිදි මල්වත්ත පාර අද්දර මල්වත්තෙහි ෆ්ලෝරල්හෝල්(1876), මරදානේ පැවිලියන්(බෙලෙක්)හෝල්, ආදී වශයෙන් තහඩුමඩුවලින් සැකැසුනු නෘත්‍ය ශාලාද හුණුපිටියේ පබ්ලික්හෝල්, පිටකොටුවේ සරස්වතීරඟහල ඈ වශයෙන් වූ ශාලා තිබී ඇති අතර, ටවර් රඟහල ඉඳිවීම මෙහිදී සැලකියයුතු අවස්ථාවක් විය. අශ්ව ස්තාලයක් ලෙස භාවිතකරතිබූ මෙරෙඤ්ඤගේවත්ත නම් ඉඩම කොළඹ මහ නගර සභාවෙන් මිලට ගත් පළමුවැනි මරදානේ පැසෙන්ජර්ස්යුනියන් ආපානශාලාව හිමි ව්‍යාපාරික, දෙමටගොඩ ජී.ඩී. හෙන්ද්‍රික් සෙනෙවිරත්න විසින් 1911දී රඟහල ඉඳිකල වග කියැවේ. මෙහි නිමවූ හෝරා ස්ථම්භය හේතුවෙන් ටවර් හෝල් නමින් හැඳින්වීම කරනු ලබයි.
ඉහත කියූ ෆ්ලෝරල්හෝල් පැවැති ස්ථානයේ පසුව තාවකාලිකව ඉඳිවූ ලන්ඩන් බයිස්කෝප් ශාලාවෙන් අනතුරුව ඉංග්‍රීසි දෙමල මලයාලි හින්දි චිත්‍රපට මෙහි ගෙන්වා ප්‍රදර්ශනය පිණිස එම මුල්කාලයේ කූඩාරම් ආදිය මෙන්ම තැන් තැන්හි තහඩුමඩු චිත්‍රපටශාලාද සැකැසිණ. එකී යුගයේ පෙන්වූයේ නිහඬ චිත්‍රපටයන්ය. මරදානේ පැවිලියන්පැලස් තහඩුමඩු රඟහල ඉඳිකළ මදාන් නෘත්‍ය සමාගම විසින්ම එම්පයර් තහඩුමඩු රඟහලද[මෙම එම්පයර් තහඩුමඩු රඟහල දැන් රීගල් සිනමාහල පවත්නා තැන පැවතියේය.] ඉඳිකරණ ලදී. හුණුපිටියේ පබ්ලික්හෝල් නෘත්‍ය ශාලාවද පරසියානු ජාතිකයන්ට අයත් මදාන් සමාගම මිලට ගෙන එම්පයර් චිත්‍රපට ශාලාව 1915දී ස්ථිරව ඉඳි කලේය. පෙරකී පැවිලියන්පැලස් තහඩුමඩු රඟහල එල්පින්ස්ටන් පික්චර් පැලස් චිත්‍රපට ශාලාව[1947දී අශෝකමාලා චිත්‍රපටය තිරගතවූයේ මෙහිය] ලෙසින් ස්ථිරව ඉඳිවූයේ 1925දීය. කලින් ඩයනා හා ට්‍රිවිලියන් නම්වලින්වූ නෘත්‍යශාලාව පසුව ඔලිම්පියා නම් ඉංග්‍රීසි චිත්‍රපටහල ලෙස සැකසින. රීගල් චිත්‍රපට ශාලාව 1930දී සිලෝන් තියටර්ස් සමාගම විසින් විවෘත කර ඉංග්‍රිසි චිත්‍රපට පෙන්වීය. 1930දී බම්බලපිටිය මැජස්ටික් චිත්‍රපට ශාලාවද ඇරැඹිණ. 1933දී කොටහේන ගෙයිටි චිත්‍රපටශාලාවේදී ‘පළිගැනීම’ නිහඬ සිංහල චිත්‍රපටය තිරගත කෙරිණ. කොටහේනේම කිංස්ලි චිත්‍රපටශාලාවේ ‘කඩවුනු පොරොන්දුව’ සිංහල කතානාද චිත්‍රපටය 1947දී තිරගත වීමත් සමඟ කොළඹ චිත්‍රපට ශාලා වැඩිදියුණු වන්නට විය. කැපිටෝල්, ලිබර්ටි, රීගල්, එම්පයර්, සෙන්ට්‍රල්, ටිවෝලි(ප්ලාසා), ඔලිම්පියා, පරාක්‍රම, ක්‍රවුන්, සෙයින්ස්තාන්, නැෂනල්තියටර්(ගාමිණී), සෙල්ලමහල්, ලිඩෝ, රිට්ස්, මැජෙස්ටික්, රොක්සි, සැවොයි, සැෆයර්, අසෝකා, රියෝ, නවා, සමන්තා, රොක්සි, ජෙසීමා, ඈ චිත්‍රපටශාලා බොහොමයක් මෙම යුගයට සමගාමී මෙන්ම පෙර-පසු ඉඳිකිරීම්ද වේ.
ග්‍රීක අයෝනික වාස්තු ශිල්ප ශෛලියට අනුව
ගාලුමුවදොර ඉඳිකළ රාජ්‍ය මන්ත්‍රණ
සභා ගොඩනැගිල්ල[වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලයය ගොඩනැගිල්ල] 1930දී විවෘත විය. මෙහි යෙදීම
සඳහා විශේෂිත රෝසපැහැ කළුගල් රුවන්වැල්ලේ ගල්වලෙහි සිට ගාලුමුවදොර තෙක් ප්‍රවාහනය
කෙරුණේ කැලණි ගඟ, සන්තබස්තියම ඇළ, බේරේ ජලාශය, ඔස්සේ පහුරු මතිනි.
දෙවන ලෝක සංග්‍රාමය අවස්ථාවේ පර්ල් වරායෙන්
පසු ජපන් ඉලක්කය වූයේ කොළඹය. මේ තත්වය මත 1942 අප්‍රේල් 5 කොළඹට බෝම්බ
හෙලීම ඇරඹිණ. රාජකීය ගුවන් හමුදා කඳවුරක් හා ගගන යාත්‍රාංගනයක් වශයෙන් කුරුඳුවත්ත තුරඟතරඟ
පිටියද, පෙර දක්වනලද පරිදි යුදකඳවුරක් ලෙස වික්ටෝරියා(පසුව විහාරමහාදේවී) උද්‍යානයද,
පිළියෙළ කරණලදී. [යුද්ධය අවසන් වීමෙන්
අනතුරුව එය යලි කොළඹ නගර සභාව වෙත පවරා දෙනු ලැබූවේ 1951 වර්ෂයේ දී ය. පසුව 1958 දී විහාර මහා දේවී
ගුණානුස්මරණ කමිටුවේ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම උද්‍යානය විහාර මහාදේවී උද්‍යානය ලෙස නම් කරනු ලැබීය.] දෙවන ලෝක යුද්ධ කාලයේදී රාජකීය විද්යාලයයේ ගොඩනැඟිලි හා බිම හමුදා රෝහලක් වශයෙන් යොදා ගන්නා ලදී. නගරයේ විසූ
ජනතාව බියපත්ව, තාවකාලිකව, වාසය හැර ගියහ. මේ අනුව පාසල් පවා බැහැරට ගෙන
ගොස් පැවැත්වීමට කටයුතු සිදුවිය. කොළඹ වරායේ නෞකා දෙකකට ජපන් ප්‍රහාර එල්ලවී විනාශ
වූ අතර, රාජකීය හමුදා පහරදීමෙන් ගාලුමුවදොරට හා තුරඟතරඟපිටියටද ජපන් ගුවන්යානා
කඩාවැටීම සිදුවිය. ආහාර හිඟවීම මත සලාක
පත් ක්‍රමයට බෙදනු ලැබිණ. අනතුරුව බ්‍රිතාන්‍යය ඇතුළු මිත්‍ර හමුදාව යුද්ධයෙන් ජය
ලැබීය. යුද්ධය පැවැති කාලයේ කොළඹ සියලු කාර්යකටයුතු පසුබෑමට ලක්විණ. ජාවත්ත සොහොන්
බිම කොටසක් මිත්‍ර හමුදාව වෙනුවෙන් දිවි පිදූවන් පිරිසකගේ නිධනප්‍රාප්තියට යොමුවූයේ
මේ අනුවය. [අද මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය සුසානය ලෙස හැඳින්වේ.]
‘කොළඹක්‍රමය’ (ආසියාවේ සහ පැසිෆික් කලාපයන්හි ආර්ථික හා සමාජ සහයෝගීතා සංවර්ධන සඳහා කොළඹ සැලැස්ම -The Colombo Plan for Cooperative Economic and Social Development in Asia and the Pacific)ඇරඹියේ කොළඹදී 1950 ජනවාරි මාසයේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයේ විදේශීය ඇමැතිවරුන්ගේ සම්මන්ත්‍රණයේ සම්මුතිය අනුවය. කොළඹ ක්‍රමය ප්‍රදර්ශනය 1952 වික්ටෝරියා උද්‍යානයෙහි පැවැත්විණ.
ලංකාවේ දෙවන විශ්ව විද්‍යාලය මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි 1959 පෙබරවාරි 18 වනදා විද්‍යෝදය විශ්ව විද්‍යාලය නමින් ආරම්භවූ අතර, එය 1961 නොවැම්බර් මස ගංගොඩවිල භූමියට ගෙන යන තෙක් මාළිගාකන්ද පිරිවෙනෙහි පවත්වනු ලැබීය.[දැන් ශ්‍රී ජයවර්‍ධනපුර වි. වි.]
|
කොළඹ තුරඟ-තරඟපිටිය 1952දී පැවැති අයුරු. |
නිදහස් ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ යුගයේදී කොළඹ තුරඟ තරඟ සමාජයට අයත්ව තිබූ
කුරුඳුවත්ත තුරඟ තරඟ පිටිය රජය විසින් රුපියල් පන් ලක්ෂයක් ගෙවා මිලට ගෙන නිදහස්
මන්දිරය ගොඩනැගීම ඇරැඹීය. 1965 කර්මාන්ත ප්‍රදර්ශනය [ග්‍රහලෝකාගාරය මීට ඉඳිකලේ නැ: ජර්මනිය
විසිනි.] පැවැතියේ මෙම ඉතිරි තුරඟ තරඟ
පිටිය භූමියේය.[රාජ්‍යලේඛනාගාරය,රාජකීයවිදුහල්ක්‍රීඩාසංකීර්ණය, බ්ලූම්ෆීල්ඩ්ක්‍රීඩාංගනය
ආදියද අද මෙහි වේ.] තුරඟතරඟපිටියට අමතරව කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනය
පැවැති අතර, සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය සැකසුනේ 1952දීය. (බොරැල්ල ඕවල් ක්‍රීඩාංගනයේ ආරම්භය1945වසරේ සිදුවිය.)
බ්ලූමැන්ඩල්හි
කුණුමෝල(dump yard) ලෙස පැවති ස්ථානය සකස්කර මුලින් පාපන්දු පිටියක් වෙනුවෙන්
1965 කාලයේ සෑදූ සුගතදාස
ක්‍රීඩාංගනය පසුව එලිමහන් මලල ක්‍රීඩාංගනයක්ලෙස පුළුල් විය. මීට දකුණින් ගෘහස්ත ක්‍රීඩාංගනය
පිහිටුවන ලදී.
චීන මහජන සමූහාණ්ඩුවෙහි පරිත්‍යාගයක් වශයෙන්, 1973 වසරේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ
ශාලාව ඉඳිකරදෙනු ලැබීය. 1976දී රටවල් අසූහයක රාජ්‍ය නායකයන් සහ
තවත් රටවල් තිහක රාජ්‍ය නියෝජිතයන්ද සහභාගීවූ නොබැඳිජාතීන්ගේ පස්වන ජාත්‍යන්තර සමුළුව
මෙහි පැවැත්වින. මෙතෙක් මෙරට පැවැති සමුළුවක් සඳහා වැඩිම රාජ්‍ය නායකයන් පිරිසක්
සහභාගිවූ අවස්ථාව මෙයවීම විශේෂත්වයකි. මෙම සමුළුවෙහි කටයුතු කොළඹ සිට ජාත්‍යන්තර
රූපවාහිනී සේවාවන්ට එක්කළ අතර එය මෙරට සිට මුල්වරට ඍජුවම රූපවාහිනී සඳහා ලබා දුන්
වැඩ සටහනයි. ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවාවන් පටන්ගෙන නොතිබූ කාලයේ පැවති මෙම
සමුළුව කොළඹ සිට වට සැතපුම් දහයක දුරක් රූපවාහිනිය මගින් නැරඹීමට තාවකාලික විකාශනයක්
පවත්වාගෙන යන ලදී. මෙය මෙරට පළමු රූපවාහිනී දර්ශනයයි. එම අවස්ථාවේ රූපවාහිනී ගෙන්වාගෙන
සිටි සීමිත කාණ්ඩයකට පමණක් සීමාවිය. ඉනික්බිති 1979දී ශ්‍රී
ලංකාවේ ප්‍රථම රූපවාහිනී ආයතනය කොල්ලුපිටියේ ආරම්භ විය. මෙම ස්වාධීන රූපවාහිනී සේවය
පසුව රජයට පවරා ගනු ලැබීය.
කොළඹින්
උතුරට කැලණි ගඟ හරහාවූ වික්ටෝරියා පාලමට අමතරව 1959දී උතුරින් පෑලියගොඩ යාකර නවකැලණි පාලම ඉදිකෙරිණ. [පෙරදැක්වූ පරිදි; නවකැලණිපාලම දකුණු දෙසත් එම පෙදෙසෙහි වන සේදවත්ත, වදුල්ල,
ඔරුගොඩවත්ත, වෙහෙරගොඩ, අයත් වන්නේ කොලොන්නාව නගරසභා කොටසටයි.] නවකැලණි පාලමට
සම්බන්ධකිරීම පිණිස 1968දී කොළඹ නගරයට
උතුරු දිශාවෙන් පැමිණීමට අධිවේගී මාර්ගයෙහි වැඩ අරඹා ගුවන්පාලම් ඉඳිකරමින් තිබුනද,
1970දී ආණ්ඩුව
පෙරලීමත් සමඟ එය නැවතින.
වසර
සියයකට ආසන්න කාලයක් භාවිතකළ වික්ටෝරියා යකඩ පාලම 1994 - 2000 කාලයතුල ඉවත්කර
දැන් පවත්නා ජපන් මිත්‍රත්ව (කොන්ක්රීට්) පාලම ඉඳිකරනු ලැබීය.
2001දී කැලණි ගංගාවේ මෝදර ආසන්නයේ ගඟ හරහා
පාලම්පාදය ක්‍රියාත්මකවූ ස්ථානයට නැගෙනහිරින් මට්ට්ක්කුලියෙහි සිට පුත්තලම දෙස
සිට එන පාරුඇළ
නැගෙනහිර ඉවුර හේකිත්ත තෙක් නව පාලමක් ඉඳිවිය.
අසූව දශකයේදී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුරය ශ්‍රී ලංකාවේ නිල අගනුවර බවට පත්කරණ තෙක්, පෘතුගීසි පාලන සමයේ අගනගරය වශයෙන් සැලැකීමේ සිට කොළඹ නගරය මූලිකත්වයේ පැවැතියේය.
1970 දශකය මුල්
භාගයේදී කොළඹ නගරයෙහි වැඩි කොටසක් පාරිසරික වශයෙන් යම් ප්‍රශස්ත මට්ටමක පැවතින.
එහෙත් අනවසර මුඩුක්කු පේලි තැනීම, හා ඊට ලැබුණු
අනුබලයන් ගැටළු සහගත විය. ඉන්පසු කාලයේ සැලසුමකින් සහ නිසි කළමනාකරණයකින් තොරව
සිදුවූ අවිධිමත් සංවර්ධනය, ගොඩනැඟිලි ඉඳිකිරීම, පැන නඟින ගැටළු සඳහා තාවකාලිකව
පමණක් පිළියම්යෙදීම නගරයේ පරිසර තත්ත්වයට අලංකාරයට පමණක් නොව විධිමත් දියුණුවටද
මහත් බාධාවක් බවට පත්ව ඇත.
පසුකාලීනව
ගුවන් පාලම් තැනීම තනිඅතටයන මාර්ග හා වෙන්වෙන් මංතීරු වැනි දේද මාර්ග තදබදය සඳහා
අවස්ථාවෝචිත නමුදු, සමස්තය සඳහා ඒකාබද්ධ නිශ්චිත ඉදිරික්‍රියාමාර්ග සම්පාදනය
වියයුතුවේ.
වරාය නගරය වැනි ආයෝජන ව්‍යාපෘති ආර්ථික
දියුණුවට රුකුලක් වුවද එවැනිදේ ගැතිව පමණක්
නගරයේ කටයුතු සිදු නොවිය යුතුය.
කෙසේවුවද මෙකී තත්ත්වය තුල කොළඹ නගරය ලෝකයේ නගරයන්හි පරිසරසාධක හා නවීකරණය තුලනාත්මකව පවත්වා ගනිමින් සංවර්ධනය වීම හා සසඳන කල්හි තවමත් පැහැදිලි සැලසුම්ගත ස්ථානයක නොමැතිවග පෙනීයයි.
මාගේ ලග මේ ලිපියට ඇතුල් කරන්න විරල පින්තුර 2 තියනව කොළඹ ලන්දේසි කොටුවේ. කොහොමද ඔබට එයා ලබා දෙන්නේ?
ReplyDeleteකරුණාකර larohanajaya@gmail.com වෙත පැහැදිලි කිරීම සමඟ යොමු කරන්න. ස්තුතියි.
Delete