Tuesday, November 22, 2022

     යාපනය අර්ධද්වීපය හා දූපත්

                   Jaffna Peninsula and Islands 

 (මෙහි එන තොරතුරු  පර්යේෂණාත්මකවද, ජනශ්‍රැති මූලාශ්‍ර ඔස්සේ මෙන්ම තවත් කරුණු හා ඡායාරූප පොත්, පත්, සඟරා, සහ අන්තර්ජාලයෙන්,  එක් කරගෙන මෙන්ම උපුටාගෙන ඇති වගද, ස්තුතිපූර්වකව දක්වනු ලබන බවද, ඒවායෙහි අයිතිය මුල් හිමිකරුවනට බවද, කාරුණිකව සලකන්න.   තාක්ෂණික හේතුමත අක්ෂර වින්‍යාසයෙහි සම්මතයෙදීම් වෙනස්වූ අවස්ථා තිබීමට ඉඩ ඇත.)

    ශ්‍රී ලංකාවේ උතුරුකරයේ හුණුගල් පාෂාණය අවුරුදු දෙකෝටි තිස් හත් ලක්ෂයක සිට මෙපිට අවුරුදු පනස් තුන් ලක්ෂයකට පෙර තෙක් කාලය (තෘතියික අවධිය) තුළ සැකසුනක් සේ සැලකේ. මෙ  ආකාරයට පොළොවේ ස්වභාවය නිසා හුණුගල් ගුහාවන් ද තැන්,තැන්හි නිර්මිතව ඇත. කාලීනව ජීර්ණවූ හුණුගල් වැලි ආකාරයට ස්ඵටික බිඳිති බවටද පත්ව ඇත. නැගෙනහිර පැත්තේ මේවා උස්ගොඩැලි ලෙස එකතුවී, සුළං ප්‍රවාහයත් සමඟ පැතිරීයමින්, වාලුකා කාන්තාරයක් බඳු පරිසරයක් නිර්මාණය වී තිබේ. කඳු, කලුගල් පාෂාණ නොමැති මෙම මිටියාවතෙහි කන්දරෝඩය (කදුරුගොඩ) ප්‍රදේශයෙන් ඇරඹෙන වලුක්කි ආරු නමින් හඳුන්වන ජල දහර දකුණු දෙසට ගලා ගොස් අරාලි මෝය ප්‍රදේශයෙන් කළපුවට එකතුවේ. වඩමරච්චි කළපුව, භූමියේ උතුරින් තොන්ඩමනාරුවලින් පටන්ගෙන ඇතුලතට පිහිටා විල්ලු සහිත වගුරුබිමක්, කඩොලාන පරිසර පද්ධතියක්,  ලෙස නැගෙනහිර වෙරළාසන්නව අම්පන්, අලියාවළයි ප්‍රදේශය දක්වා යයි. මෙම විල්ලු වගුරු සහිත කළාපය යාපන නගරයට ඊසාන දිගින් තෙක් උප්පුආරු කළපුව ලෙස දකුණට ගමන් කරයි. චුන්ඩිකුලම් කළපුව ගිනිකොන දෙසින් අර්ධද්වීපයේ මායිමට වන්නට පිහිටියකි. අලිමංකඩින් අර්ධද්වීපයට ඇතුල්වනවිට නැගෙනහිර දෙසින් පෙනෙන්නේ මේ චුන්ඩිකුලම් කළපුවයි. බටහිර පසින් ලුණු ලේවාය සමඟම යාපනය දෙසට විහිද යන්නේ යාපන කළපුවයි. විවෘත නොගැඹුරු කළපුවක් ලෙස පවත්නා මෙහි මුහුද මතින් උස්වූ භූමිය දූපත් වශයෙන් ඇත. කළපු සහිත භූමි වර්ෂාව කාලය එළඹීමත් සමඟ ජලය පිරීම අනුව වැඩි වශයෙන් පර්යටන පක්ෂීන්ගෙන් සමන්විත වීම සිදුවෙයි. අර්ධද්වීපය හා දූපත් සඳහා පොදු වශයෙන් පානීය තත්වයේ මිරිදිය හිඟය. ඊසාන මෝසමෙන් ඔක්තෝබර් සිට ඉදිරි වසරේ පෙබරවාරි දක්වා වැස්ස ලැබේ. මින් ඉදිරි කාලය ක්‍රමිකව වියලි තත්වයට පත්වේ. ශුෂ්ක දේශගුණය තුල ස්වභාවිකව වැඩෙන තල්, කොහොඹ, ගංසූරිය, කෝමාරිකා, ආදී ශාකයන් කැපී පෙනේ.

  උතුරු අර්ධද්වීපයේ මධ්‍ය ශිලා යුගය තුල දක්වා ජනාවාස පැවැත්ම පිළිබඳව තොරතුරු නොමැති වුවද, සංක්‍රමණයන් හේතුවෙන් පසු යුගයන්හි ආචීර්‍ණකල්පිත පරිදි ජනාවාස ඇතිවූ වගට සලකනු ලැබේ. ප්‍රාග් ඓතිහාසික යුගයෙහි ජනාවාස පැවති බවට සාක්ෂි සපයන ව්‍යාප්තික වර්ගයේ සුසාන සංස්කෘතිය ආනෙයිකොඩ්ඩෙයි, කන්දරෝඩෙ, තිරුවැඩිනිලායි, වල්ලිපුරම්, නගර්කෝවිල්, වෙත්තිලයිකර්නි, කරායිනගර්, ඇතුළු තවත් ප්‍රදේශයන්හිදී හමුවී තිබේ. මහා ශිලා යුගයන්හි සුසාන සඳහා ඒ ඒ ප්‍රදේශයන්හි ශක්තිමත්ම පාෂාණ වර්ගය හා ඛණිජ උපයෝගීතාවය කරගැනීම අනුව, මෙහිදී හිරිගල් පාෂාණ මූලික ලෙස යොදාගෙන තිබෙන වග පෙනීයයි. ආනයිකොඩ්ඩෙයි හි මහා ශිලා යුගයේ සුසාන භූමිය පිහිටා ඇත්තේ මුහුදු බොක්කෙහි අභ්‍යන්තර ස්ථානයට ආසන්නව මීටර් 500 ක් පමණ ඇතුලට වන්නට ය. සොහොන් බිම ආනයිකොඩ්ඩෙයි කුඹුරුබිම් ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි ප්‍රදේශයක් තුල පැතිර තිබේ. මෙම ආනෙයිකොඩ්ඩෙයි ප්‍රාථමික යකඩ යුගයේ ස්මාරක තුල තැන්පත්කර තිබූ භාණ්ඩ අතර තඹ මුද්‍රාවන් හමුවී ඇත. මේ අනුව උතුරුකරයේ ආනෙයිකොඩ්ඩෙයි, කන්දරෝඩෙ, වල්ලිපුරම්, නගර්කෝවිල්, වෙත්තිලයිකර්නි, කරාය්නගර්, පූර්ව සහ මූල ඓතිහාසික යුගයන්හි ජනාවාස පැවති ස්ථානයන් ලෙස හඳුනාගැන්මට ලක්ව තිබේ.

   දීපවංශය, මහාවංශය, ඇතුලු මූලාශ්‍ර පොත්හි සඳහන් පරිදි, මිණි පළඟක් නිසාවූ ආරවුල විසඳීමට බුදුන් වහන්සේගේ දෙවන වර ලංකාගමනය ලෙස නාගදීපයට වැඩමවීම සිදු කළ බවත්, කිරිපලු රුක සෙවනෙහි මිණිපළඟ මත වැඩහිඳ, සමඟියෙහි වටිනාකම පහදමින් දහම් දෙසමින්, චූලෝදර - මහෝදර දෙපාර්ශවය  සංසසිඳවූ වගත්, දැක්වේ. මෙ නයින් වංශ කථා අනුවද පෙනී යන්නේ යම් ජනතාවක් පෙදෙසේ වුසූ වගකි. ඔවුහු නාග නමින් සංකේතවත් කෙරෙති. දකුණු ඉන්දියානු ප්‍රබන්ධාත්මක දෙමළ මහා කාව්‍යයක් වන මණිමේකලෛහිද නාගයින්ගේ දිවයින පිළිබඳව කියැවේ.

 වත්මන් කන්කසන්තුරේ සම්පූර්ණ ප්‍රදේශය ජම්බුකෝළය ලෙස ‍එදා හැඳින්වින. ලංකා ඉතිහාසයේ පුරාණ අවධිය ගන කියන මහාවංශයෙහි නිතර සඳහන්වනුයේ දඹකොළපටුන සහ මහාතිත්ථ(මාන්තොට) යන නැව්තොටුය. උත්තර භාරතය හා සබඳතා පැවැත්වීමට, විශේෂයෙන් වංග දේශයේ තාම්‍රලිප්ති කරා යාමට යොදා ගන්නා ලද්දේ මෙම ‍නැව් තොටයි. “දේවානම්පියතිස්ස රජතුමා උතුරු වාසල් දොරටුවෙහි සිට ජම්බුකෝළ දක්වා මාර්ගය සූදානම් කරවූවේය” යන සඳහනින් මෙම ස්ථානීය සබඳතාවය පැහැදිලි වෙයි. එම රජ සමයේ රාජ දූතයින් අශෝක රජතුමාගේ රාජසභාව කරා යාමට පිටත්වූයේ මේ වරායෙනි. ශ්‍රී මහා බෝධි ශාඛාව දඹකොළපටුනෙන් සිරිලකට වැඩමවීම, ප්‍රදේශය ඔස්සේ ක්‍රියාත්මකවූ සැලකියයුතු සංස්කෘතික කර්තව්‍යයක් ලෙස වාර්තාගතව තිබේ.

   පසුකාලීනව ජම්බුකෝළපට්ටනය අනුරාධපුරය සමඟ වඩා භාවිතය අඩුවන්නට ඇත්තේ  මහාතිත්ථයට දුර ඊට වඩා දෙගුණයකින් අඩුවීම නිසා විය හැකිය.
  ඉන්දියානු සොලී ආක්‍රමණයන්හි ක්‍රියාකාරකම් මෙන්ම වෙළෙඳ සම්බන්ධතා කටයුතුද, ලංකාවේ උතුරුකරයට දැඩි ලෙස බලපෑමක් ඇති කෙරුණකි. මෙම 13වන සියවසේ ඇතිවූ කාලිංගමාඝගේ ආක්‍රමණයෙන් පසු බිහිවූ ආර්යචක්‍රවර්ති රාජ්‍යය උතුරු අර්ධවීපයට හා ඒ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කෙටි කළකට සීමාවූවකි. එම කාලය තුල සිංගෙයි ආර්යන්ගේ වකවානුවේ පුංචි බණ්ඩා නමැති අයෙකු විසින් ඇතිකළ කැරැල්ලක් ව්‍යර්තකර සිංහල ජාතිකයින් පිරිසක් මරා දමන ලදී. සිංගෙයි (කයිට්ස් ලෙස සැලකේ), හා නල්ලූර්, මෙ වකවානුවේ ප්‍රධාන නගර සේ පිළිගනු ලබයි. අවස්ථානුකූලව බලයට පැමීණි කණකසූරිය සිංගෙයි ආරියන් නමැත්තාහට ඉන්දියාවට පලායාමට සිදුවූයෙන්, අනතුරුව යාපනය ප්‍රදේශය පාලනයකලේ විජයබාහු නමැති සිංහල පාලකයෙකි. මොහුගේ පාලන කාලය  වසර දහහතකි. මෙම පාලනය සඳහා වන්නියාර්වරුන්ගේ සහය ලැබුණු වගද යාල්පානවෛපමාලෛ කෘතියේ සඳහන්ය. මෙම ධියෙන් පසු යලි දෙමළ ජනතාවගේ ක්‍රමික ව්‍යාප්තියක් ඇති විය. දඹදෙණි යුගයේදී ජාවක චන්ද්‍රභානු ආක්‍රමණිකයාගේ පැමිණීමෙන් පසු උතුරු ප්‍රදේශය ආක්‍රමණය හේතුවෙන් ජාවා පට්ටන ලෙස හැඳින්වී, යාපාපට්ටනය යන්නට පෙරලී, පසුව ‘යාපනය’ වශයෙන් භාවිතයට ගැනීම සිදුව තිබේ. ජාවක චන්ද්‍රභානුගේ ආක්‍රමණය, තුලින් ජනගතවූ යම් දේ උතුරුකරයේ සමාජයේ දක්නට ඇත. එකී ජාවාපටුන, ජාවාගම, ජාවකකෝට්ටේ, ජාවාකච්චේරිය, ජාකොටු, මින් කිහිපයකි. සවුළු නම් වදනක්ද මෙහි සඳහා යෙදූ වගක් කියැවේ.
  16වන ශතවර්ෂයේ යාපනය අර්ධද්වීපය පෘතුගීසීන් විසින් අත්පත් කරගන්නා ලදී. යාපනය අල්ලාගෙන සිටි මෙම පෘතුගීසීන්හට සීතාවක සිට පැමීණි, රහමන් සිද්දිලෙබ්බෙ මුදියන්සෙ විසින් 1592දී ප්‍රහාරයක් එල්ලකරණු ලැබීය. ඉන්පසු කළ 1620දී සෙනරත් රජු විසින්, මීගහපුල්ලෙ ආරච්චි යවා යාපනයට පහරදී අල්ලා ගත් නමුත්, පසුව පෘතුගීසීහු යලි පහරදී, මීගහපුල්ලෙ ආරච්චිව මරාදමා යාපනයේ බලය සියතට ගත්හ. මින් අනතුරුව අතපත්තු මුදලි විසින්ද යාපනයේ පෘතුගීසීන් වෙත පහරදෙනු ලැබීය. ඉක්බිති කාලයේදී පෘතුගීසීන්හට පහරදී යාපනයේ මර්මස්ථාන අත්පත්කර ගත් ලන්දේශීහු මෙහි පාලනය විධිමත්කළහ. වැලිගම(VALIGAMO), තෙන්මරච්චි(TEMORAJE), වඩමරච්චි(VADOMORAJE), පච්චිලපලේ (PATCHELEPALE), ලෙස ප්‍රදේශ බෙදමින් මේ පාලනය සිදුවී ඇත. පෙර පෘතුගීසීහු කතෝලික දහම ව්‍යාප්තකරමින්, කෝවිල් කඩා දමමින් දේවස්ථාන බිහිකරමින්කළ සැහැසි ක්‍රියා සහිත ක්‍රියාදාමය වෙනස්කළ ලන්දේශීන් එම කතෝලික පල්ලි රෙපරමාදු දෙව්මැදුරු ලෙස සකස්කර ජනතාව පොළඹවාගන්නා ආකර්ෂණීය කාර්යයන් මගින් රෙපරමාදු කිතු දහමට බඳවාගැනීමට කටයුතු කළහ. (තනතුරු පිරිනැමීම, පාසල් ඇතිකිරීම, ආදී ක්‍රමවේදයන් රැසක් මෙහිදී අනුගමනය කරණු ලැබීය. හින්දු කුලීනයන්ගේ කුල-ගෝත්‍රවාදයෙන් පීඩිතව සිටි දෙමළ ජනයා මීට යම් තරමකින් නතුවූහ. ඕලන්දීයයන් හා ඒ මඟම ගෙන කටයුතුකළ ඉංග්‍රීසීහුද අධ්‍යාපනය යොදාගනිමින් රෙපරමාදු හා ඇංග්ලිකානු ක්‍රිස්තියානි ධර්මදූත කටයුතුකළහ. මෙම තත්වය උතුරේ පල්ලි සහ පාසල් ඇතිවීමට හේතු පාදකවිය. පසුව පෞද්ගලික ක්‍රිස්තියානි පාසල් වශයෙන් මේවා පැවැත්විණ.)
  බටහිර ආධිපත්‍යයට නතුවීමට පෙර කපු වගා කිරීම සහ ඉන්දියාවට ඒවා අපනයනය කිරීම උතුරුකරයෙන් සිදුවී ඇත.
    1658දී උතුරු ප්‍රදේශය ලන්දේසි පාලනයට නතුවූ පසු දුම්කොළ වගාව ව්‍යාප්තකළ ඔවුහු තම දුම්කොළ වගා ව්‍යාපාරය සඳහා දකුණු ඉන්දියාවේ මලබාර වෙරළාශ්‍රිත කලාපයෙන් දෙමළ ජනයා රැගෙන ආහ. (එසේ ගෙන්වා ගත් ජනතාව ආපසු ඉන්දියාවේ ගම්බිම් කරා ආපසුයාම වළකනු පිණිස යාපනයෙන් ඔවුනට ඉඩම් හිමිවීමේ ස්ථාවරත්වය සඳහා මලබාරයේ ඉඩම් නීතියක් වූ තේසවලාමේ නීතිය ලන්දේසීහු යාපනයට හඳුන්වා දුන්හ.) ලන්දේශීන් විසින් සිදුකළ කම්කරුවන් පදිංචිකරවීම හේතුවෙන් යාපනය ප්‍රදේශයෙහි දෙමළ ජන ව්‍යාප්තිය අධිකවිය. (ඉංගිරිසි පාලකයන් 1873 වසරේ සිදුකළ පලාත් බෙදීම අනුව උතුරු පලාත් ප්‍රදේශයද වෙනස්විය. මීට පෙර උතුරු පලාත ලෙස හැඳින්වූ කලාපයට අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශයන්ද ඇතුලත්ව තිබිණ.) යාපනය රටේ සම්බන්ධතාවය සහිත වෙළඳ ස්ථානීය නගරයක් ලෙස වැඩිවර්ධනය වීමට බලකොටුව  පිහිටුවීමද පිටුබලයක් විය. මීට අනුරූපීව ජාලගතව සංවර්ධනයවූ ප්‍රදේශීය මාර්ග පද්ධතියේ සැලැස්ම ඕලන්ද පාලන සමයේ සැකසුනකි. මුහුදින්, හා ගුවනින්ද, පිවිසිය හැකි යාපන අර්ධද්වීපයට ගොඩබිම ඔස්සේ ඇතුළු විය හැකි මාර්ග ‍තුනකි. මහනුවර - යාපනය මහාමාර්ගය, උතුරු දුම්රිය මාර්ගය, මන්නාරම - නාවත්කුලිය මහාමාර්ගය මේවායි. මුලතිව් සිට චුන්ඩිකුලම් කළපුව  අයින දිගින්ද මඟක් ඇතත් භාවිතය දුෂ්කර වී තිබේ. මින් වඩාත්ම ප්‍රකට මාර්ගය මහනුවර - යාපනය මහාමාර්ගය වේ. යාපනය නගරයේ සිට වන බොහෝ මාර්ග ආරම්භය කොටුව වටේ ස්ථානවලින් පටන් ගැනීම කෙරේ.   නගරයේ මර්මස්ථානයක්වූ බලකොටුව මුලින් ඉඳිකරණ ලද්දේ පෘතුගීසීන්ය. එය චතුරස්‍රාකාර එකකි. මීලඟට බලයට පැමිණි ලංදේශීන් කොටුව මුර අටලු පහකින් යුක්තව පංචස්‍රාකාරව විශාලනය කර ඇත. ආණ්ඩුකාර නිලනිවස, පරිපාලන ගොඩනැඟිලි, ගබඩා, මෙන්ම හයසියයකට පමණ අසුන් ගත හැකි තරම් විශාල පල්ලිය සහ සොහොන්බිමද, මෙතුල විය. ඉක්බිතිව ප්‍රදේශය අත්පත්කරගත් ඉංග්‍රීසීන්ද මෙයින් ප්‍රයෝජන ලබා ගත්හ. මෑතවූ උතුරේ වාර්ගික කැරැල්ල අවස්ථාවේදී කොටුව බොහෝසේ විනාශවිය. අද දක්නට හැක්කේ අනතුරුව ගොඩනැඟීම් කොටසකි.
   උතුරේ ග්‍රාම නාම විමසා බැලීමේදී පෙනීයන කරුණ වන්නේ ඒවා සිංහල නම්වලින් ප්‍රභවයවී, දෙමළ උච්ඡාරණයට හැරී භාවිතයට පත්ව තිබෙන වගයි. කණකසූර්ය ආර්යචක්‍රවර්ති පාලන යුගයෙන් පටන්ගත් සිංහල ජනයා එළවා දැමීම, දෙමළ ජනගහනය වැඩිවීම හේතුවෙන් සිංහල ජනයා දෙමළකරණයට ලක්වීම, සහ පසු කාලීනවද ඇතිකළ කරුණු නිසා සිංහල ජනයා මෙම ගම් හැරයාම සිදුවීම බවක්, මෙහිදී ගම්‍යවේ. බොහෝ බෞද්ධ විහාරාම පැවති බවට සාක්කි සපයමින් නෂ්ටාවශේෂ හමුවීමද මීට නිදසුන් වේ. දෙවනපෑතිස් රජූ කරවූ පන්නශාලා විහාරය, මහල්ලකනාග රජු තැනවූ තණවැලි විහාරය, මහ විජයබා රජු පිළිසකර කරවූ බුදුගම විහාරය, භාතිකතිස්ස රජු සමයේ නාගදීපයේ කිරිපලු රුක් මුල පළුදාගේ තනවා ඇත. රාජායතන ධාතු විහාරය එයයි. දෙවැනි අග්‍රබෝධි රජු පිහිටු වූ උර්ණලෝමඝරයද ආමල චෛත්‍යයට පිදූ ඡත්‍රයද සුවිශේෂ වෙයි. කනිට්ඨතිස්ස, ධාතුසේන, නිශ්ශංක මල්ල, ආදී පැරණි රජවරුන් මෙහිකළ විහාරාරාම පිළිබඳව කරුණු රැසක් වේ. වල්ලිගොත්ත විහාරය, මාටම්බිය විහාරය, ආදී තවත් ස්ථාන රාශියක් ලේඛනගතව ඇත. ඒවා බොහොමයක් මත මේ වන විට කෝවිල් ගොඩනඟා අතීතය යටපත්කර තිබේ.
   පාණ්ඩ්‍ය හා චෝල සංක්‍රමණ ඔස්සේ වර්ධනයවූ දෙමළ ජන සංස්කෘතිය ඉහළ-පහළ ලෙස සම්මත කුල වාදී බ්‍රාහ්මණ අනුගාමී වාර්ගිකත්වයෙන් යුතුය. ශිව, විෂ්ණු, දෙවිවරු මෙන්ම අය්යනායක, කතරගම, ගණ, පත්තිනි, කාලිඅම්මා, දෙවිවරු ඇදහීම සහ පිදීමද, බහිරව ආදී පූජාවන්ද, යාග හෝම කටයුතුද, ඇතුලත් බහුදේවවාදී හා තවත් ආගමික සංස්කෘතික උත්සව කර්තව්‍යයන්ද මොවුනතර පවතී. ඉහත ශෛව හින්දු භක්තිකයෝ නිර්මාංශ ආහාර ප්‍රතිපත්තියක් අනුගමනය කෙරෙන නමුත්, වෛෂ්ණව හා අනෙකුත් දෙවිවරු මූලික කොට අදහන හින්දූන්, ගව මස් හැර මස්, මාළූ, අනුභව කරන්නෝය. නළවර්, කොවියර්, නම් මෙවැනි අය අඩු කුලයන්හි ලෙසද සැලකේ. කෘෂිකාර්මික ජීවන රටාවක් අනුගමනය කරණ දෙමළ ජනතාව ගවයා ගරු සැළකිලි සහිත සත්ත්වයෙක් වශයෙන් පිළිගැනීමකට ලක්කරති. යාපන අර්ධද්වීපයේ කුඹුරු වගාව කෙරෙනුයේ සීමිතවය. ඒ මහ කන්නයේ පමණි. එහෙත් ගොඩඉඩම් කොල, ගොම, පොහොර යොදා සරුකර ගනිමින් ගොවිතැන් කරති. ජලය ලබා ගැනීම පිණිස ආඬියා සහිත ළිං යොදා ගැනීමද පෙරකළ සිදුවිය. මුරුංගා, අඹ, පොල්, ගස්වල පටන් උඳු, තල, ළූණු, මිරිස්, බටු, ඈ සම්ප්‍රදායික බෝග මෙන්ම ගෝවා, බීට්රූට්, අර්තාපල්, පවා වවනු ලැබේ. ලංකාවේ වාණිජ මිදි වගාව කෙරෙනුයේ යාපනය දිස්ත්‍රික්කයේ පමණක් වීම වීශේෂය. කෙසෙල් අතර පුවාළු මෙහි වැඩි ලෙස වගා කෙරෙන්නකි. ධීවර කටයුතුද මොවුනගේ ජීවිකා වෘත්තීන් අතර ප්‍රධාන තැනක වේ. මේ ආශ්‍රයෙන් කෙරෙණ නිෂ්පාදන අතර තම්බා මඳ වේලීමක් සහිත රතු ඉස්සන් ප්‍රසිද්ධය.  උතුරුකරයේ ජන ජීවිතයේදී පුද්ගලික නිවාසස්ථාන හා ඉඩම් වෙන්කර ගැන්ම පිණිස තල්අතු කෙළින් සිටවා වැසෙන අයුරින්, පැලැලි ආකාර ඇටැවීමක් සහිත මායිම් කිරීම කැපීපෙනෙයි. තල්ගසින් විවිධ ප්‍රයෝජන රැසක් මොව්හු ලබා ගනිති. මල් මැදීමෙන් ලැබෙන තෙලිදිය උණුකර හකුරුද, පැසීමෙන් රා ද, නිපදවයි. ලපටි තල් ගෙඩි කුරුම්බා ලෙස ආහාරයට ගැනේ. ඉදුණුතල් ගෙඩියෙහි ලෙල්ල මිරිකා තල්කොළ වට්ටියක යලි යලි ඝනකමට ගා වියලා ගැනීමෙන් රසවත් තල් පිනාටු සාදයි. තල් බීජ පැළ කිරීමෙන් සෑදෙන මොටෙයියන් කපා තම්බා සහ තම්බා වේලා ආහාරයට ගනු ලැබේ. තල් කඳ ලී පරාළ සහ වෙතත් අවශ්‍යතාවයන් පිණිස යෙදේ. කොළවලින් පැදුරු, හකුරු පෙට්ටි විවීම, හා රා ගොටු ආදිය සාදා ගනිති. මීට අමතර කරුණු අතර, යාපන වාසීන්ගේ ජන දිවියේ එදිනෙදා කටයුතුවලදී ගමනාගමනය පිණිස පාපැදි භාවිතය ඉතා බහුල බව කැපී පෙනේ.
  ශ්‍රේෂ්ඨ සිද්ධස්ථානයක්වූ නල්ලූර් කන්දසාමි කෝවිල හයවන පැරකුම්බා රජුගේ සෙන්පති  සපුමල්කුමරුන් විසින් යාපාපටුන ජයගැනුමෙන් පසුව, කතරගම දෙවියන් පිදීම උදෙසා, කෝට්ටේ රජ සමයේ ගොඩනඟන ලද්දකි. ඊට පසු කලෙකදී කෝට්ටේ රජුගේ සෙනෙවියෙක් වූ වීදියබණ්ඩාර මරා දැමුණේද නල්ලුර් කෝවිල  බිමේදීය. උස් බිත්ති සහිත පැරණි කන්දස්වාමි කෝවිල ආරක්ෂක බලකොටුවක් ලෙසද විය. ඒ අනුව මේ නල්ලුර් කෝවිල පෘතුගීසීන් යාපනය අල්ලාගත් පසු විනාශ කරන ලදී. එම මුල් නල්ලුර් කෝවිල තිබු ස්ථානයේ පෘතුගීසීන් විසින් තනන ලද ශාන්ත ජේම්ස් පල්ලිය පසුකාලීනව ඇංග්ලිකන් දේවස්ථානයක් ලෙස ඉදිකර තිබේ. වර්තමාන කන්දස්වාමි කෝවිල මීට නගරය දෙසට වන්නට වෙනත් ස්ථානයක ගොඩනඟා ඇත. කෝවිලට පිවිසුම් දොරටු හතරක් වෙයි. මෙහි උතුරු ගෝපුර අද වන විට දිවයින තුළ ඇති විශාලතම ගෝපුර ලෙස සැලකේ.
    නල්ලූර් කෝවිල පසුකර පේදුරුතුඩුව පාරේ යනවිට දකුණට හැරීයන චෙම්මනි පාරේ කෙටි දුරක් ගියපසු ඇතුල් ඉඩමක ඇති යමුනා එරි හෙවත් යමුනා පොකුණ යාපනයේ ප්‍රාදේශීය පාලකයෙක් ඉදිකර තිබෙන වගත්, මෙම පොකුණේ ජලයට ඉන්දියාවේ පූජනීය යමුනා නදියෙන් ගෙන එන ජලය මිශ්‍ර කර ඇති නිසා මේ නම භාවිතකරණ බවත්, කියනු ලැබේ. පොකුණ තනා ඇත්තේ හුණුගල් කුට්ටි සහ ගඩොල් යොදා ගෙනය. ජලය ලබාගැනීමට පහසු වන පරිදි පොකුණ පතුලට බැස යාමට ගල් පඩි බැඳ ඇත.
    පැරණි ඇමැති මැදුර හෙවත් මන්ත්‍රී මනෙයි ලෙස හඳුන්වන හුණුගලින් බැඳ හුණුපිරියම් කර රටඋළු සෙවිලිකළ පැරණි ගොඩනැඟිල්ලක් නල්ලූර් ප්‍රදේශයේ පවතී. යටත් විජිත සහ හින්දු ගෘහ නිර්මාණ ශිල්පයේ මිශ්‍රණයකින් ඉදිකරන ලද මෙම ගරාවැටුණු මන්දිරය ප්‍රාදේශීය පාලකයෙකුගේ අමාත්‍ය ගෘහයක් බවට මතයක් පවතී.(පෘතුගීසීහු අල්ලාගත් ප්‍රදේශයක තිබූ දේපළ කොල්ල කා සමාජ සංස්කෘතික ස්ථානද ඉතිරි නොකළ හෙයින්, මෙය පසුකාලීන ප්‍රභූ නිවසක්ද වීමටද ඉඩ තිබේ.).
     යාපනයට පැමිණෙන බෞද්ධ බැතිමතුන්ගේ භක්ත්‍යාදරයට ලක්වන, යාපනය නගරය තුල වන පැරණි පූජ්‍යස්ථානයක් වන්නේ ශ්‍රී නාගවිහාරයයි. බැතිමතුන් සඳහා විශ්‍රාමශාලා පහසුකම් සැලසීමද මෙම ස්ථානයෙන් සිදුවන මහඟු මෙහෙවරකි. මෙහි මාර්ගයෙන් අනෙක් පස එනම් නැගෙනහිරින් ආරියකුලම ජලාශය පවතී. පේදුරුතුඩුව පාරේ ආනයිපන්ති හතරමංහන්දියෙන් දකුණට ඇති පාරේ කෙටි දුරකින් හමුවන යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයද වැදගත් නැරඹුම් ස්ථානයක්වේ. ප්‍රදේශයෙන් හමුවූ කෞතුක භාණ්ඩ බොහොමයක් මෙහිදී දැකගත හැකිය. කොටුව පසෙකින් දිවෙන පේදුරුතුඩුව ‍පාර සමඟ ඇති මංහන්දියක වන යාපනය ඔරලෝසුකණුව ඉංග්‍රීසි පාලන සමයේ කැපීපෙනෙන ඉඳිකිරීමක් සේ පිළිගැනෙන දිවයිනේ උසින් වැඩිම ඔරලෝසුකණුව ලෙස සැලකේ. රෝහල් පාරට යාව ඇති යාපන පොදුවෙළෙඳපොල සංකීර්ණය මෙහි පැමිණෙන්නන් අතර ප්‍රකට වෙළෙඳාම්පොලක් වෙයි. ප්‍රධාන බස් නැවතුම ඇත්තේද මෙම රෝහල් පාරට යාවය. මෙම රෝහල පාරේ පැවති යාපනයේ පැවති කීර්තිමත්ම පාසැලක්වූ යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලය 1985දී ගිනි තබා විනාශ කරණු ලැබූ අතර අද ඇත්තේ හමුදා කඳවුරකි. රෝහල් පාර, මහනුවර පාරට සම්බන්ධ වන තැන ඉදිරිපසින් හෙවත් කච්චේරිය යාව ඇත්තේ පැරණි උද්‍යානයයි. අක්කර 27ක්වූ මෙහි මුළු ඉඩම 1829 සිට 1867තෙක් යාපනය දිසාපති පදවිය දැරූ පර්සිවල් ඇක්ලන්ඩ් ඩයික් මහතා පෞද්ගලිකව මිලට ගෙන යාපනය දිසාපති භාරයට පිරිනමන ලද්දකි. යාපනයේ නිරිත දෙසින් වන ගුරුනගර් ධීවර තොටුපලින්  ගොඩ ගෙනෙන මත්ස්‍යයන් අලෙවිහලක් එතැනම වේ. පොන්නාලේ යන මඟ අසල පවතින කාකෛතිව් මාළූ වෙළෙඳාම්පලද ජනාකීර්ණ ස්ථානයකි.
   පුරාණයේ සිට ඉංග්‍රීසි යුගයේ ආරම්භය තෙක් වැලිගම ලෙසවූ භාවිතය අද වලිගාමම් ලෙස වහරට පත්ව තිබේ. වලිකාමම් දකුණ ප්‍රාදේශීය සභාව පාලිත මෙම නගරයේ අදටත් ක්‍රියාකාරීව පවත්නා හුණුගම හෙවත් චුණ්ණාගම් පොදු වෙළෙඳ පොල 1658 – 1796 ඕලන්ද සමය තුල ඉදිකරණ ලද්දකි.
   මෙම චුණ්ණාගම් නගරයෙන් කන්තරෝඩ පාරේ ගොස් වමට හැරී යාමෙන්, ඇතුලතට පිහිටි කදුරුගොඩ පුරාණ විහාරය ක්‍රි.පූ.දෙවැනි ශත වර්ෂයට අයත්යැයි පිළිගැනේ. මෙහි පුරාවිද්‍යා කැණීම් ඇරැඹියේ 1917දී ශ්‍රීමත් පෝල් ඊ පීරිස් මහතා ගේ මූලිකත්වයෙනි. මෙහි කැණීම්වලින් සිරිපතුල්ගලක් සහ ලීලාවතී, සහස්සමල්ල, ධර්මාශෝකදේව, රාජ්‍ය කාලයන්හි කාසිද, පබළු දහසයදහසක් තරම් විශාල ප්‍රමාණයක්ද, සොයාගන්නා ලදී. මෙතැනින් හමුවූ පුරාවස්තු බොහොමයක් වේ. බුද්ධ ප්‍රතිමා, සිංහල බ්‍රාහ්මී අක්ෂර සහිත ක්‍රි.පූ. කාලයට දින නියමකළ කළු-රතු මැටි බඳුන් කැබල්ලක්, බෝධිසත්ව ප්‍රතිමා, වාමන රූප, වර්ණාලිප්ත දාර සහිත උළු කැබලි, බෞඬ ගල්ගරාදි කණු කොටස්, පිඟන් කැබැලි, ඇතුළු පුරාවස්තු රැසකි.(යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ මෙහි පුරාවස්තු ප්‍රදර්ශනය කෙරේ.)  සංරක්ෂණය කරණ ලද කුඩා ස්තූප හැටක පමණ ප්‍රමාණයක් මේ වන  විට දැකගත හැකිය. මෙහි වන ලොකුම ස්තූපයෙහි වටය මිටර හතකි. කුඩාම ස්තූපයෙහි වට ප්‍රමාණය මිටර දෙකකි. ස්තූප කොත් කැරලි වැඩිම ප්‍රමාණයක් හමුව තිබෙන දිවයිනේ එකම ස්ථානය මෙයවේ. ක්‍රි.ව. දසවන සියවසේ IV වන දප්පුල රජුගේ කාලයට අයත් යැයි අදහස්කරණ සිංහල අකුරු කොටන ලද කොටසක් විනාශ වී ගිය අත්තාණි කණුවක සටහන අනුව එම කාලයේ මෙය අනුරාධපුර අභයගිරි වෙහෙරට සම්බන්ධව පැවැති විහාරයක් බව දැක්වෙන වග පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති. 1970දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් මෙහි කළ කැණීමකදී හමුවූ වලං කැබලි ආදී ජනාවාස අවශේෂයන් විද්‍යානුකූල කාල නිර්ණයන්ට භාජනය කිරීමෙන්, ඒවා ක්‍රි.පූ.1200තෙක් පමණ පැරණි බවට තහවුරු කර ගෙන තිබේ. වර්තමානයේ මෙම ප්‍රදේශය හඳුන්වනුයේ කන්දරෝඩය යනුවෙනි.
  යාපනයට වයඹ දිගින් මනිපායි ප්‍රදේශයට පසුව හමුවන චංකානෙයි හිදී පැරණි ලන්දේශි පල්ලියක නෂ්ඨාවශේෂ දැකිය හැකිය. වඩුක්කොඩෙයිහි ශාන්ත තෝමස් දෙව්මැදුර 1640 කාලයේ පෘතුගීසීන් ඉදිකරණ ලද කතෝලික පල්ලියකි. ලන්දේශීන් ප්‍රදේශය පාලනයට ගැනීමෙන් පසුව රෙපරමාදු පල්ලියක් ලෙස යලි ඉදිකරණු ලැබීය. පසුකාලීනව ඇමරිකානු දේවගැති භාරකාරිත්වයට ගත් මෙය මේ වනවිට දකුණු ඉන්දීය ක්‍රිස්තියානි සභාවෙන් පාලිතය.
   යාපනයේ සිට බටහිර දෙසට වෙරළාසන්න මඟ දිගට යනවිට වඩුක්කොඩේ වලට පසුව හමුවන්නේ පොන්නාලේ සිවුමංසලයි. මින් බස්නාහිර මාර්ගය  වේල්ල මතින් කරාය්නගර් වෙත යොමුවේ. උතුරට පාර කන්කසන්තුරේ හරහා පේදුරුතුඩුව වෙත දිවේ.
  පොන්නාලේ සිට කන්කසන්තුරේ අතර දඹකොළපටුන හමුවේ. මෙයට පෙර සටහන්කරණ ලද පැරණි දඹකොළපටුන ප්‍රදේශයේ වෙරළ තීරයේ යලිප්‍රතිස්ථාපිත දඹකොළපටුන විහාරය දිවයිනේ උතුරින්ම පිහිටි පන්සලයි. තිරුවැඩිනිලායි ලෙස හඳුන්වන මේ භූමි‍යේ, සඟමිත් රහත් තෙරණින් වහන්සේ දිවයිනට වැඩමවූ ස්ථානය සලකා මෙය ඉඳිකර ඇත. දේවානම්පියතිස්ස රජතුමා පන්නශාලා විහාරය ඉඳිකරණ ලද්දේ මෙම ප්‍රදේශයේ ලෙස සළකණු ලැබේ. පෙර දැක්වූ පරිදි මෙහි වෙරළ තීරය ඇතුලු හුණුගල්  පාෂාණයෙන් නිර්මිත උතුරුකරය පුරාම, වැලි ‍ආකාරයට දැකිය හැක්කේ කාලීනව ජීර්ණවූ හුණුගල් ස්ඵටික බිඳිති වේ. 
    කන්කසන්තුරේ කීරමලේ නගුලේෂ්වරන් කෝවිල ශිව භක්තිකයන් අතර ඉතා වැදගත් පූජනීය ස්ථානයකි. මේ අසල මුහුද දෙසින් තිබෙන නාන පොකුණ ඉතා ප්‍රසිඬය. මුහුදට යාව ඇති මේ පොකුණේ ජලය මිරිදිය වීම විශේෂත්වයක් වේ.නගුලේෂ්වරම් කෝවිල අසල දකුණුදෙසට පාරේ කෙටි දුරක් යාමෙන් වම් පසට භූමියක ඇති කීරමලේ කුඩා හුණුගල් ගුහාව දැකගත හැකිය.
  දැනට ක්‍රියාත්මක නොවන කන්කසන්තුරේ පිහිටි කාන්කේසන් සිමෙන්ති කර්මාන්ත ශාලාව යාපන අර්ධද්වීපයේ වූ විශාලතම කර්මාන්ත ශාලාව විය. කන්කසන්තුරේ වඩාත්ම වැදගත් ස්ථානයක් වූයේ වරායයි. කන්කසන්තුරේ ප්‍රදීපාගාරය මීටර විසිදෙකක් හෙවත් අඩි හැත්තෑ දෙකක් උසැතිව, රවුම් හැඩයෙන් යුතුව, ගලෙන් ඉදි කර 1893 දී නිමකර ඇත. මෙම ප්‍රදීපාගාරයෙන් නිකුත් කෙරුනේ තත්පර පහළොවකට වරක් සුදු එලි තුනක සංඥාවකි. කන්කසන්තුරේ ප්‍රදීපාගාරය ඇත්තේ වරාය පරිශ්‍රයේය. ශ්‍රී ලංකාවේ උතුරේ අවසන් දුම්රියපළ  පිහිටියේද කන්කසන්තුරේය.
  මයිලඩි ප්‍රසිඬ ධීවර වරායකි. කන්කසන්තුරේ හා තොන්ඩමනාරු අතර වන මෙය පලාලිවලට උතුරින් පිහිටියේය.
    උතුරේ එකම ගුවන් තොටුපළ පලාලි වන අතර, එය මේ වනවිට ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වේ.
  තොන්ඩමනාරු දියෙන් එගොඩවීම සඳහා නව පාළමක් තැනුන අතර මීට උතුරින් මෝය කටද, දකුණින් තොන්ඩමනාරුඅමුණද, දිස්වේ. මෙම අමුණ වඩමරච්චි කළපුවට මුහුදින් එන කරදිය පාලනය පිණිස හා මිරිදිය රඳවාගනු වස් 1953වන විට ඉඳිකර අවසන් කෙරිණ. මේ ආසන්නව මෝය කටින් බටහිර දෙසින් සුන්දර අක්කරායි වෙරළ තීරය වේ.  
   ප්‍රකට සෙල්වා සංනිධි කතරගම දෙවි කෝවිල තොන්ඩමනාරු හි ‍ගම්මානය සමඟ මුලින්ම හමුවේ. මෙහි ‍මන්දපක්කාඩු ගම්මානය තුලට වන්නට පෙරිය මණ්ඩපම් නම් ස්ථා‍නයේ විවෘත වළක් ලෙස පවත්නා, කවයක ආකාරයට නිර්මාණයවූ හුණුගල් ගුහාවන් පවතී.
      වැල්වැටිතුරේ ධීවර තොටුපල සමඟ වර්ධනය වූ ජන ප්‍රදේශයකි.
     පුත්තූර් අසල නිලවර ග්‍රාමයේ පවතින පතුලක් නොපෙනෙන හා නොමැති බවට ප්‍රසිද්ධ ළිඳද විශේෂත්වයක් ගන්නකි. පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර ඇති මෙය ජල සම්පාදන කටයුතු සඳහාද යොදාගනු ලබයි. ළිඳ ඇති ඉඩමෙන්ද විවිධ කැණීම්කරණ විටදී  බුදු පිළිම කොටස් හමුවී තිබේ. ඒ අනුව මෙය පැරණි විහාර භූමියක්සේ සලකයි. මහවිජයබාහු රජු පිළිසකර කළ වග කියැවෙන බුදුගම විහාරය මෙතැන යැයි මතයක් පවතියි. මෙම භූමියෙන් හමුවූ බුද්ධ ප්‍රතිමාවක් යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේදී දැකගත හැක.
     ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු මායිම් අවසානබිම් තීරුව වන සකෝතයි නෙරුම පිහිටනුයේ පේදුරු තුඩුවට කිලෝ මීටර දෙකක් පමණ ආසන්නව බටහිරිනි. සිංහ ධජය සිමෙන්ති ඵලකයක් මත මෙතැන ඉඳිකර සංකේතවත්කර තිබේ. සකෝතයිවලින් ඇතුලතට දකුණු දෙසින් පිහිටි අල්වායි ප්‍රදේශයේ මායාක්කායිහි හුණුගල් ගුහාව වැදගත් ස්ථානයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ බවට අනුමාන කෙරෙණ පාෂාණිභූත අත් සැකිලි කොටස් සහ වෙනත් මෙවලම් මෙයින් හමුවී ඇති වග පැවසේ.
   පේදුරුතුඩුව අතීතයේ නැව් සඳහා ස්වාභාවික නැංගුරම් පොළක් ලෙස භාවිතාකරණු ලැබීය. උතුරු අර්ධද්වීපයේ හොඳම ස්වාභාවික වරාය සේ සැලකීමක් පේදුරුතුඩුවට ඇත. අතීතයේදී උතුරේ නිපැයූ කපු මෙතැනින් අපනයනයකළ වග පැවසේ. පේදුරුතුඩුව ප්‍රදීපාගාරය තත්පර පහකට වරක් එක සුදු ආලෝකයක් සහිත සංඥාවක් නිකුත් කෙරෙමින් ක්‍රියාත්මක වූවකි. මීටර් තිස් දෙකක් හෙවත් අඩි එකසිය පහක් උස වන මෙම ප්‍රදීපාගාරය සුදු පැහැයෙන් වර්ණ ගන්වා ඇත. ඉදිකරන ලද්දේ 1916 දීය. මෙම පේදුරුතුඩුවේ පැරණි ප්‍රදීපස්ථම්භය මේ වනවිට සක්‍රිය නොවන නමුත්, මෙහි ඉඳිකළ ලෝහමය කුළුණ මගින් මීට අදාලව කාර්යය ඉටු කෙරේ. පේදුරුතුඩුවෙන් පසුව වෙරළ සමඟ භූමිය දකුණතට හැරීයන්නේ මුහුද නැගෙනහිර දෙසට වන අයුරිනි.  






‘වල්ලිපුරම් බුද්ධ ප්‍රතිමාව’ වට් බෙන්චමා විහාරය, තායිලන්තය

  පේදුරුතුඩුව ආසන්න ගමක් වන වැලිපුරය හෙවත් වල්ලිපුරම්හි ගමත් මුහුදත් අතර පිහිටි වැලි සහිත බිමෙහි දිගින් සැතපුම් හතරක් පමණත්, පළලින් සැතපුමක් පමණත්,වූ ප්‍රදේශයක ඉපැරණි මනුෂ්‍ය වාසයක ලකුණු දක්නට ඇති අතර, ගම්වාසීන් පොළොව කණින විට ගොඩනැගිලි අත්තිවාරම්, ගඩොල්, මැටි භාජන සහ කාසි වරින් වර හමුවීම සිදුවිය. ඒ වනවිට මෙහි පස්ගොඩැල්ලක් ලෙස පැවති ස්ථානයක හමුවූ පැරණි පූජා වස්තු අතරින් බුද්ධ ප්‍රතිමාවක් සොයාගන්නා ලද්දේ නව විෂ්ණු කෝවිල ඉදිකිරීම සඳහා කැණීම් කරණ විටදීය. ඒ අනුව මෙය පෙර බෞද්ධ විහාර සංකීර්ණයක් පැවති ස්ථානයක් වග පැහැදිලි විය. විහාරය පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණය කරගෙන නොමැතිව තිබුනද, හුණුගල් පාෂාණයෙන් තනනලද මෙම බුද්ධ ප්‍රතිමාව උසස් නිර්මාණයකි. අමරාවතී කලා සම්ප්‍රදාය ගුරුකොට නිමවන ලද මීටර් 2.5 ක් පමණ උසැති ප්‍රතිමාවේ ලාක්ෂණික ලක්ෂණ අනුව 9-10 සියවස්වලට අයත් වේ යැයි සැලකේ. මෙය 1902 දක්වා විෂ්ණු කෝවිල සාදන බිමේ ලෑලි මඩුවක තිබී එවකට උතුරු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත තනතුර දැරූ ජේ.පී.ලුවිස් මහතා විසින්, විෂ්ණු කෝවිලේ භාරකාර පූජකවරයාගෙන් ලබාගෙන යාපනය කච්චේරිය අසල පැරණි උද්‍යානයේ පිහිටි බෝධියක් යට ස්ථාපනය කර ඇත.  මෙය වල්ලිපුරම් බුද්ධ ප්‍රතිමාව ලෙස ප්‍රකට විය. (අනතුරුව 1906 දක්වා යාපනය පැරණි උද්‍යානයේ සුරක්ෂිතව පැවති පිළිමය, එකල සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි බ්ලේක් විසින් සියම් රටේ හතරවැනි රාම රජතුමන්හට පරිත්‍යාග කරණු ලැබීමෙන් පසුව තායිලන්තයට ගෙන ගොස් තැන්පත්කර ඇත්තේ කිරිගරුඬ විහාරය ලෙසින් හඳුන්වනු ලබන බැංකොක් හි ‘වට් බෙන්චමාබෝපිත් දුසිත්වනාරාම’ මහා විහාරයෙහිය. ප්‍රතිමාවෙහි එම ප්‍රමාණයේම අනුරුවක් කොළඹ කෞතුකාගාරයේදී දැකගත හැකිය.)      අනුරාධපුර යුගයේ මුල් සමයට අයත් සම්මෝහවිනෝදනියේ දීප රාජ ලෙස දක්වන්නේ උතුරේ ආදිපාදවරයාය. මෙම විමධ්‍යගත පාලනය පහත රන්සන්නස මගින්ද තහවුරු කෙරේ.    වල්ලිපුරම්හි බුද්ධ ප්‍රතිමාව තිබූ ස්ථානය ආශ්‍රිතව 1936 දී විෂ්ණු දේවාලය වැඩි දියුණු කටයුතු සඳහා කැණීමක් කරණ අවස්ථාවේ භූමියෙහි නටබුන්ව තිබී මතුවූ පැරණි බෞඬාරාම ගොඩනැඟිල්ලක අත්තිවාරමේ තැන්පත්කර තිබී හමුවූ, අනුරාධපුර වසභ රජ යුගයේ පැරණි අභිලේඛනයක් වන පළමුවන සියවසට  අයත් රන් සන්නස වටිනා සටහනකි. ආදි සිංහල, මූල සිංහල හෙවත් සිංහල ප්‍රාකෘත බසින්, එවකට ලේඛන සඳහා යොදා ගනු ලැබූ බ්‍රාහ්මි අක්ෂරවලින් මෙය ලියා තිබේ. මෙයින් නාගදීපය යනු සම්පූර්ණ අර්ධද්වීපය සඳහාම භාවිතවූ නාමය වගද තහවුරු වෙයි. රජුගේ ඇමැතියකු යටතේ නාගදීපය පාලනය කෙරුණු බවද මෙහි කියැවේ.                  

    වසභ රජතුමා වල්ලියේර තෙරුන්වහන්සේ සඳහා පූජා කරවූ වල්ලිගොත්ත නම් විහාරයක් පිළිබඳව සඳහන අනුව, මෙය විභංග අටුවාවේ කියැවෙන දඹකොළපටුනේ ලෙස දැක්වූ වල්ලි විහාරය විය හැකි බවක් පෙනී යයි.
    වල්ලිපුරම්හි සිට නැගෙනහිර පටන් වන මනල්කඩු මුහුදවෙරළ සිට දකුණට පවතින්නේ දිගට ඇදීයන වැලිකාන්තාරයක් බඳු ගහකොලින් හිස්වූ පුළුල් බිම් තීරුවකි. උසැති වැලිකඳු අතර කිතුනු පල්ලියක ගරා වැටුනු ගොඩනැඟිල්ලක ශේෂ දැකිය හැක. මෙම ස්වභාවය තුල මෙහි ධීවරවාඩි හැරුණුවිට බොහෝ දුරට ජන ශූන්‍ය කලාපයක්ද වෙයි. මීට ඉහතින් දැක්වූ අලියාවල කළපු තීරයෙහි නැගෙනහිර පෙදෙස පසුක‍ර චුන්ඩිකුලම් අභයභූමියතෙක් මෙය පටුවෙමින් ඇදේ.
    කුඩා විල්ලුවලින් සමන්විත ජාතික උද්‍යානයක් වන චුන්ඩිකුලම් අභයභූමිය කුරුල්ලන් නැරඹීමට ප්‍රසිද්ධියක් උසුලයි. උතුරුකර ප්‍රදේශයේම රංචු ලෙස සැරිසරණ සියක්කාරයන්(Flamingo), මානාවන්, කොකුන්, ලිහිණින්, ආදී ජලචර පක්ෂීන් මෙහිදී වඩාත් කැපී පෙනෙයි. මොවුන්ගෙන් බොහොමයක් පර්යටන පක්ෂීන්ය. කොටින්, වලසුන්,  මුවන්, කිඹුලන්, මෙන්ම කැස්බෑවන්, සමනල වර්ගද නැරඹීමටද හැකියාව තිබේ. මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 19565.33 කි. දකුණින් ගලන කනගරායන්ආරු ඔයෙන් මෙහි  චුන්ඩිකුලම් කළපුවට මිරිදිය ගලා එන අතර බටහිරින් මුහුදු දිය ගලා ඒ. ඉඳහිට ඇති උස් ශාඛය තල් ගසයි. තෙත් හා වියලි පරිසර පද්ධති  දෙකම මෙහිදී දැකිය හැකි වීම විශේෂ වන අතර කඩොලාන, මුහුද ආශ්‍රිතව වැඩෙන ශාඛ වර්ග, ජලාශ්‍රිත ශාඛ, ආදිය පවතී.
    යාපනය - මහනුවර මාර්ගය අසල මීසාලේ ප්‍රදේශයේ මන්තුවිල්හි වේරක්කාඩු (වෙහෙරකඩුව) බොහෝ නටබුන් පැවති ස්ථානයකි. එහෙත් මෙම පුරාවස්තු සහිත භූමිය විනාශයට ලක්කර  පුද්ගලිකව අත්පත්කර ගනිමින් තිබේ. මෙම බිමෙහි නටබුන් අතර උස් ගොඩනැඟීම් දෙකක් වේ. නැගෙනහිර පැත්තේ ගොඩැල්ල අඩි 25 ක් පමණ උසැතිය. බටහිරින් ඇති ගොඩනැඟීම ඊට වඩා බොහෝ උස් වූ කේතුකාකාරස්වරුපයක් ගන්නකි. මේ ස්ථානය පිළිබඳව ජනප්‍රවාද අනුව මෙය දාගැබක් බව කියනු ලැබේ. පුරාවිද්‍යා අංශ මේවා පිළිබඳව කටයුතු කිරීමක් නොපෙනේ.
     අර්ධද්වීපයේ පොදු දේශගුණ රටාවට අනුකූල අයුරින් ඉඩෝරයේදී දිය සිඳී වීයලෙන උප්පුආරු කළපුව කළාපයද වර්ෂා කාලයත් සමඟම පිරී ඉතිරී යයි. මේ ජලය සහිත වකවානුවෙන් ඉක්බිති, හිමිදිරිය මෙන්ම සන්ධ්‍යාවද රමණීය දසුනක් ගෙන දේ. මෙහිද පර්යටන කුරුල්ලන්ගේ ආගමනය කැපී පෙනෙන ලක්ෂණයකි. කයිතඩි පාළම, නීර්වේලි සිට කළපුව හරහා පාර, වන්නාත්ති පාළම, චාවාකච්චේරි-‍පේදුරුතුඩුව පාරේ සරසාලේ කඩොලාන පරිසර කැලෑව, මේවා නැරඹීමට පහසු ප්‍රදේශයන්ය.
      කුලහීන දරුවන්ගේ අධ්‍යාපනය පෙරදැරිව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය තම ඉඩම්හි අඩ සියවසකට පෙර ඇරැඹූ විදුහල් අතර, කරවෙඩ්ඩි හි ශ්‍රී නාරද විදුහල සහ පුත්තූර් හි මඩිහේ පඤ්ඤාසීහ විදුහල අද රජයේ පාසල්ය. මේ තත්වයෙන් අච්චුවේලි ශ්‍රී විපස්සි විද්‍යාලයද  සම්පූර්ණව පැවතියේය. අල්වායි හිද පාසලක් පැවැතියේය.  
     අනුරාධපුර යුගයෙහි ලියැවුණු සහස්සවත්ථුප්පකරණයේ ‘සට්ධි මත්තා භික්ඛු නාගදීපෙ රාජායතන චේතියං’ ලෙස දැක්වීම අනුව භික්ෂූන් වහන්සේ වැඩසිටි පැරණි රාජායතන විහාරය නාගදීපයෙහි වන බව පෙන්වයි. 12 වැනි සියවසේදී රචිත රසවාහිනියේ ලියැවුන ‘භගවතී ධරමානේ ලංකායං නාගදීපේ’ ලෙස සටහන් දැකිය හැක.
    12වන සියවසට අයත් අත්ථසාලිනී මූලාශ්‍ර කෘතියෙහි භික්ෂූන් වහන්සේලා දීප විහාරය වන්දනාවේ වැඩි වග ලියැවී තිබේ. මෙහි දීප විහාරය යනු නාගදීප විහාරයයි.
   1562දී ප්‍රකාශනයක දක්වා තිබූ ටොලමිගේ තැප්‍රොබානා සිතියමෙහි ‘නාගදිබ මාග්‍රමුම්’ ලෙස යාපනය අර්ධද්වීපයත්, දූපත ‘නාගදිබ’ ලෙසත් පෙන්වා ඇත. පසුකාලීනව ඕලන්දීයයන් මේ අවට දූපත් පාලනයට ගෙන සිය දේශයේ ස්ථාන නාම යොදා භාවිතකළහ. Delft, Harlem, Leyden, Amsterdam,... ඈ මෙම නම්ය. අර්ධද්වීපය හා සබැඳි ජන පරිහරණයෙන් යුතු දූපත් එකොළහක් පමණවේ. මුහුදේ සහ කළපුවේ මේවා ඇති අතර සමහර දූපත් වේලි මත දිවෙන මාර්ග ඔස්සේ අර්ධද්වීපය හා සම්බන්ධවේ. නොගැඹුරු ජලය සහිත මුහුද (යාපන කළපුව) ගොඩකර වේලි මාර්ගයන් තනා තිබේ.
             යාපනයේ ඕලන්ද බලකොටුව හා පන්නයි වේලිමඟ (මණ්ඩතිව් හා කෛට්ස් දූපත්හි කොටස්ද පෙනේ).
       යාපනයේ සිට මණ්ඩතිව්, කෛට්ස්, හා පුංගුඩුතිව්, දූපත් වෙත යාම පිණිස කළපුව ඔස්සේ වේල්ල මතින් දිවෙන මාර්ගය පන්නයි මංහන්දියෙන් ඇරඹෙන හෙයින් ‘පන්නයි වේලිමඟ’ ලෙස හැඳින්වේ. දෙපස නොගැඹුරු මුහුදේ(යාපන කළපුවේ) මාළූ ඇල්ලීම සිදුකෙරේ. මෙහි ගමන්කිරීමේදී මුලින්ම හමුවන මණ්ඩතිව් ජනාකීර්ණ දූපතකි. වේලිමඟෙහි කිලෝ මීටර දෙකක් පමණ යනවිට,  වමට ඇති පාරේ කිලෝ මීටර හයක් යාමෙන් මණ්ඩතිව් ජනාවාස  ප්‍රදේශය කරා පිවිසිය හැක. මෙහි වැසියන්ගේ මූලික ආදායම් මාර්ගය ධීවර වෘත්තියයි. කෛට්ස් ඇතුළුවන ප්‍රදේශයේ වම් පැත්ත වන පූර්වයෙහි අලපිටිය ලෙසවූ  අලේපිට්ටි ප්‍රදේශයේද  සමහර ස්ථානයන්ගෙන් පුරාවස්තු හමුවන හෙයින් මෙහි දුරාතීතයේ සිටම ජන පදිංචිය පැවතී ඇති වග පැහැදිලිය.
    පන්නෙයි වේලි මඟෙන් ඉදිරියට යනවිට හමුවන අරාලි ප්‍රදේශයේ අරාලි හන්දියට පෙර වමට හැරෙන මඟක් ඔස්සේ යාමෙන් චාට්ටි වෙරළ කරා පිවිසිය හැක. (මෙම වෙරළ හරහා පාර වෙන්කලවෙඩි හන්දියට යොමුවෙයි.) පන්නයි - කෛට්ස් පාරේ හමුවන අරාලි හන්දිය සිව්මංසලකි. නාගදීපය වෙත යාම පිණිස මෙතැනින් වම් පස මාර්ගයේ ගමන්කල යුතුය. දකුණට පාර අරාලි කරාය. කෙළින් යැවෙන්නේ කෛට්ස් වෙතයි. කෛට්ස් යන මඟ වම්පස ඈතට පෙනෙන (වෙලනෙ ඊසාන දෙසින් පිහිටි) කුඹුරු ප්‍රදේශයක්වන පෙර කුඹුරුපිටිය ලෙසවූ  කුඹුරුපිට්ටිහි  අක්කර 15 ක පමණ භූමි ප්‍රමාණයක කොරල් ගල් සහිතව විසිරී ඇති නටබුන් හා කැටයම් කරන ලද හුණුගල් පුවරු සහිත පුරාවස්තු සහිත ස්තූපයකට සමාන ආකාර පස් ගොඩැල්ලක්  සේ  පැවති ස්ථානය විනාශයට ලක්කර ඇත. ගොඩැල්ලෙහි එක් පැත්තක බොරදම් කපන ලද හුණුගල් බොහෝ ප්‍රමාණයක් පවත්නා අතර එහි පස් කැපීම නිසා පෞරාණික නටබුන් හානියට පත්ව තිබේ. බෞද්ධ ආරාම බිමක් ලෙස පෙනෙන අවට ඇති පුරාවස්තු වල සාන්ද්‍රණය හා විවිධත්වය මෙම ස්ථානයේ වැදගත්කම පෙන්වයි. ඉනික්බිති දූපතෙහි උතුරු කොණටවන්නට කෛට්ස් නගරය හමුවේ. මෙහි ඇති සාන්ත ජේම්ස් කතෝලික පල්ලිය මුලින් ඉඳිකලේ පෘතුගීසීන්ය. පසුව දූපත අත්කරගත් ලන්දේශීන් මෙය රෙපරමාදු පල්ලියක් ලෙස භාවිතයට ගෙන ලොකු කර ගොඩනැඟූහ. ඕලන්ද පාලනය බැහැරවීමෙන් පසු යලිත් කතෝලික පල්ලියක් ලෙස ස්ථාපිතවීම සිදුවිය. ලන්දේශීන් කෛට්ස්හි ඉඳිකළ බලකොටුව මේ වන විට බොහෝ ලෙස විනාශවී නටබුන්ව ගොසිනි.
    කෛට්ස්හි මුහුද අද්දර සිට බැලූවිට උතුරු-ඊසාන දිගින් පාළම්පාරුවෙන් යාහැකි තරමක් විශාල ජනාවාස දූපතක්වූ කරාතිව් දැකගත හැකිය. කරායිතිව්හි ප්‍රධාන නගරය කරායිනගර් බැවින් මෙම දූපත කරාය්නගර් දූපත ලෙසද හඳුන්වයි. මෙයට පුරාණයේ කරාදීප යනුවෙන් භාවිතාකර තිබේ. කරාතිව් යාපන අර්ධද්වීපයට සම්බන්ධ ප්‍රධාන මාර්ගය වන්නේ නොගැඹුරු ජලය තුලින් උස්කරණ ලද කිලෝමීටර් 3 ක් දිග වේලිමඟයි. මෙය යාපන අර්ධද්වීපයේ පිහිටි මීට පෙරද ඉහත දක්වා තිබූ, පොන්නාලේ හතරමංහන්දියෙන් ඇරඹෙන හෙයින් ‘පොන්නාලේ වේලි මාර්ගය’ නම්වේ. මේ දෙපස නොගැඹුරු දියඹේ (කළපුවේ) ජාකොටු අටවාගෙන මසුන්(ඉස්සන්) ඇල්ලීම පාරම්පරිකය. වේලි මාර්ගයෙන් දූපත තුලට පිවිස මඳ දුරක් ගොස් වලන්තලේ හන්දියෙන් වමටඇති පාරේ යාමෙන් ප්‍රසිඬ ‘කසගස් වෙරළට’ (Casuarina Beach)  ලඟාවිය හැක. අවට කසගස් වලින් යුත් හෙයින් මෙලෙස හැඳින්වේ.  යාපන ප්‍රදේශයේ මුහුදේ දිය නෑම සඳහා වඩාම ජනප්‍රිය ස්ථානය මෙයයි. කෝවලම් (කෝවිලාන්) හි ප්‍රදීපාගාරයද දූපතෙහි උතුරු පසට වන්නට වෙයි. සෑම තත්පර දහයකටම වරක් සුදු එලියක් සහිත සංඥාවක් ලබාදුන් මෙම ප්‍රදීපාගාරය දැනට ක්‍රියා විරහිතව පවතී. මීටර තිහක් හෙවත් අඩි අනූඅටක් උසැතිව, රවුම් හැඩයෙන් යුතුවූ මෙය 1916දී  සාදා තිබේ. කරායිනගර් ඇත්තේ දූවේ වයඹ පැත්තට බරවය. මෙම  කරාතිව් දූපත තුල ගිනිකොණ දෙස සිට මඳක් මැදට වන්නට පිහිටි මහා ශිලා යුගයේ සුසානයක් ලෙස සලකනු ලබන ඇටසැකිලි හා කොටස් ඇතුලත් කළ හෙවත් බරණි වැනි දෑ හමුවන කළබූමි, සහ දූපතේ බටහිර වෙරළ තීරයේ ඇති වෙහෙරපිටිය හෙවත් වේරපිට්ටි වශයෙන් භාවිතකරණ ප්‍රදේශයේ තිබී වැනසීගිය විශාල චෛත්‍යයක නටබුන් සහිත පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් දෑ හමුවන ස්ථානයන් වූවද, මේ වන විට ජනාවාසකර මෙහි පුරාවිද්‍යා දේපළ සංහාරය සිදුකර ඇති වග පැහැදිලි වේ.
   දැනටත් හුණු බදාම සලකුණු ඇති බැඳීමට යොදාගත් ගල්මල් කොටස්, පිටතින් ගෙන ආ හුණුගල් වලින් සාදන ලද අර්ධ වෘත්තාකාර කොටස(සඳකඩපහණක් වියහැක), පියගැටපෙළ ගල්, කුළුණු පාදක ලෙස භාවිතා කරණලද චතුරස්‍රාකාර කුහර සහිත ගල් සහ අවට විසිරී ඇති උළු වැනි ශේෂ ද්‍රව්‍ය වේරපිට්ටිහි පැවති නිර්මිතයේ ස්වභාවය තහවුරු කරයි. පුරාවිද්‍යා අංශ මේ සම්බන්ධයෙන් අක්‍රිය බව පෙනේ.
  කෛට්ස් බලකොටුව ස්ථානයට  උතුරින්, කරාතිව් ආසන්නව මුහුදේ ඉඳිකෙරුණු හැමන්හෙල් කොටුවද මනාව දර්ශනය වෙයි. මීට යා හැක්කේ අසලවූ කරාතිව්හි සිට මුහුදු යාත්‍රාවකිනි. පෘතුගීසීන් විසින් යාපන තොටුපල කරා පිවිසෙන මුහුදු මාර්ගයේ ආරක්ෂාව පිණිස ගල් තලාවක ඉදිකළ මෙම කුඩා කොටුව ලන්දේශීන් අත්පත්කර ගත්පසු ‘හැමන්හෙල්’ ලෙස නම් කෙරිණ. හැමන්හෙල් කොටුව ලන්දේශීන් ආයුධ ගබඩාවක් සේ භාවිතාකරමින් මනාව පවත්වාගෙන ආ අතර, ඉංග්‍රීසීන් විසින් සිරකඳවුරක් වශයෙන් යොදා ගන්නා ලදී. අනතුරුව අසූව දශකය මුල් කාලය තෙක් ද එසේ භාවිතයට ගැණින. නාවික කඳවුරක් ලෙස පවත්වාගෙන ආ මෙය අද වනවිට නාවිකහමුදාව මඟින් පාලනය කරණ පොදු සංචාරක නිකේතනයකි.
  කෛට්ස්වල සිට මුහුදේ ඈතින්, වයඹින් එළුවයිතිව් දැකිය හැක. එළුවතිව් දූපත වර්ග කිලෝමීටර් 1.4 (වර්ග සැතපුම් 0.5) ක වපසරියකින් යුක්ත ජනයා පදිංචි දූපතකි. පාසලක්ද වේ. එළුවදූව ප්‍රධාන ගොඩබිමට හෝ වෙනත් දූපත්වලට සම්බන්ධ කරන මුහුදු වේලි මාර්ග සම්බන්ධයක් නොමැත. මෙයට සේවා සැපයෙනුයේ ආසන්න කයිට්ස්හි සිට මුහුදු යාත්‍රා මගිනි. කෛට්ස්හි කරම්පන් තොටෙහි සිට මෙම යාත්‍රා සේවය සිදුවේ.



                අනලදූව උතුරු වෙරලාසන්නයේ ඇති සංඥා ස්ථම්භය.

 තවත් දූපතක්වන අනලයිතිව් ඇත්තේ කෛට්ස්වලට බස්නාහිරිනි. මෙයද ජනාවාසයකි. මීට ගමනාගමනයද මුහුදු යාත්‍රාවන්ගෙනි. නාවික යාත්‍රාවලට දර්ශනයවීම සඳහා පෙර කාලයේ ඉඳිකරණ ලද සංඥා කුළුණක් මෙහි උතුරු කෙළවරෙහි ඇත. අනලයිතිව් වර්ග කිලෝමීටර් 4.82 (වර්ග සැතපුම් 1.86) ක භූමියකින් යුක්තය. මෙය ලන්දේසි යටත් විජිත පාලන සමයේදී රොටර්ඩෑම් ලෙස හඳුන්වන ලදී. පාසලක්, හින්දු කෝවිල් සහ පල්ලි කිහිපයක් ඇත.  අනලදූව සිට ප්‍රධාන ගොඩබිමට හෝ දූපත් සඳහා යා වීමට මුහුදු වේලි මාර්ගයක් නොමැති නමුත්, යාබද දූපතක් වන කයිට්ස් සිට යාත්‍රා සේවාවක් මගින් මීටද සේවා සැපයීම කෙරේ. මෙම අනලතිව් හා එළුවයිතිවු අතරට වන්නට පරත්තිවු නමින් හඳුන්වන පොල් රුප්පාවකින්යුත් ජනශූන්‍ය කුඩා දූපතක්ද වේ. එසේම අනලතිව් හි ගිනිකොණ දෙසින් වැලි තීරුවකින් හාවීමක් සේ දැකියහැකි පුලියන්තිවු නම් තවත් කුඩා දූපතක්ද පවතී.
    උතුරු අර්ධද්වීපයට අයත් දූපත් අතුරින් විශාල පිරිසක් ඇදී එනුයේ නාගදීපය කරා යාමටය. මේ සඳහා යාපනය-කෛට්ස් මාර්ගයේ අරාලි හන්දියෙන් වමට හැරී මණ්ඩතිව් දූපත් බිම කෛට්ස්හි වෙලනෙ, ප්‍රදේශ පසුකර වේලි මං ඔස්සේ පුංගුඩුතිව්, කරා ගමන්කළ යුතුය.

  පියංගුදීපය ලෙසින් අතීතයේ හැඳින්වුනු පුන්කුඩුතිව් දූපතේ නැගෙනහිර දිශාවට ඇති තිකාලි වගුරු ප්‍රදේශයේ දැන් පවත්නා අයියනායක කෝවිල අසල සිට වෙරළ දෙසට. අක්කර 10ක් පමණ වන භූමි පරාසයක පරණ මැටි භාජන කැබලි තුනී ලෙස පැතිරී හමුවේ. හුණුගලින් නිමවනලද බුදු පිළිමයක කවන්ධයක් මෙහි තිබී මතුවී කුඩා කෝවිලක් ඉදිරියේ තබා ඇත. ඒ හා සමානපිළිම කොටසක් එහි අයියනායක කෝවිලෙහිද ඇති බව පැවසේ. පල්ලිකුටා බොක්ක හරහා මෙම පුන්කුඩුතිව් භූමියට මුහුණලා ඇති ප්‍රධාන භූමියේ පොන්නවේලි වෙරළ තීරයේ නටබුන් පැවති බවද වැඩිදුරටත් කියැවේ (පල්ලිකුටා ලෙස හැඳින්වීමෙන්ම පන්සලක් පැවැති වග පැහැදිලි වේ). මීට දකුණට වන්නට ගමන් කළවිට වෙරලාසන්නයේ චතුරස්‍රාකාර සංඥා කණුවක් දැකිය හැක.

  පුංගුඩුතිව්, නාඩුතුරිට්ටි, පසුකර අවසන කුරිකඩ්ඩුවාන් තොටුපලින් නාවික යාත්‍රාවක නැඟී නාගදීපයට යාමට ගතවන්නේ විනාඩි 15ක පමණ කාලයකි. මෙසේ පැමිණෙන වැඩි දෙනෙකුගේ අරමුණ නාගදීප බෞද්ධ විහාර ස්ථානය වන්දනාවයි. මෙම නාගදීප රජමහා විහාරය හැරුණු කොට ඉන්ම පාලනයවන බුද්ධ වළව්ව විහාරය ලෙස හඳුන්වන තවත් පැරණි විහාරයක් නාගදීප දූපත තුළ පවතී. බුද්ධ වළව්ව විහාරයට යායුතු වන්නේ නාගදීප රජමහා විහාරයට ප්‍රවේශ දොරටුව ස්ථානය සිට ප්‍රධාන මාර්ගයේ උතුරු දෙසට ගමන්කර ඉන් වමට හැරෙන දෙවන අතුරු මාර්ගයේ මීටර 500ක පමණ ගොස් උතුරු දිශාවට ඇති පාරේ හැරී මීටර 200ක් පමණ ගමන් කිරීමෙනි. මෙහි පැරැන්නෝ මේ ඉඩම හඳුන්වන්නේ බුද්ද තෝට්ටම් යනුවෙනි.


       මෙම ස්ථානය බුදුපිළිම ඇතුළු පැරණි බෞද්ධ නටබුන් හමුවී ඇති, ඓතිහාසික කථා පුවත්ද ගෙතී පවතින පැරණි විහාර භූමියකි. බුද්ධ පල්ලංක, බුද්ධ කර්ණි, ලෙස වැසියන් හඳුන්වන නාම සහිත ස්ථානද මෙම දූපතෙහි පවතී. නාගදීපයෙහි තවත් වැදගත් සිද්ධස්ථානයක් වන්නේ නාගපූසනිඅම්මා කෝවිලයි. අමුතුසුරබි දෙව් පුද සඳහා දෙමළ හින්දු බැතිමතුන් මෙම දේවාලය ඉඳිකර තිබේ. පොලොන්නරුව යුගයේ මහා පරාක්‍රමබාහු රජ සමයට අයත් ශිලා ලේඛනයක් නාගදීප දූපත තුලතිබී හමුවී මේ පවතින නාගපූසානිඅම්මා කෝවිල ස්ථානයේ තබා ඇත. දෙකඩවී තිබෙන මෙය ඌරාතොට (කෛට්ස්) වරාය ප්‍රදේශයේ වෙළෙඳ නෞකා සම්බන්ධයෙන් පැනවූ නියමයන් සඳහන් කරණ ලද්දක් වේ. මෙම දූපත තුල ශ්‍රී ලංගම බස් රථ ධාවනය වේ.
    මෙහි දූපත් අතරින් විශාලතම දූපතක් වන දිගින් කිලෝ මීටර අටක් පමණ හා පළලින් කිලෝ මීටර හයක් පමණද ඇති වර්ග කිලෝ මීටර පනහක් පමණවූ තැනිතලා භූමියක්වූ  දිවෙල් දූව අද හඳුන්වනුයේ ඩෙල්ෆ්ට් නමිනි. මෙම නම ලංදේශීන් විසින් යොදා තිබේ. මෙය සම්පූර්ණයෙන් ජනාවාසවූ දූපතකි. (ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, තැපැල් කාර්යාලය, ප්‍රාදේශීය රෝහල, බැංකු, ඉන්ධන පිරවුම්හල්, පාසල්, ශ්‍රී ලංගම බස් හා වෙනත් ප්‍රවාහන සේවාවන්ද මෙහි වේ.) පුංගුඩුතිව්හි කුරිකඩ්ඩුවාන් තොටුපලින් ඩෙල්ෆ්ට් දූපත කරා යාමට මුහුදු යාත්‍රා පහසුකම් සැලසේ. උදය සිට දහවල් දක්වා වන මෙම ගමනාගමන පහසුකම් සැපයෙන්නේ සවස්වනවිට මුහුද සැඬවීම සිදුවන හෙයිනි. ශ්‍රී ලංකා නාවික හමුදාව මාර්ග සංවර්ධන අධිකාරිය හා සබැඳිව නොමිලයේ පාළම්පාරු සේවයක් ලබාදෙන අතර, පෞද්ගලික යාත්‍රා සේවාවද ක්‍රියාත්මකය. (ඩෙල්ෆ්ට්හි සිට පස්වරු 2.30න් පසු දෛනික මුහුදු යාත්‍රා සේවය නවතනු ලැබේ.) මුහුදේ තිබූ හිරිගල් තලාවක් උඩට මතුවීමෙන් දූපත නිමැවුනු බව කියැවෙන ආචීර්ණ කල්පිතය තහවුරුකරණ මෙම භූමිය වටා වන නොගැඹුරු මුහුදේ තැනින් තැනින් උස්වූ හිරිගල් පර කැබලිද දැකිය හැකිය. දිවයින ඇතුලත හාත්පස ඇත්තේ උතුරු කලාපයේම මූලික වෘක්ෂයවූ තල් ගස්ය. දැඩි සූර්යාලෝකය සමඟ හමන සුලං ප්‍රවාහය හේතුවෙන් වියැලෙන කර්කශ හුණු ගල් පාෂාණය මත සැදුනු, පිදුරුවෙමින් යළි දලු ලන තණ බිම, හා මිටි කටු පඳුරු සහිත ලඳු කැළෑ සහිත නොඋස් වන ලැහැබින් සමන්විතය. රතු කෝමාරිකා යායට වැවුනු බිම් තීරුද මේ අතර වේ. දූපතට වැස්ස ලැබෙනුයේ වසරේ කෙටි කාලයක් තුලදී පමණි. මෙම හුණුගල් බිමෙහි පානීය ජලය ලබා ගැනීම උගහටය. ඊට සුදුසු යම් මට්ටමක ජලය ලබාගත හැක්කේ ස්ථාන ස්වල්පයකදී පමණකි.  ඒ සඳහා ලන්දේශි යුගයෙහි තනනු ලැබූ පැරණි ළිං කිහිපයක්ද යොදා ගැනේ. වල් අශ්වයන් විශාල ගහනයක් සේ සිටීම මේ දූපතෙහි විශේෂත්වයක් වේ. (දූපත පෘතුගීසි පාලන සමයේදී  අශ්වයන් බෝ කිරීම සඳහා භාවිතා කර ඇත. එම නිසාම මෙම දිවයින ඔවුන් අශ්වයන්ගේ දූපත[Ilha das Cavalkos]ලෙස නම් කර තිබිණි.ඉන් පසුව පැමිණි ලන්දේශීන් විසින්ද මෙම කටයුතු එසේම පවත්වාගෙන ගොස්, පසුව මුළු දූපතම අශ්වන් සඳහා වෙන් කරණ ලදී. බ්‍රිතාන්‍යන් යාපනයට පැමිණීමෙන් පසු 1800 මුල් කාලයේදී දිවයිනේ දකුණු ප්‍රදේශය අශ්වයින් සඳහා වෙන්කර ඇති අතර, එම ශත වර්ෂය අවසාන කාලයේදී අශ්වයින් බෝ කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාප්තකළ නමුත්, 1906වනවිට මෙම දිවයිනේ අශ්වයන් බෝකිරීම සම්පූර්ණයෙන්ම නැවතී ඇත. මෙයින් පසු කැලෑගතවූ අශ්ව පරපුර මේ වන විට දූපතේ බටහි‍ර පෙදෙසේ තැනිතලාවේ විශාල රංචු වශයෙන් ස්වභාවිකව බෝවී තිබේ.) ඩෙල්ෆ්ට් ජාතික උද්‍යානයක් ලෙස නම් කර ඇත්තේ මේ අනුවය. යාපන අර්ධද්වීපයේ පුරාවිද්‍යා නටබුන් යම් තරමකින් ආරක්‍ෂාවූ ප්‍රදේශයක් ලෙස මෙම දූපත දැක්විය හැක. අනුරාධපුර යුගයෙහි පැරණි බෞඬාශ්‍රමයන්හි නෂ්ටාවශේෂයන් දූපතේ වයඹ වෙරළබඩ දැන් වෙඩියරසන්කෝට්ටේ ලෙස හඳුන්වන ස්ථානයෙහි පමණක් ඉතිරිව තිබේ. මෙහි වූ දාගැබ් හතරක නටබුන් මුලින්ම වාර්තා වන්නේ 1832 වර්ෂයේ ද කළම්බු ජ’නල් පුවත්පත තුලිනි. ඩෙල්ෆ්ට් දූපත තුල වයඹ දෙසින් මුහුදට යාර 200ක් පමණ ඇතුලතින් බලකොටුවක් ආකාර පැරණි පරිශ්‍රයක් පිහිටා තිබෙන වගත්, මෙහි එක්ගොඩනැගීමක් යාර 60ක පමණ වට ප්‍රමාණයකින් හා අඩි  20ක් පමණ උසකින් යුක්ත බවත්, පිට පෘෂ්ඨය නොයෙක් බොරදමින් හැඩ කරන ලද හුණුගලෙන් නිම කර තිබූ මෙම ගොඩනැගීම පවතිනුයේ පොලොව මට්ටමින් අඩි 12ක් පමණ උස්වේදිකාවක් මත යැයිද, එහි දැක්විණ.  මෙය පිහිටි වේදිකාවට නැගීමට නැගෙනහිර හා බස්නාහිර දිශාවෙන් පියගැට තිබී ඇති අතර මෙහි හතරැස් බැම්මේ කොටස් යාන්තමින් පෙනී තිබේ. මෙතැන අවට ගල් කණු සිටුවීමට භාවිතා කරන මැද හතරැස් කුහරයක් සහිත ගල් කුට්ටි පැතිර තිබී ඇත.  වාර්තාව අවසන කියවෙන්නේ මෙම ශෛලියේ ගොඩනැගිල්ලක් මෙම ප්‍රදේශයේ කිසිම ස්ථානයක දැක්මට නොමැති වග හා මෙය මහනුවර ඇති දාගැබක ස්වභාවයක් ගන්නා බවයි. ඒ අනුව පෙනෙන ප්‍රධාන දාගැබ වටා තවත් කුඩා පරිවාර දාගැබ් හතරක නටබුන් එකළ  තිබී ඇත. එවා සියල්ල ඝණ්ටාකාර හැඩයක් ගෙන තිබේ. නැගෙනහිර හා බස්නාහිර දෙසින් සතරැස් වේදිකාවට ඇති පියගැට පෙළ දෙපස ස්තූප දෙක බැගින්ද, උතුරු හා දකුණු දිශාවෙන් ස්තූපය බැගින්ද, සාදා තිබී ඇත. තැනිතලා දිවෙල් දූපතේ උස් ප්‍රදේශයද මෙතැන බව පෙනී යයි. වර්ග මීටර 7500ක පමණ භූමි ප්‍රමාණයක් පුරා ආරාම ශේෂ කොටස් පැතිර පවතියි. දාගැබ් නිර්මාණය කර ඇත්තේ ප්‍රදේශයෙන්ම සපයාගත් හුණුගල්-ගල්මල්, කොටස් යොදා ගනිමිනි. පසුව උතුරු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත තනතුර දැරූ  බ්‍රිතාන්‍ය රාජකීය ආසියාතික සංගමයේ සාමාජිකයෙක්වූ ජේ.පී.ලුවිස් මහතා 1909දී පළකළ  ලිපියකට අනුව එම කාලය වනවිට පෙර කළම්බු ජ’නල් පුවත්පතෙහි සඳහන් කර තිබූ ස්තුප  නටබුන් බොහෝ ලෙස විනාශයට පත්ව තිබූ බව දක්වයි. 1949 වසරේදී සිදුකල පුරාවිද්‍යා කැණීම අවස්ථාවේ පැවැති දාගැබ් ගොඩැල්ලෙහි උස අඩි අටක් පමණවූ වග සඳහන්ය. දාගැබ් කොත් කැරැල්ලක්, ගඩොල්කැට කැබැලි, උළු කැබලි, මැටි පහන්, ඇතුළු නටඹුන් රැසක් මේ අවස්ථාවේ හමුවී තිබේ. මෙහි හමුවූ මැටි බඳුන්වලින් පෙනීයන්නේ මෙම දිවයින ක්‍රිස්තු වර්ෂ පළමු සියවස් හතේ සිට ජනාවාස වී ඇති බව යැයි සමහර පුරා විද්‍යාඥයන්ගේ අදහසයි. 1978 අවුරුද්ද වනවිට තහවුරු කරගත් දාගැබ් අංක 1 විශ්කම්භය මීටර 10.35, අංක 2 විශ්කම්භය මීටර 5.7(වටදාගෙයක් සහිත ආකාරයේ කණු පාදම් සමඟ), සහ අංක 3 විශ්කම්භය මීටර 3.9, වශයෙන් වෙයි. මෙම ස්ථානයෙන් පැරණි සිංහල සෙල් ලිපියක් සොයාගෙන ඇත. බ්‍රාහ්මී අක්ෂර සහිත සෙල්ලිපිය අක්ෂර වින්‍යාසකරුවන්ට අනුව 1 වන හෝ 2 වන සියවස දක්වා දිව යයි. පසුකාලින දෙමළ සෙල්ලිපි දෙකක්ද හමුව ඇත. සෙල්ලිපි කැටයම් කර ඇත්තේ සලපතළ මළුවෙහි ඇති සමතලා ගල් මත ය. ඉන්දියාවේ සිට යාපනය දක්වා මුහුදු වෙළෙද මාර්ගයේ පිහිටා ඇති මෙම විහාරස්ථානය පුරාණයේ මෙම මඟේ ගමන්කළ වෙළෙඳුන්ගේ වන්දනාවට ලක් වන්නට ඇති බව පැවසේ. අවසාන ප්‍රාදේශීය රාජධානි කාලය දක්වාද එම විහාරය පවතින්නට ඇති වග පුරා විද්‍යාඥයන් සමහරකගේ මතය වේ. පසුකාලීන ඕලන්ද පාලනයේ පැරණි ගොඩනැඟිලි හා නෂ්ටාවශේෂ බොහොමයක්ද ඩෙල්ෆ්ට් දූපතෙහි ඉතිරිවී තිබේ. රෝහල, උසාවිය, අශ්වඉස්තාලය, පණිවුඩ යැවීමට යොදවාගත් පරෙවියන්ගේ කූඩු, බලකොටුව, ආදිය මෙසේ දැකිය හැකිය. පෘතුගීසීන් මුලින් ඉදිකළ මෙම බලකොටුව අනෙක් ඕලන්ද බලකොටුවලින් වෙනස්ව පෙනෙන ආකාරයකින් විශාල දෙමහල් ගොඩනැඟිල්ලක ස්වරූපයෙන් ලන්දේශීන් විසින් නැවත ඉදිකරණු ලැබ පැවතියද මේ වනවිට බොහෝ සේ ගරාවැටී තිබේ. මෙය තනා ඇත්තේද ගල්මල් හිරිගල් යොදා ගනිමිනි. ‘රැජිනගේ කුළුණ’ නමින් හඳුන්වන ඉඳිකිරීමක්ද මෙහි ඇත. මුහුදේ ඈත සිට දැකිය හැකි ලෙස දූපතේ දකුණු වෙරළාසන්නයේ පවතින කුඩා වෙමින් ඉහළට යන ඝණක ආකාර, අභ්‍යන්තරය හිස්, දුම් කවුළුවක් වැනිවූ, මෙය ඉංග්‍රීසි පාලන යුගයෙහි නිමවන ලද ත්‍රිකෝණමිතික මානක සළකුණකැයි සැළකේ. ඇතැමුන්ගේ අදහස වනුයේ මෙය ප්‍රදීපාගාරයක මුල් කාලීන ආකෘතියක් බවයි. යාපන අර්ධද්වීපයෙහි ගෙවල් ඉඩම් මායිම් කර තිබෙන තල් වැටවල් වෙනුවට, ගල්මල්කැබලි අඩුක්කර සකසා ගත් තාප්පවලින් මෙම දූපතේ මායිම් වෙන්කර තිබීම විශේෂත්වයකි. බයොබබ් ගස, මෙන්ම ආදම්ගේ පා සළකුණ, ලියලන ගල,ද මෙහිදී දැකගත යුතු දෑ අතර වෙයි.
    ඩෙල්ෆ්ට් දිවයින යටතේ පරිපාලනය කරනු ලබන කච්චතිව් ලෙස වත්මනෙහි හඳුන්වන කච්ඡපදූව හෙවත් කැස්බෑදූපත  ඉන්දියාව විසින් 1974 ජූනි 28 දින සිට ගිවිසුමකින් ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබීය. පානීය ජලය නොමැති හෙයින් ස්ථිර පදිංචිකරුවන් පැවැත්මක් මෙහි නොමැත.


            කච්ඡතිව් දූපත  (මීට වයඹ දෙසින් පෝක් සමූද්‍ර මායිම වේ. භූමියේ ඊසාන පෙදෙස ශාන්ත අන්තෝනි පල්ලිය කලාපයයි).

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන් වෙන්කෙරෙන මුහුදු මායිම වන පෝක් සමූද්‍ර සන්ධියට ආසන්නව මෑතින් පිහිටි, භූමි ප්‍රමාණයෙන් හෙක්ටෙයාර් 113ක්, එනම් නැගෙනහිර සිට බටහිරට පළලින් කිලෝ මීටර 0.8ක් පමණ ද, උතුරේ සිට දකුණට දිගින් කිලෝ මීටර එකක් පමණද, වට ප්‍රමාණය කිලෝ මීටර හතරක් පමණද, වන කුඩා ගොඩබිමක්වූ මෙය, වෙරළ තීරයෙන් සහ තල් ගස් ඇතුළු ආවේණික ගස්-වැල් ආදියෙන් සමන්විතය. ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ධීවරයෝ විවේකස්ථානයක් ලෙස මෙම දූපත භාවිතකළහ. කාලීනව අයෙක් බාරයක් ඉටුකරනුවස් මෙතුල ශාන්ත අන්තෝනි මුනිවරයා උදෙසා කුඩා පල්ලියක් ඉදිකරණලද අතර, අනතුරුව මෙහි සිදු කෙරෙණ වාර්ෂික මංගල්‍යය සඳහා ශ්‍රී ලංකා ඉන්දියා දෙරටේම වන්දනාකරුවන් ආගමන නීති ගැටළුවකින් තොරව සහභාගි කරවා ගැනීම සිරිතක්ව තිබේ. පෙබරවාරි-මාරතු අතරදී මෙහි මංගල්‍යය පැවැත්වේ. මේ වන විට මෙහි වඩා විශාල දෙව් මැදුරක් ඉදිකර ඇත. ආරක්ෂක පහසුකම් සපයනුයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසිනි. 

No comments:

Post a Comment